නව ජනපති - උප ජනපති සුසංයෝගය

Previous Next

අමෙරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් ඊයේ(ජන 20) දිවුරුම් දුන්නා.

ඒ සමගම අමෙරිකානු ඉතිහාසය අලුතින් ලියමින් එරට ප්‍රථම උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් සිය ධුරයේ දිවුරුම් දුන්නා.

ඇය එරට ප්‍රථම කාන්තා උප ජනාධිපතිවරිය සහ එම තනතුර දරන ආසියානු සම්භවයක් සහිත ප්‍රථම අමෙරිකානුවා බවටත් පත් වනවා.

ජනාධිපතිවරණ සටන කාලයේ පටන්ම ආකර්ශනීය චරිතයක් ලෙස කතාබහට ලක්වූ ඇය නිරන්තරයෙන් වත්මන් අමෙරිකානු ජනාධිපතිවරයා සමග දක්නට ලැබුණා.

අන් කවර අවස්ථාවකටත් වඩා මෙවර එරට ඡන්ද සටන ආකර්ශනීය වීමට එක් හේතුවක් ලෙසත් මෙම ජෝ - කමලා  සුසංයෝගය හැඳින්විය හැකියි.

ඊයේ පැවති දිවුරුම්දීමේ උත්සවයේදිත් එම සුසංයෝගය ලෝකයේම අවධානයට ලක්වුණා.

විචාරකයින් මෙම සුසංයෝගය විස්තර කරන්නේ,

"උද්වේගකර අවස්ථා පවා විහිළුවෙන් සහ සිනහවෙන් අවසන් වන, උණුසුම් විවාද පවා එකෙනෙකාට ගෞරව කරගනිමින් සිදුවන, අනෙකා සිතන දෙය පවා අනුමානයෙන් සිතිය හැකි ගැඹුරු සුසංයෝගයක්" ලෙසයි. ‍

ඩිමොක්රටික් පක්ශයේ ජනාධිපතිවරණ අපේකෂකයා තේරීමේදී තරගකරුවන් වූ මේ දෙදෙනා අතර උණුසුම් විවාද පවා ඇතිවී තිබුණා. එක් අවස්ථාවක ඇය ඉතා දැඩි ලෙස ජෝ ගෙන් ප්‍රශ්න කළ සිදුවීම කැපී පෙනුණා.

එතරම් දැඩිව විවාද කරගත්තත් ඒ වන විටත් ඔවුන් මිතුරන්. පසුව බයිඩන් එම පක්ශයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තේරී පත්වූ පසු ඔහුගේ ගමන් සහකරු ලෙස ඇයව තෝරා ගත්තා. නමුත් ඔවුන්ගේ මිතුරුකම ඊට පෙර සිට පැවති නොබිඳෙන පවුරක්.

ඒ මිතුරුකම ආරම්භ වූයේ ජෝ බයිඩන්ගේ පුත් බියූ බයිඩන් හරහායි. කමලා බියූ බයිඩන්ගේ ළඟම මිතුරියක වූ අතර දෙදෙනාගේ වෘත්තීය ගමනද එක මගක වැටී තිබුණා. ඒ නීතිවේදීන් ලෙස. 2015 වසරේදි මොළයේ පිළිකාවක් නිසා බියූ මිය ගිය අතර ජෝ බයිඩන් 2016 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූයේ එම කම්පනය නිසා බවත් සඳහන්. " මම බියූව හඳුනනවා. ඒ නිසා මම ජෝ ව හඳුනනවා.." වරෙක කමලා මේ හිතවත්කම ගැන අදහස් දක්වා තිබුණා.

වචනයෙන් නොකියන දේ පවා තේරුම් ගත හැකි එකම ගමනක් එකට යා හැකි එම ශක්තිමත් සබඳතාවයේ ප්‍රමාණය මේ වන විට ලෝකයම හඳුනාගෙන අවසන්. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එදා කමලා හැරිස් විසින් ජෝ බයිඩන්ව හඳුන්වා දුන්නේ මෙලෙසින්,

"Let' s talk about Joe we know, I am so proud to endorse Joe Biden to be the next president of the United States. I believe in Joe."

" මම ජෝ පිළිබඳ විශ්වාස කරනවා." එය කෙතරම් ශක්තිමත් විශ්වාසයක්ද? ඒ විශ්වාසය තහවුරු කරමින් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු ඇය ජෝට ලබාදුන් දුරකතන ඇමතුමේ පවා ඒ මිත්‍රත්වයේ ශක්තිමත් බව පෙනෙන්නට තිබුණා.

" We did it ,We did it Joe, You' re going to be the next President of the United States"

 

ඒ ශක්තිමත් බව ඉදිරියටත් රඳවා ගනිමින් තමා සමග කටයුතු කරන උප ජනාධිපති තනතුර ඇයට ලබා දීමට ඔහු තීරණය කළා. ඒ පිළිබඳ ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්,

"I need someone working alongside me who is smart, tough and ready to lead. Kamala is that person."

අන්තර්ජාලය පුරා මිලියන ගණනින් හුවමාරු වන මේ දෙදෙනාගේ උණුසුම් මිත්‍ර හැඟීම් පිරි සේයා රූ එතෙක් මෙතෙක් ජනාධිපතිවරණයක සහ දවුරුම්දීමක නොදුටු තරම් සුන්දර ඒවා බව ඔබත් පිළිගන්නවා ඇති.

ඉතින් මේ අපූරු සුසංයෝගය හෙට දවසේ ලෝකයේ අනාගතයට සෘජුව බලපෑම් කරන ලොව බලවත්ම සුසංයෝගය විය නොහැකිද?