'දිදුලන හදවත' කතා කරයි !

'දිදුලන හදවත' කතා කරයි !

දිදුලන හදවත සංවිධානය ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ. එය නිකුත් කර ඇත්තේ එම නමින් වෙනත් සංවිධානයක් වැඩ කටයුතු කිරීම පිළිබඳවය.එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

'දිදුලන හදවත' ගැන අත්‍යවශ්‍ය කරුණු කීපයක් !

ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් හා පොදු සමාජ උන්නතිය වෙනුවෙන් පෙනී සිටීම උදෙසා 2018 වර්ෂයේදී ස්වේච්ඡා සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් `දිදුලන හදවත` සංවිධානය නිර්මාණය කරන ලදී. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා `දිදුලන හදවත` විසින් විවිධ ක්‍රියාකාරකම් ද දියත් කරනු ලැබිණි.
 

 ඉන් අනතුරුව එළැඹියේ මැතිවරණ පෙළකි. `දිදුලන හදවත` කිසිදු දේශපාලන පක්ෂයක අනු සංවිධානයක් නොවූ අතර, මැතිවරණයේදී පැති ගන්නට උවමනාවක් නොවීය. එහෙයින්, මැතිවරණයේදී සිය සාමාජිකත්වයේ විවිධ ස්ථාවරයන්ට විවෘත අවස්ථාවක් දීම වෙනුවෙන් `දිදුලන හදවත` ස්වයංක්‍රීය නිර්පාක්ෂික නිහඬතාවක පිහිටා සිටියේය.

ඉනික්බිති කොරෝනා වසංගතය පැමිණි අතර අපගේ ප්‍රසිද්ධ ක්‍රියාකාරීත්වයට සහ සමාජ සංවාදයට තව දුරටත් වැට බැඳිණි. එහෙත්, `දිදුලන හදවත` සංවිධානය නිල වශයෙන් විසිරුවා හැරි බවක් ඉන් අදහස් නොකෙරේ.  වර්තමානය වන විට සංවිධානයේ අනාගතය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධ අදහස් සාමාජික සාමාජිකාවන්ගෙන් මතුවෙමින් පැවැතිණි. එය යළි සක්‍රිය වීම සම්බන්ධයෙන් තිබුණේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
 
එය එසේ තිබියදී, මීට දින කීපයකට ප්‍රථම `දිදුලන හදවත` නමින්ම තවත් සංවිධානයක් වෙනත් පිරිසක් හදාගෙන ඇති බව දැනගන්නට ලැබිණි. ``ඔබගේ අරමුණු හොඳ විය හැකි නමුත්, අපේ `නම` ගැනීම නරක`` බව ඔවුන්ට අපි කරුණාවෙන් අවධාරණය කළෙමු.
එය එසේ දන්වා තිබියදීත්, තවමත් එනමින් `වැඩකටයුතු` කෙරෙන බව පෙනී යයි. එය ආචාර ධාර්මිකව අවලස්සන ක්‍රියාවකි. එක්වරම සමාජය ඉදිරියේ කෑ කෝ ගසන්නේ නැතිව ඉතා කාරුණිකව අප කළ දැනුම්දීම නොතකා හැර තිබීම කනගාටුදායකය.
 
අප විශ්වාස කළ සහ නන් අයුරින් අපට ආධාර කළ මිනිසුන් බොහෝය. විවිධ දේශපාලන මතිමතාන්තර වෙනස්කම් සහිතව වුව අපට ආශිර්වාද කළ මිනිසුන් බොහෝය. ඔවුන් ව්‍යාකූල වීම වැළැක්විය යුතු බැවින් මෙම ප්‍රසිද්ධ නිවේදනය නිකුත් කරන්නෙමු.
 
 `දිදුලන හදවත` නමින් මේ දිනවල වෙනත් පිරිස් කරනු ලබන ක්‍රියාකාරකම්වලට අපගේ වගකීමක් නොමැත. 'දිදුලන හදවත' ඉදිරි වැඩකටයුතු පිළිබඳව විස්තර ඉදිරියේදී අපගේ නිල ෆේස්බුක් පිටුව හරහා ඔබව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරමු.
 
අපගේ සංවිධානය තිබෙන බව දැන දැනම `නම` උස්සන්නට වෑයම් කරන මිතුරන්ටද දෙකක් කිව යුතුය. එක, සමාජ ක්‍රියාකාරීත්වයේ ශ්‍රමයට ගරු කරන්න. දෙක, වසංගතයට මනුෂ්‍යත්වය උදුරා ගැනීමට ඉඩ නොදෙද්දී `ආචාර ධර්ම රැකීමේ වැදගත්කම` ද සිහි තබා ගන්න.
 
අවසාන වශයෙන් කිව යුතු වන්නේ, මෙය මෙවැනි බොළඳ ක්‍රියාවලට නාස්ති කළ යුතු වේලාවක් නොවන බවයි. වසංගතයට එරෙහිව සැවොම එකට එක්වෙමු. අනෙකාගේ සෞඛ්‍යාරක්ෂාවට මෙන්ම අනන්‍යතාවටද ගරු කරමු. යහපත් අරමුණු දිනේවා !
 

 දිදුලන හදවත

2021 අගෝස්තු 29
 
දිදුලන හදවත සන්නාමය 
 
 
 
දිදුලන හදවත පසුගිය කාලයේ ක්‍රියාකාරිත්වයේ ඡායාරූප කිහිපයක්.