හඳුන්ට එරෙහි ෆේස්බුක් මඩ ; ප්‍රහාරකයන්ට `බැක්ෆයර්` වෙයි !

හඳුන්ට එරෙහි ෆේස්බුක් මඩ ;  ප්‍රහාරකයන්ට `බැක්ෆයර්` වෙයි !
 
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඉලක්ක කරගනිමින් ෆේස්බුක් සමාජ ජාලයේ දියත් වූ මඩ ප්‍රහාරය, එය දියත් කළ ප්‍රහාරකයන් වෙත ම යළි හැරවී තිබේ. ජවිපෙ පූර්ණකාලීනයන්ගේ නඩත්තුව පිළිබඳව මීට කලකට පෙර මාධ්‍යයකට කළ අදහස් දැක්වීමක් උපයෝගී කොටගෙන, හඳුන්නෙත්තිට එරෙහි මඩ ප්‍රහාරය දියත් කර තිබිණි. සියල්ල නිකම් ලබාගන්නා පිරිසක් ලෙස ජවිපෙ කාඩරය ලේබල් කරමින් පෙරට ආ එම මඩ ප්‍රහාරයට ප්‍රගතිශීලී කොටස් පිළිතුරු බඳිමින් ඇත්තේ, ``ජවිපෙ ෆුල්ටයිමර්ස්ලාට වඩා හොරු හොඳද?``
අසමිනි. 
ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි වාමාංශික පක්ෂ, සිය පූර්ණකාලීන කාඩර්වරුන් නඩත්තු කරන්නේ පක්ෂ සාමාජිකයන් හා හිතවතුන්ගෙන් ලැබෙන ආධාරවලිනි. ධනේෂ්වර පක්ෂ සහ ඒවායේ සාමාජිකයන් එම ප්‍රතිපත්තිය ගැන නියම අවබෝධයක් නොමැති බව දේශපාලන විචාරකයෝ පවසති.

********

 

අනුන්ගෙන් යැපීම

 

වාමාංශික දේශපාලන සංස්කෘතිය හරහා ගමන් නොකළ පරිභෝජනවාදී සංස්කෘතිය තුළ හැඳී වැඩුණු අයට මිතුරන්ගෙන් යැපීම පිළිබඳ සිතා ගැනීමට නොහැකිය. මම අඩුම තරමින් වසර තුනක් මුළුමනින්ම පාහේ දේශපාලන මිතුරන්ගෙන් යැපෙමින් දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදී ඇත. 1988 දී ජවිපෙ විසින් මෙහෙයවූ බස් වර්ජනය අවස්ථාවේ මගේ මිතුරියක් බයිසිකලයක් මිලදී ගන්නැයි මට රුපියල් දහසක් දුන්නේය. එසේම හැමදාම එක ඇදුමක් ඇදගෙන යනු දුටු තවත් මිතුරෙක් කමිස දෙකකට හා කලිසම් දෙකකට රෙදිද බැනියම් දෙකක් ද යට ඇදුම් දෙකක්ද කලිසම් හා කමිස මසාගැනීමට රුපියල් දහසක්ද දුන්නේය. වරක් නුවර රත්තරන් බඩු සාප්පුවක් හිමි, වාමාංශිකයින්ට හිතවත් මගේත් මිතුරෙක් වෙන කෙනෙක් ඔහු පාවිච්චි කළ ඇදුම් විශාල පාර්සලයක් මා අතට දී එය සුනන්ද දේශප්‍රියට භාර දෙන්නැයි ඉල්ලා සිටියේය. ඒ සුනන්දට පාවිච්චි කිරීම සඳහාය. දැන් ජවිපෙ ආර්ථික තත්වය පෙරට වඩා උසස් වුවද මේ සාමුහිකව බෙදා හදා ගැනීමේ සංස්කෘතිය තවම ඔවුන් තුල මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළද තිබේ. මම 2010 දී ලියූ ලිපියක ජවිපෙ ප්‍රභූකරණය වීම ගැන සඳහන් කලෙමි. ජවිපෙ විකාශය වීම තුළ එය වැලැක්විය හැක්කක් නොවේ. නමුත් ජවිපෙ කාර්යාලයට වරින් වර යන එන කෙනෙක් ලෙස ඒ තුළ සාමූහික ජීවිතය සඳහා ඇති කැපවීම පවතින බව දැකගත හැක. (තම නිවස හදා ගැනීම සඳහා ද මිතුරන් උදව්කළ බව විමල් වීරවංශ කීවා වැනි මතකයක් ද තිබේ.) අප ජීව්ත්වන සංදර්භය තළ විජේවීරගේ කාලයේ මෙන් මෙවැනි භාවිතයක් පවත්වාගෙන යාම පහසු නොවේ. නමුත් විකල්ප පිළිබඳ ආදර්ශ නිර්මාණය වෙන්නේ එවැනි පරිශ්‍රමයන් වෙතිනි.

ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිගේ ෆේස්බුක් පිටුවෙනි.

****************

 

``හඳුන් කියන කතාව සහතික ඇත්ත.

ඒගොල්ලන්ට උදව් කරන්න මිනිස්සු ඉන්නව. මොකද මමත් එයින් එක්කෙනෙක්.

මම ඒගොල්ලන්ට ඡන්දෙ දෙන කෙනෙකුත් නෙමෙයි. උදව් කරන්නෙ ෆිට් එකට. ඒක උන් ගැන තියෙන වෙන මොකද්දෝ ලව් එකක්.

මමනං කවදාවත් එයා අපෙන් ගන්න පොත් වලට සල්ලි අරන් නෑ.

ඒ වගේම කෝල් එකක් දීලා 'ජනක, කියවන්න අලුත් පොත් මොකුත් නැත්ද' කියල ඇහුවම පොත් පාර්සලයක්ම පක්ෂ කාර්‍යාලෙට අරිනව.``

 

ජනක ඉනිමංකඩගේ ෆේස්බුක් පිටුවෙනි.


*******************************************


හඳුන්,පරිභෝජනය හා බුදු දහම
------------------------------------------------------------------------

ජීවත් වීම පිළිබඳ ස්වකීය ස්වරූපය හැර වෙනත් ස්වරූප තිබිය හැකි බව සිතීමට නො හැකි බොහෝ දෙනෙකුට හඳුන්නෙත්තිගේ ජීවන විලාසය තේරුම් ගැනීමට නො හැකි වීම සාධාරණ ය.අල්පේච්ඡතාවය හා තව එබඳු බොහෝ දේශනා ඇතුළත් බෞද්ධ දර්ශනය පිළිබඳ අදහස් දක්වන්නවුන්ට පවා හඳුන්ගේ ප්‍රකාශය දිරවා ගත නො හැකි වීම පිටුපස පවතිනුයේ මෙකී යථාර්ථය යි.

ඊට අමතරව තම තමන් දරන දේශපාලන ස්ථාවරයන් හඳුන්ගේ ප්‍රකාශය හෙළා දැක්වීම සඳහා හේතු විය හැකි වුව ද මෙහි මූලය පවතිනුයේ ධනේශ්වර පරිභෝජනවාදී ජීවන තර්කණය තුළ ය.මිල දී ගැනීම හා අළෙවි කිරීම හැර වෙනත් මානව විලාසයන් පැවතිය හැකි බව පරිකල්පනය කිරීමටවත් මේ වෙළඳපොළ තර්කණය ඉඩ ලබා දෙන්නේ නැත.මෙකී තර්කණයේ ප්‍රතිඵල අපගේ ජීවිතයන්ට ද අඩු වැඩි වශයෙන් බල පා ඇත.නිදසුනක් ලෙස උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන පිරිමි දරුවන් නිවසෙහි නවත්වාගෙන බොහෝ කලක් තිස්සේ ඉගැන්වීමෙන් මා ලද එක් දායාදයක් වූයේ මෙසේ ළමුන්ට කෑමබීම සපයමින් උගන්වන්නේ මා සමලිංගයෙකු වන බැවිනැ යි ප්‍රචාරයක් නොමිලේ ම ලබා දීමට තරම් මා ජීවත් වන ප්‍රදේශයේ ගම්වැසියන් සහ මාගේ ටියුෂන් තරඟකරුවන් කාරුණික වීම ය.ස්වභාවිකත්වය යනු කුමක්දැ යි හඳුනා ගැනීමට නො හැකි ව අසරණ වී සිටින ග්‍රාම්‍ය මිනිසුන් අහිනක් ඉදිරියේ අප කිසිසේත් ම යටත් විය යුතු නැති බව නම් මම ඒ මොහොතේ පසක් කළෙමි.

