මාතෘකාව කොරෝනා ! තහනම් වචනය දේශපාලනය !!

මාතෘකාව කොරෝනා ! තහනම් වචනය දේශපාලනය !!

මීට කලකට පෙර ගුවන් විදුලියේ අපූරු වැඩසටහනක් විකාශය විය. එය සරල තරගයකි. තරගකරුවන්ට යම් මාතෘකාවක් ලැබේ. ඒ සමග ම තහනම් වචනයක්ද ලැබේ. තහනම් වචනය නොකියා අදාළ මාතෘකාව ගැන විනාඩියක් කතා කළ යුතුය. උදාහරණයක් ලෙස ආදරය ගැන කතා නොකර පෙම්වතුන් ගැන කතා කළ යුතුය. ජලය ගැන කතා නොකර ගංගාවන් ගැන කතා කළ යුතුය. 

 
ඒ තරගය අපට හදිසියේ සිහිපත් වූයේ කොරෝනා වසංගතය පැමිණීමත් සමගය. පුරවැසි සියලු දෙනා වසංගතය තුරන් කිරීමට වචනයකින් හෝ දායක වීමට ඉටා ගත් බව ඇත්තකි. ඒ සමගම ආ කතාව වූයේ මේ වෙලාවේ දේශපාලනය කතා නොකළ යුතුය යන්න ය. මැතිවරණ බල ක්‍රීඩාව නවතා වසංගතය පිටුදැකීමට පියවර ගන්නැයි විපක්ෂ අපේක්ෂකයන්ද කියනු අපි දුටුවෙමු. එහෙත් දේශපාලනය කතා නොකර කොරෝනා ගැන කතා කළ හැකිද? 
 
කොරෝනා වසංගතය මැඩලීම සඳහා අවශ්‍ය බලය ඇත්තේ රජයටය. රජය හසුරවන සුක්කානම ඇත්තේ ආණ්ඩුව අතේය. එනිසා, වසංගත මර්දනයේ නායකත්ව භූමිකාව ඔටෝමැටිකලි ලැබෙන්නේ ආණ්ඩුවටය. එය ආණ්ඩුව හොඳින් දනියි. දැනගෙන වැඩ කරයි. අන්න ඒ නිසාම මැතිවරණය කල් දැමූ බව මැතිවරණ කොමිසම පැවසුවද, ආණ්ඩුවේ කැම්පේන් එක මේ වන විට කොරෝනාය. 
 
ආණ්ඩුව තම කැම්පේන් එක කොරෝනා බවට පත්කරගන්නා අතරේ විපක්ෂයට ගිල්ලවා ඇති ගුලිය නම්, ``හා හා මේ වෙලාවේ දේශපාලනය කතා කරන්න එපා.. කොරෝනා කොරෝනා`` යන්නය. විපක්ෂයද සෑහෙන දුරට මේ ගුලිය කා ඇති බව පෙනෙයි. ඇත්තටම එය නොකාද බැරි ගුලියකි. යුද්ධය වෙලාවේ තරම්ම නැතත් වසංගතය ගැන හැඟීම්බර වී සිටින ලංකාවේ `ජනතාව` එක්ක ඩීල් කරන්නට ඒ ගුලිය කන්නම ඕන බව විපක්ෂය සිතයි.
 
ආණ්ඩුව කර ඇත්තේ විපක්ෂය රැඳී සිටිය යුතු සීමාව දක්වා කෝට්ටකින් ඉරක් ඇඳ, ඉරෙන් මෙපිට හිඳ රාජ්‍ය බලය ලෙළවමින් සෙල්ලම් කිරීමය. නිකමට හරි විපක්ෂය පොඩ්ඩක් ඉරෙන් මෙහාට පැන්නොත් ආණ්ඩුව කරන්නේ තමන්ට කීකරු මාධ්‍ය හා එතරම්ම කීකරු `ජනතාව` සමග එක්ව විපක්ෂයට තඩි බෑමය. 
 
පසුගියදා `රතු තරුවක්` අල්ලාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ නටපු නැටිල්ල එකී තත්ත්වයට හොඳ උදාහරණයකි. ආණ්ඩුවේ `ඔෆීෂියල් තරු පෙන්විලි` මුවින් නොබැණ ඉවසන සමහර `ජනතාවට`ද රතු තරු ඇලජික්ය. හැබැයි සෞඛ්‍ය පණිවිඩ යටින් හීනියට තම නම කොටගන්නා ආණ්ඩුවේ අපේක්ෂකයෝ සිටිති. ඒවා අර සීමාවට අහුවෙන්නේ නැත. ආර්ට්වර්ක්වල ෂේප් එකේ ඇති දේශපාලනය එයයි.
 
ඒ සමහරු මධ්‍යම ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන වචනයක්වත් නොකියා තමන්ගේ ආසනයේ මාර වැඩ ගොඩක් වෙන බව පෙන්වන්නට හදති. ``එතකොට හලෝ සමස්ත ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකක්දැයි`` ඇසූ විට, ``අනෙක් ආසනවලත් සංවර්ධන කමිටු තියෙනවනේ.. ඒවායේ ඉන්න අය ඒවා කරන්න එපැයි``වැනි ළමා කතා කියති. වැඩේ කියන්නේ එහෙම කියන අය, `ප්‍රාදේශීය වශයෙන් බලය බෙදීමට` මාරාන්තික ලෙස විරුද්ධය.
 
