ජනාධිපති කොමිසමේ නිර්දේශවලට එරෙහිව අනුරගෙන් පෙත්සමක්

ජනාධිපති කොමිසමේ නිර්දේශවලට එරෙහිව අනුරගෙන් පෙත්සමක්

දේශපාලන පළි ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමාව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර, නීතිමය පියවර ගන්නා ලෙසට ලබාදී ඇති නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා අද  අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළා.

මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබෙන්නේ
ජනාධිපතිවරයා විසින් අදාළ කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා කාලය අතරතුරදී රාජ්‍ය නිලධාරීන්ට යම් දේශපාලන පළි ගැනීමක් සිදුවී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර නිරේදේශ ඉදිරිපත් කිරිමට පමණක් බවයි.
එසේම සීමිත බලතල පවරා තිබියදී එම කොමිෂන් සභාව විසින් නීතිපතිවරයා හා අල්ලස් කොමිෂන් සභාව විසින් විවිධ දූෂණ අක්‍රමිකතා හා අපරාධ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවල සැකකරුවන් හා විත්තිකරුවන් එම චෝදනාවලින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසට නිර්දේශ කිරීම හා එලෙස වරදකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් පිරිසට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසට නිර්දේශ කිරීම නීති විරෝධි බව එම පෙත්සමෙන් පෙන්වා දෙනවා.

එලෙස කටයුතු කිරීම කොමිෂන් සභාවේ බලතල ඉක්මවා කටයුතු කිරීමක් බවත් ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි, නීතිපතිවරයා වෙත දැනුම් දීමට පසුගිය ජනවාරි 18 වැනිදා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරිම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.