ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදයි

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදයි

ළමා හිංසනය සහ ළමා අපයෝජනය කියූ පමණින්ම සිහියට නැගෙන්නේ ළමයින්ට සිදුවන ලිංගික අපයෝජනයි. මේ නිසා ළමයින්ට එරෙහිව බහුලව සිදුවන හිංසන සමාජය තුළ සාමාන්‍යකරණයට හා සාධාරණීකරණයට ලක් කිරීම සුලබ කරුණක්. මේ නිසා ළමා හිංසනයෙන් ළමයා ආරක්ෂා කර ගැනීමට පෙර ළමා හිංසනය යනු කුමක්දැයි නිවැරදි ලෙස අර්ථ දක්වා ගැනීම වැදගත්. 

උපුටාගැනීම Wikipedia

ළමා අපයෝජනය යනු ළමයෙකුගේ කායික හා මානසික තත්ත්වයට පිටස්තරව, ඔහුගේ හෝ ඇයගේ යහපතට, හා මනා කල්කි‍්‍රයාවට එරෙහිව සිදු කරන කුමන හෝ අයහපත් කි‍්‍රයාවකි. (කුමාර 2001:40). ළමයින්ට එරෙහිව සිදුකරනු ලබන විවිධ ආකාරයේ අපරාධ වැරදි නොසළකා හැරීම් හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන කවර හෝ ආකාරයේ ක‍්‍රියාවක් ළමා අපයෝජනය ලෙස සරලව හැඳින්විය හැක. නුතනයේ විෂයය ක්ෂේත්‍රය ගණනාවක් තුළ ළමයින්ට එරෙහි හිංසනය හා ළමා අපයෝජනය පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත. Oxford ‍ශබ්ද කෝෂයට අනුව ළමා අපයෝජනය යනු ළමයින් කෙරෙහි අනර්ථයක් සිදුවන ආකාරයෙන් සැළකීම හෝ කි‍්‍රයා කිරීමයි . මෙහිදී ශාරිරික වශයෙන් ළමයින්ට සිදුකරනු ලබන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හා ලිංගික අතවර මුල් තැනක් ගෙන අවධාරණය කර ඇත.

උපුටා ගැනීම අවසන්.

ළමයින්ට එරෙහිව සිදුවන කායික හිංසන පිළිබඳ බොහෝදුරට සමාජයේ අවධානය යොමු වුණත් මානසික හිංසන එතරම් සමාජයේ කතාබහට ලක් නොවේ.

උපුටා ගැනීම - Wikipedia

චිත්තවේගී අපයෝජනය ළමා අපයෝජන ක‍්‍රියා ශාරීරික අපයෝජනයට සීමා නොවන අතර ශාරීරික වශයෙන් කරන හිංසාවලින් තොරව චෛතසිකව ද අපචාරයට ලක්වේ. රළු වචන භාවිත කිරීම, බිය ගැන්වීම, තර්ජනය කිරීම, හුදකලා බවට පත්කිරීම වැනි ක‍්‍රියාවලින් මෙන්ම දරුවන්ට ලැබිය යුතු ආදරය නොලැබීම, නොසලකා හරිනු ලැබීමද මෙයට අයත් වේ. චිත්තවේගී අපචාරයන්, ශාරීරික අපයෝජනයන් මෙන් හඳුනා ගැනීම අපහසු නිසා මේ තත්ත්වයන් සනාථ කිරීම වඩා අපහසුය. (ගුණරත්න 2000: 91)

උපුටා ගැනීම අවසන්.

මේ අනුව ඇතැම් විට දරුවන් යහ මගට ගැනීම යනාදී ලෙස සාධාරණීකරණය වන ඇතැම් දණ්ඩන පවා දරුවන්ට එරෙහිව කායිකව සහ මානසිකව සිදුකරන අපයෝජනයක් විය හැක. මේ නිසා දැනුවත්ව හෝ නොදැනවත්ව දරුවන් හිංසනයට පත්කරීම , අනුබලදීම හෝ එම ක්‍රියා සාධාරණීකරණය කිරීම නොකළ යුත්තකි.

2008 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට (ජනවාරි 04) යෙදී  තිබෙන අතර වැඩිහිටියන් ලෙස දරුවන්ට එරෙහි සියලු ආකාරවල හිංසන පිටුදැකීම අපේ වගකීමක් බව comrade.lk මෙලෙස සටහන් කරමු.