ඒ අතුරු කතාය. දැන් අපි ප්‍රධාන කාරණාවට එමු. මැතිවරණය කල් ගොස් ඇත.  ``මැතිවරණය සදහා නව දිනයක් ගැන තීරණය කිරීම තබා ඒ ගැන සළකා බැලීම හෝ සිදු කළ හැක්කේ සිංහල හා හින්දු අලුත් අවුරුදු  සමය අවසන්වීමෙන් පසු - බොහෝ විට අප්‍රේල් 20 දිනද පසු`` බව කොමිසම ඉඟි කර ඇත. ඒ සමගම එම දිනය `2020 මැයි මස 14 දිනයෙන් ඔබ්බෙහිවූ දිනයක්` බවද සඳහන් කර ඇත.
 
දැන් අපි ආණ්ඩුවේ උපාය මාර්ගය මොකක්දැයි මඳක් විමසා බලමු. කොරෝනා වසංගත තත්ත්වයේ මාරාන්තික සමය පසුකරගැනීමට තව සති දෙකක්වත් ගතවිය හැකිය. ඒ සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇඳිරි නීතිය එවැන්නකි. එම ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වැදගත් බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. එහෙත් ගේම් එක ප්ලේ වෙන්නේ එම තත්ත්වය මැදිනි.
 
තව සති දෙකක් ඇඳිරි නීතිය ඇදුණොත්, ඊළඟට එන්නේ අවුරුදු සමයයි. එම පරිච්ඡේද දෙකේම දේශපාලනය කතා කිරීම අසාර්ථක වනු ඇත. අවුරුදු අවසන් වෙන්නේද කොරෝනා අවදානම සහමුළින්ම පහවී නොවන බව තේරුම්ගත හැකිය. මැතිවරණ කොමිසම කියන `අප්‍රේල් 20` වන විටත් කැන්වසින් යා හැකි හෝ රැස්වීම් තැබිය හැකි තත්ත්වයක් නොඑනු ඇත. 
 
අප්‍රේල් 20න් පසු මැයි 14ට ඔබ්බෙහි දිනයක් මැතිවරණයට නියම වුවහොත්, මැතිවරණ ව්‍යාපාරයට ඉතිරි වන්නේ ඉතාම අවම දින ගණනකි. රාජ්‍ය බලය, මාධ්‍ය බලය හා මුල්‍ය බලය යන ත්‍රිවිධ බලයෙන් ආණ්ඩුව කොහොමත් සන්නාහ සන්නද්ධය. එපමණක් නොව, `කොරෝනා ත්‍රස්තවාදය පැරදවූ` යන සන්නාමය කැන්වසින් අඩුව පුරවනු ඇත. කොරෝනා මෙහෙයුමෙන් වඩාත් තහවුරු කරගත් මිලිටරි බලයද අනාගතයේදී ආයෝජනය වනු ඇත.
 
රාජ්‍ය බලය නොමැති මුත් මාධ්‍ය බලය යම් පමණකටත් මුල්‍ය බලය අවශ්‍ය තරමටත් ඇති දක්ෂිණාංශික එජාප පළු දෙක ආණ්ඩුව සමග යම් පමණකට හැප්පෙනු ඇත. එහෙත් හැප්පීම හුදු බල ක්‍රීඩාවක් මිස ජනතා ජයග්‍රහණ කැඳවන සටනක් නොවන බව සැක නැත. එජාප පළු දෙකේ `දිනන්නන්` මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ `දිනන්නන්`ගේ දෑත් ශක්තිමත් කරනු ඇත. 
 
රාජ්‍ය - මාධ්‍ය - මුල්‍ය  ත්‍රිවිධ බලයම අහිමි ජවිපෙ පෙසප වැනි වාම ප්‍රගතිශීලී සංවිධාන මුහුණ පානු ඇත්තේ බරපතළ අර්බුදයකටය. මැතිවරණය සඳහා ඔවුනට ඉතිරිවන ඒ අවම දින ගණනේවත් සම්ප්‍රදායික ප්‍රචාරක උපක්‍රම සාර්ථක වීමේ සම්භාවිතාවක් නැත. එහෙයින් නව උපක්‍රමික කලාපයන් දෙස අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.
 
මෙම තත්ත්වය තුළ, සත්තකින්ම දේශපාලනය ආරම්භ වනු ඇත්තේ මැතිවරණයෙන් පසුවය. වාම ප්‍රගතිශීලී කණ්ඩායම් ඒ පශ්චාත් මැතිවරණ දේශපාලනය සඳහා කෙතරම් සූදානම්ද? එම තත්ත්වය තුළ අත්‍යවශ්‍ය කොන්දේසියක් වන `සමගිය` සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය හා සූදානම කොපමණද? වෙන්ව ගමන් ගනිමින් එක්ව සටන් කිරීම ගැන දැන්මම හිතුවොත් නරකද?
 
(පසුව ලියමු. කොරෝනා තුරන් කිරීමට මිනිස් කැළක් ලෙස එක්විය යුතුය. එහිදී ක්‍රෙඩිට් එක යන්නේ ගෝඨාභයටද සජිත්ටද අනුරටද පුබුදුටද යන්න අපට අදාළ නැත. හැබැයි, නිරෝගී රටක් බිහිවන්නේ දේශපාලනික වෛරස් ගැනද ඇස් ඇරගෙන සිටියොත්ය. මේ විග්‍රහය ඒ දේශපාලන උවමනාව වෙනුවෙනි. සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. කොරෝනා මැඩීමට එකා මෙන් එක්වන්න.)
 
 
| වජිර ගමනායක |