ජෝ ලාරා ඔබට සුබ ගමන් !

ජෝ ලාරා ඔබට සුබ ගමන් !

1989 අප්‍රේල් 15, 

 
සෙනසුරාදා දවසක් 
උඩින් ගිය ගමනක්.
 
ටාසන්, 
 
අප්‍රිකාවෙන් පිටත් වී ගුවන්යානයකින් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට යන්නේ ඔහුගේ වානර මව වන කාලාගේ ඝාතනයට පළිගැනීම හා ඔහුගේ සොහොයුරා බේරාගැනීමේ අරමුණින්. 
 
දවසක් බ්‍රයිට්මෝර් පදනම (ජෑන්-මයිකල් වින්සන්ට්) සහ ඔහුගේ  පදනමේ සේවය කරන දඩයම්කරුවන් විසින් ටාසන් ජීවත් වන වනාන්තරයට පැමිණ ' කාලා ' එහෙමත් නැත්නම් ටාසන්ගෙ වානර මව මරාදමන අතර ඔහුගේ වානර සහෝදරයා cheetah ' චීටා ' පැහැරගෙන යනු ලබනවා. 
 
එක් ජීවියෙකුගේ සිතුවිලි සහ දැනුම තවත් ජීවියෙකු වෙත මාරු කිරීමේ උත්සාහයක් ලෙස මෙම සංවිධානය සත්ත්ව මොළය පිළිබඳ නීති විරෝධී පරීක්ෂණ පවත්වන අතර චීටා පැහැර ගනු ලබන්නේ වඳුරු මොළය මත නීති විරෝධී පරීක්ෂණ සිදු කිරීමටයි.
 
සිය සොයුරා ( චීටා ) බේරාගැනීමට 1989 අප්‍රේල් 15 වැනිදා අප්‍රිකාවේ සිටි ටාසන් නිව්යෝර්ක්හි මෑන්හැට්න් වෙත යනවා.
 
කෙසේවෙතත්, නිව්යෝර්ක් නුවරට ගිය ටාසන්ට වනාන්තරයේ පුරුදු වී සිටින අයට වඩා මිනිසුන්ගෙන් වෙනස් අනතුරුවලට මුහුණ දීමට සිදුවෙනවා. කතාකිරීමට සත්ත්ව භාෂාව පමණක්ම දන්නා ටාසන්ට කුලී රථ රියදුරෙකු මුණගැහෙනවා. ටාසන් මිනිස් ඇසුරට සමීප වන්නෙ ඇය නිසයි. ඇය නමින් ජේන් පෝටර්. ඔහුට සහය වන්නේ ජේන් හා ඇගේ විචක්ෂණශීලී පියා, විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වන ආකිමිඩීස් නොහොත්  “ආචී” පෝටර්.
 
තිදෙනාම සංවිධානයට සමීප වී අවසානයේදී චීටා නිදහස් කර ගැනීමට සමත් වෙනවා. ජේන් පසුව තම පියාගේ ආරක්ෂක සමාගමට බැඳෙන අතර ටාසන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ටද උදව් කරන ලෙසයි. එලෙස බොහෝදෙනාට උදව් කළ ටාසන් මිනිසුන් යටපත් කරගෙන සිටින සත්ත්ව ආදරය ඔවන්ට පෙන්වා දී නැවතත් චීටාද සමගින් සිය නිවහනට යනවා.
 
අප්‍රිකානු වනාන්තරයේ මංගානි මහා වානරයන් විසින් ඇති දැඩි කරන ලද මෙම මිනිස් වානරයා ' ටාසන් ' නමින් වනයේ අනෙක් සත්ත්වයන් අතරම හැදී වැඩෙන අතර ඔවුන්ගේ මිතුරා, සහෝදරයා, ආරක්ෂකයා බවට පත්වෙනවා. කුඩා රෙදිකඩක් ඉනවටා බැඳ, වැල්වල එල්ලෙමින් වේගවත් ගමනක යෙදෙන අපූරු පණිවුඩ හුවමාරු ක්‍රමයක් ( තියුණු හඬක් ) ඇති ඔහුට ප්‍රබන්ධ වුණත් වීරත්වයට ආදරය කරන ලොවපුරා ලොකු කුඩා රසිකයන් ආදරය දෙන්නේ නිර්ලෝභීව. 
 
එඩ්ගර් රයිස් බරෝස් විසින් නිර්මාණය කරන ලද ටාසන්, ' Tarzan of the Apes ' නමින් සඟරාවක් ලෙසින් 1912 දී ප්‍රකාශනය වෙනවා. පසුව ලොවපුරා ආදරය දිනාගත් ' ටාසන් ' චිත්‍රපට කිහිපයකින් පසු, මයිකල් ෂුල්ට්ස් අධ්‍යක්ෂවරයා විසින් 'මෑන්හැටන් හි ටාසන්' නමින් 1989 දී සීබීඑස් රූපවාහිනී චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය කරනවා.
t1
 
t2
 
ඇක්ෂන් ශානරයට අයත් චිත්‍රපට ඉතිහාසයේ 18 වන ටාසන් නළුවා ලෙසින් 'ජෝ ලාරා' ටාසන්ගේ චරිතයට පණ දෙනවා. 
 
1989 අප්‍රේල් 15 වැනි දින සීබීඑස්හි විකාශනය කෙරෙන 'ටාසන් ඉන් මෑන් හැට්න්' පසුව නොනවත්වාම  1989 දෙසැම්බර් 5 වන දින දක්වාම ජර්මනියේ සෘජුවම වීඑච්එස් මත නිකුත් කරනවා. ආදරය ආකර්ශනය වගේම ජෝ ලාරාට මෙහිදී විවේචනද එල්ල වෙනවා.
 
