මංගල සමුගනී !

මංගල සමුගනී !

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. Covid – 19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 65 වැනි වියෙහි පසුවිය.

1956 වසරේ අප්‍රේල් 21 වැනිදා මාතරදී උපත ලද මංගල සමරවීර මහතා 1983 වසරේ මාතර ප්‍රධාන සංවිධායකවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසිය. 
 
මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1989 වසරේදී  පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය.
 
2004 වසරේදී  වරාය, ගුවන් සේවා හා ජනමාධ්‍ය අමාත්‍යධුරය හොබවනු ලැබූ ඔහු 2005 වසරේ සිට 2007 වසර දක්වාත්, 2015 වසරේ සිට 2017 වසර දක්වාත් අවස්ථා දෙකකදී විදේශ අමාත්‍යධුරය දරනු ලැබීය.
 
නව දේශපාලන පක්ෂයක් ලෙස 2010 දී එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධව නව පක්ෂයක් පිහිටුවන ලද මංගල සමරවීර මහතා 2017 වසරේ සිට 2019 දක්වා මෙරට මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ලැබීය.
 
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේගේ රජයේ පළාත් පාලන, නිවාස, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස සිටි මහානාම සමරවීර හා මාතර නගර සභාවේ සාමාජිකයකු වූ කේමා සමරවීර මහත්මියගේ පුත්‍රයා වූ සමරවීර මහතා ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් නිර්මාණය හා තාක්ෂණ පිලිබද උපාධිධාරියකුද වෙයි. සිය දේශපාලන ජීවිතය අැරඹීමට පෙර ශ්‍රී ලංකා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ මෝස්තර නිර්මාණ උපදේශකයා ලෙසද ඔහු කටයුතු  කර ඇත.