වරාය නගරයට විරුද්ධ පෙත්සම් විභාග කිරීම ලබන 19 වනදා

වරාය නගරයට විරුද්ධ පෙත්සම් විභාග කිරීම ලබන 19 වනදා

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති අතර අදාළ කෙටුම්පත ජනමතවිචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන්නැයි ඉල්ලමින් ඉංජිනේරුවරයෙකු විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මීට අමතරව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට කරුණු ඉදිරිපත් කරමින් තවත් පෙත්සම් 15 ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත අනුව වරාය නගරය තුල සිදුවන ආයෝජන සහ ව්‍යාපාරික කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ බලය පැවරෙන්නේ වරාය නගර ආර්ථික කොමිසමට පමණක් වීම,එම නගරයේ සේවකයින්ට වීසා නිකුත් කිරීමේ බලය කොමිසමට පැවරීම මෙන්ම එම නගරය තුළ ඇති ඉඩම් පැවරීම, විකිණීම සහ බදු දීමේ බලයද කොමිසමට පැවරීම යනාදී කරුණු රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථික සුරක්ෂිතතාවයට දැඩි බලපෑම් එල්ල කරන බවටයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.එමෙන්ම මෙම වරාය නගරය කිසිදු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයකට අයත් නොවීමද පෙත්සම්කරුවන් විසින් අභියෝගයට ලක්කර තිබෙනවා.
අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර ඇති අතර ලබන 19 වනදා එම පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.