 
 
විලියම් ජෝසප් ලාරා
 
 
1962 ඔක්තෝබර් 2 වැනි දින
කැලිෆෝනියාවේ සැන් ඩියාගෝහි උපත ලැබූ විලියම් ජෝසප් ලාරා ,
1989 දී සීබීඑස් රූපවාහිනී චිත්‍රපටය වන 'ටාසන් මෑන්හැටන්හි' ප්‍රධාන චරිත නිරූපණයෙන් අනතුරුව 1996 සිට 1997 දක්වා කාලය තුළ ටාසන්: ද එපික් ඇඩ්වෙන්චර් කතා මාලාවේ, ටාසන් ලෙස ටෙලිකතා මාලාවට එක්වෙනවා.
 
ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාවේත් විකාශනය වුණු මෙම කතා මාලාව තුළින් ලාංකේය රසිකයන්ගෙන් විශේෂයෙන්ම කුතුහලයෙන් පිරි  දරුවන්ගෙන් ජෝ ලාරාට ආදරය හිමිවෙනවා.
 
ස්ටීල් ෆ්‍රොන්ටියර් සහ ඇමරිකානු සයිබර්ග්: ස්ටීල් වොරියර් ඇතුළු ක්‍රියාදාම චිත්‍රපට ගණනාවක පෙනී සිටින  ලාරා සිය වෘත්තීය දිවියේ උච්චතම අවස්ථාව වන විට ආම්ස්ට්‍රෝං සහ වෝර්හෙඩ් යන ක්‍රියාදාම චිත්‍රපට දෙකක පෙනී සිටිමින් රංගන දිවියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වෙනවා.
 
රංගනයට වගේම සංගීතයට දක්වන ඇල්ම නිසාම වසර 20 කට පසු 2000 දශකයේ මුල් භාගයේදී ජෝ රංගනයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ සිය ජීවිතයේ ඉතිරි කාලය සංගීතය ජීවිතය කරගනිමින් ගෙවා දැමීමටයි.
 
එහෙදි ඔහු 2009 වසරෙදි ද ක්‍රයි ඔෆ් ෆ්‍රීඩම් | The cry of Freedom |  ඇල්බමය නිකුත් කරනවා.
 
පළමු විවාහයෙන් එක් දරු පියෙකු වන විලියම් ජෝසප් ලාරා 2018 හිදි  ඇමරිකානු කතුවරියක හා ආහාර පාලනය කරමින් නිරෝගීව ජීවත්වීමට උපදෙස් ලබාදෙන පෝෂණවේදිනියක ලෙස ප්‍රසිද්ධ ග්වේන් ෂැම්බ්ලින් සමග විවාහ වෙනවා. මෙම විවාහය කාගෙත් කතාබහට ලක්වෙන්නේ ග්වේන් ෂැම්බ්ලින් ලාරාගෙ සිත්ගත් අයුරු විමසීමෙන්.
 
ජෝ සහ ග්වෙන්ට 'Life with Gwen and Joe'' නමින් ඔවුන්ගේම යූ ටියුබ් නාලිකාවක් තිබූ අතර ඒ තුළින් රසිකයින්ට ඔවුන්ගේ සම්බන්ධතාව පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබාගත හැකියි.
 
 
2021 මැයි  29, 
 
සෙනසුරාදා දවසක් 
උඩින් ගිය ගමනක්
 
 
පසුගිය සෙනසුරාදා ස්මර්නා නගරයට ආසන්නයේ (Tennessee Lake ) විලක් මතට  සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් කිසිවෙකුට දිවි බේරාගැනීමට නොහැකි වූ පුවතක් ඇසීමත් සමග දුක්වූ සියලු දෙනාම තවත් කනස්සල්ලට  පත්කළේ Tarzen ලෙස ලොවපුරා රසික ආදරය දිනා සිටි ජෝ ලාරාද එම ගුවන් අනතුරින් මියගිය පුවත ඇසීමෙන්. ඔහු සමග සිය බිරිඳ ඇතුළු තවත් හයදෙනෙකු මියගොසින්.
 
“භයානක ඛේදවාචකයක්, තම හොඳම හා ආදරණීය නායකයින් කිහිප දෙනෙකු අහිමි වී ඇති බව පවසමින් සිය ආදරණීයයන් හැඬාවැටෙයි, දුක්වෙයි, ශෝකය ප්‍රකාශය කරයි.
 
 
පසුගිය වසරේ මැයි මාසයේ වීඩියෝවක දී ජෝ, ග්වෙන් සමග වාඩි වී සම්මුඛ සාකච්ඡාවක පෙනීසිටිනවා.
 
එහිදී ඔහු මෙසේ පවසනවා.
 
" මේ දිනවල මම, විය හැකි හොඳම මිනිසා වීම ගැනත්, මේ ඇදහිය නොහැකි කාන්තාවට හොඳ ස්වාමිපුරුෂයෙකු වීමත්, දෙවියන් වහන්සේට සමීපව සිටීම සහ යුක්ති සහගත වීමත්  හැමදාම මගේ ප්‍රීතිය උපරිම කිරීමට උත්සාහ කරනවා. " 
 
ප්‍රේක්ෂකයන්ට ආදරය ලබා දුන්
ජෝ ලාරා ඔබට සුබ ගමන් !
 
 
| සිතාරා හංසිනී |