තවත් පරිසර දිනයක්.මියෙමු ද? ආපසු හැරෙමු ද?

තවත් පරිසර දිනයක්.මියෙමු ද? ආපසු හැරෙමු ද?

වහල සෙවිළි කල පොල් අතු ගසකිනි ගත්තේ
අහරට බත වී කරළක සැඟවී ඇත්තේ
පවසට දිය දෝත තිබේ වතුර කඩිත්තේ
ගිමනට සිහිලැල් සෙවණද ගස යට ඇත්තේ

ස්වර්ණලතා කවීශ්වරගේ හඬින් ගැයෙන ප්‍රේමකීර්ති ද අල්විස් ගේ ගී පද වල අරුත එදාටත් වඩා දැනෙන්නේ අද ය.

තවත් ලෝක පරිසර දිනයක් උදා වී තිබේ.මෙවර එහි තේමාව Ecosystem Restoration යන්නයි."පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කරමු" එහි අරුත ලෙස දැක්විය හැකිය.
පරිසරය සහ මිනිසා සහයෝගයෙන් මින් පෙර පැවත පසු කාලීනව විනාශ කරන ලද හෝ මිනිස් ක්‍රියාකාරකම්හි අතුරු ප්‍රතිඵලයක් ලෙස විනාශ වූ ස්වභාවික පරිසර පද්ධති යළි ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය දැන් ලෝකයාට මතුව තිබේ.



ශාක,සත්ත්ව සහ සෙසු ජීවී අජීවී අංග අන්‍යෝන්‍ය සහයෝගයෙන් එකිනෙකාගේ පැවැත්ම පවත්වාගෙන යන සුවිශේෂ භූමි ප්‍රදේශයක් පරිසර පද්ධතියක් ලෙස සරලව හැඳින්වේ.
වනාන්තර, තණබිම් ,ගංගා සාගර, කාන්තාර, වගාබිම් යනාදී ලෙස පරිසර පද්ධතීන් වර්ග බොහොමයකි. මේ එකිනෙක පරිසර පද්ධතීන්ට ආවේණික ලක්ෂණ පවතින අතර ඒවායේ ස්වභාවික සැකැස්ම සහ ජෛව විවිධත්වය මත ස්වභාවිකවම ඒවායේ පැවැත්ම ඇති කිරීම හෝ එසේ වීමට ඉඩ හැරීම පරිසර පද්ධති ප්‍රතිස්ථාපනයයි.

කලකට පෙර කාර්මික,කෘෂිකාර්මික අත පෙවීම් මත එම පරිසර පද්ධතීන් මේ වන විට විකෘති කර තිබේ.

ඇසට පෙනෙන නොපෙනෙන සියළු ජීව පද්ධතීන් සියතට ගනිමින් හැල්මේ දිවූ මිනිස් සංහතියට ප්‍රමාද වී හෝ ආපසු හැරීමට සිත් වීම පවා වාසනාවකි.
ගොඩබිම් සහ සාගර පරිසර පද්ධතීන්ට බාහිර බලපෑම් අවම කරමින් ඒවායේ ස්වභාවික සැකැස්ම සහ පැවැත්ම නැවත ඇති කළ යුතුය යන තැනට අද දියුණු ලෝකයේ කතිකාව ආරම්භව තිබේ.
එම පද්ධතීන් විනාශ කළ තරම් වේගයෙන් යළි පිහිටුවීමේ හැකියාවක් නැතත් ඊට පියවර එසවීම ම සකල පොළෝ වැසියන්ගේ දිනුමකි.


එහෙත් කණගාටුවට කරුණ එකී වුවමනාව තවමත් ඇතැම් රටවලට නොදැනීම සහ ඊට සැබෑ ලෙස එකඟ නොවීමය.
ලෝකයක් ලෙස සියළු දෙනා එකඟ වීමෙන් මිස යා නොහැකි ගමනක් අභිමුව ආකර්ශනීය කතා,සිතුවම්,වීඩියෝ පට සහ තවත් එකී මෙකී නොකී වාද විවාද සමග පාකිස්ථානයේ සත්කාරකත්වයෙන් මෙවර ලෝක පරිසර දිනය සැමරේ.

සැබැවින්ම සොබාදහම අපූර්ව දායාදයකි.අප සැමට ඇත්තේ මේ පෘථිවිය පමණි.කෙතරම් අභ්‍යාවකශ විද්‍යාව දියුණු වුවද අපට පැන යන්නට තරම් ග්‍රහ ලොවක් තවමත් සොයගෙන නැත.
එනිසා අප ඉදිරියේ තෝරාගැනීම් දෙකක් ඉතිරිව තිබේ.
එනම්,

සොබාදහමට අවනතව පියවරක් පසුපසට තබා පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම දෙසට යනවාද
නො එසේනම් සොබාදම විසින් අපේ ගමන ආපස්සට හරවන තුරු බලා සිටිනවාද යන්නයි.

"මැවූ කෙනෙකු මැවූ තැනක් කිසිවෙකු නොදනී
සැදූ ගසක් කපා දමා මිනිසෙකු හිනැහෙයි
මිනිස් පයට පෑගීලා තණපත් මිය යයි
හෙටත් අළුත් දළු ලියලයි සොබා දම එයයි"

 | මාලිකා ජයනායක |