තමන්‍ට පවත්වාගෙන යා නො හැකි ජීවන ආදර්ශයන් ඉදිරියේ මේ ඇතැම් සිංහල බෞද්ධයන් ඉදිරිපත් කරන වාගාලාපයන්ගෙන් ඔව්න් නො දැන ම සිදු කරනුයේ අන් කිසිවක් නො ව තමන් විසින් මහත් ඉහළින් වර්ණනාවට ලක් කරන බෞද්ධ ඉගැන්වීම් සහ සම්ප්‍රදායන් ම ප්‍රතික්ෂේප කිරීම ය.හඳුන්ගේ ව්‍යවහාරයට කෝචොක් කරන බෞද්ධයන් මේ පෙන්වා දෙනුයේ මේ සමාජ ක්‍රමය තුළ හඳුන් පවසන ආකාරයේ ජීවන භාවිතාවක් පිළිගත නො හැකි බව යි.

එය එසේ නම් බෞද්ධ යතිවර සම්ප්‍රදාය යනු කිසිසේත් ම පිළිගත නො හැක්කකි.මන්ද යත්,බෞද්ධ යතිවර සම්ප්‍රදාය යනු හඳුන් ඉදිරිපත් කරන විලාසයට ද වඩා අභියෝගාත්මක ජීවන ආදර්ශයක් වන බැවිනි.

බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් මාගේ ගෞරවයෙන් විශාල පංගුවක් පවතිනුයේ එය මේ මොහොතේ ධනේශ්වර පරිභෝජනවාදී අවසංස්කෘතික තර්කණ රටාවට එරෙහිව භාවිත කිරීමට වන හැකියාවෙන් යුක්ත වන බැවිනි.එහෙත් එහි අයිතිකරුවන් මෙන් හැසිරෙන ඇතැම් ගණින්නාසේලා ද උන්ගේ උපාසක උපාසිකා මාතාවන්ට ද එම දර්ශනයෙහි වන මේ විභවය කිසිසේත් ම අදාළ නො වන බව මේ සිදු වීමෙන් යළිත් වරක් සනාථ වී ඇත.

ඔව්න්ට අවශ්‍ය වී ඇත්තේ මේ වෙළඳපොළෙන් කොටසක් කඩා ගැනීම මිස බෞද්ධ සම්ප්‍රදායන් ව්‍යවහාර කිරීම නො වන බව ඉගැන්වූවාට හඳුන්,අප අතර කෙතරම් මතවාදී බෙදීම් පැවතිය ද උඹට ස්තුති යි.එසේම ඔබ ද අභියෝග කිරීමට මැළි වන මේ ප්‍රතිගාමී සිංහල බෞද්ධ ජාතිකවාදයට සමාජයට ලබා දිය හැකි කිසිදු ව්මුක්තියක් නොමැති බව ජ.වි.පෙ. තුළ තවමත් ශේෂ වී සිටින වාම සහෝදරත්වය පිළි නො ගන්නේ නම් එය මේ මොහොතේ මෙහි වෙසෙන සැබෑ බෞද්ධයන් හෝ පිළිගනිත්වා යන්න අපේ පැතුම ය.

- ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න


lali
handunmud