කාටවත් වෙනසක් ඕන නෑ ! එයාලා එහෙම වෙනසක් ගැන දන්නෙ නෑ !! - සෞම්‍ය සඳරුවන් ලියනගේ

 කාටවත් වෙනසක් ඕන නෑ ! එයාලා එහෙම වෙනසක් ගැන දන්නෙ නෑ !!  - සෞම්‍ය සඳරුවන් ලියනගේ

 සෞම්‍ය සඳරුවන් ලියනගේ DSC 0583 1

කාව්‍ය අභ්‍යාස දෙකකට පස්සෙ නවකතා වැඩ බිමක සැරිසරන එක සෞම්‍ය සඳරුවන් ලියනගේට මොන වගේ අත්දැකීමක් වුණාද?

සෞම්‍ය - ඇත්තම කිව්වොත් මුලින්ම ලියපු හැටේවත්තේ 'මග්දලේනා කවිපොතයි’, දෙවෙනියට ලියපු 'නුඹ නොඒ නම් කියන්න’ කවි පොතයි අතරමැද කාලෙ තමයි මේ නවකතාව ලියන්න පටන් ගත්තෙ. ඒකත් මුලින්ම සිනමා තිරනාටකයක් විදියට ලියන්න ගත්තෙ. ඒකට ලියපු චරිත තුනක කතා තුනක් තමයි 'ලෝටස්’ විදියට සංස්කරණය වෙන්නෙ. ඒක ඇත්තටම නියම අත්දැකීමක් වුණා. මොකද කිව්වොත් මම පුංචි කාලෙ ඉඳලම කතන්දර අහන්න හරි කැමතියි. ඒ කැමැත්ත තමයි සිනමාව වගේ කලාවන්ට කැමති වෙන්නත් ප්‍රධානම හේතුව. පස්සෙ කාලෙක ඒ කතන්දර ඇහීමේ කැමැත්තම තමයි කතන්දර කීමේ කැමැත්තක් දක්වා වර්ධනය වෙන්නෙත්.

වැඩේ ඇතුළෙදි කවිය සහ නවකතාව අතර ඔබට දැනුණ වෙනස්කම් මොනවාද, සමානතා මොනවාද?

සෞම්‍ය -  මුලින්ම කියන්න ඕන, මම මහා බර ශාස්ත්‍රීය නිර්වචනයක් එක්ක මේ කාරණය පැහැදිළි කරන්න තරම් පරිණත සාහිත්‍යකරුවෙක් නෙමෙයි. හැබැයි පාඨකයෙක්, මට දැනෙන දේවල් ටිකක් තියෙනවා මේ ගැන කතා කරද්දි. මම එතනින් උත්තර දෙන්නම්.


කවිය සහ නවකතාව කියන්නෙ දෙකක්. ඒක ඇත්ත. හැබැයි ඒ දෙකටම පොදු සමහර දේවල් තියෙන බවයි මට හිතෙන්නෙ. කවියක් ලියද්දි අපට සිද්ධවෙනවා හොඳම වචන සහ ඒ වචන පාවිච්චි කළයුතු හොඳම තැන් ඉතාම නිවැරදිව තීරණය කරන්න. බැරිවෙලාවත් ඒක කරගන්න බැරිවුණොත් ඒ කවිය ගන්න දෙයක් නැති වෙනවා. නවකතාවෙදි ටිකක් ලොකු පිට්ටනියක අපට වැඩ කරන්න ලැබෙනවා තමයි. ඒත් ඒක ඇතුළෙ පවා අපි අර මූලික දේ අමතක නොකර සිටිය යුතුයි මං හිතන විදියට. මොකද ඉඩ තිබුණු පළියට අපට බෑ හිතෙන හිතෙන දේවල් ලියලා පිටු පුරවන්න. අන්න එතනදි සිනමාව එක්ක තිබුණු හැදෑරීම් ටික මට ලොකු උදව්වක් වුණා. සිනමාව ඉගෙන ගනිද්දි අපි ඉගෙනගන්න මූලික දෙයක් තමයි අවශ්‍යම රූපරාමු තෝරගන්නෙ කොහොමද කියන කාරණය. මං හිතන්නෙ ඒක නවකතාවක් ලියද්දිත් පාවිච්චි කළ හැකි උපක්‍රමයක්.


රූප මාධ්‍යය ඇතුළෙ අපි ඉගෙනගන්න, ඊටම ආවේණික වෙච්ච මූලික සංස්කරණ සිද්ධාන්ත ලේඛනයෙදි පාවිච්චි කළොත් ඒක මොනවගේ වෙයිද කියලා බලන්න මට ලොකු ආසාවක් තිබුණා කාලෙක ඉඳලා. ඒක ලෝක සාහිත්‍යයට අලුත් දෙයක් නෙමෙයි. ඒත් අපේ රටේ ඒක එච්චර තියුණු විදියට පාවිච්චි වෙන්නෙ හරි අඩුවෙන්. ලෝටස් ඇතුළෙ මම කරන්න උත්සාහ කරපු ප්‍රධානම දෙයක් තමයි ඒ අත්හදාබැලීම. මම කියන්නෙ නෑ ඒක අති සාර්ථක වුණා කියල. මගේ ලිවීමේ හැකියාව හෝ නොහැකියාව මත යම් යම් අඩුපාඩු සහ සාධනීය ලක්ෂණ තීරණය වෙන්න පුළුවන්. හැබැයි මම මගේ උපරිමය ඒ වෙනුවෙන් දුන්නා. එපා වෙන තරමටම එඩිට් කළා, සමහර තැන්වල හරිම නිර්දය විදියට.

නවකතාවෙ නම 'ලෝටස්'. නම පිටිපස්සෙ කතාවක් තියෙනවද? Lotus cover 130x200mm

සෞම්‍ය - ඒ නම ඕනම කෙනෙකුට තමන් කැමති අර්ථයෙන් තේරුම් ගන්න පුළුවන්. කතාව අවසානයේ පාඨකයා විසින්ම පුරවාගත යුතු හිස්තැනක් විදියට ඒ නම ඉතුරු කරන්නයි මට ඕන වුණේ. පිවිතුරු බව ගැන වගේම මඩ ගොහොරු ගැනත් ගොඩාක් කතා ඒ නම ඇතුළෙ තියෙන්න පුළුවන්. ඒක සංකේතයක් විදියටයි පාවිච්චි වෙන්නෙ මට හිතෙන විදියට.

නවකතාව තමයි කලක් සාහිත්‍යය වෙළඳපොළේ ඉහළින්ම අලෙවි වුණේ. දැන් ඒ තැන ක්‍රමයෙන් කවියට හිමිවෙන වග පේනවා. ඒකෙන් කියන්නේ මිනිසුන් දීර්ඝ කියැවීම්වලින් ඈත්වෙමින් තිබෙන බවද?

සෞම්‍ය - එහෙම කියන්න තරම් තාම වේලාසන වැඩියි මං හිතන්නෙ. තාමත් මිනිස්සු නවකතාවට කැමතියි. හරියට කල්පනා කරල බැළුවොත් ඒ ඉල්ලුමට සාපේක්ෂව කවිය ඉන්නෙ ගව් ගාණක් දුරින්. ගෙවුණු අවුරුදු කිහිපය ඇතුළෙ කවිය ටිකක් බර සහ දිගු අඩි තියමින් සාපේක්ෂව වේගවත් ගමනක් ආව බව මම පිළිගන්නවා. ඒත් මට හිතෙන විදියට නවකතාව තමයි තාමත් අංක එක. ඒක සම්මාන උළෙලවල් සහ ඒ හා බැඳුණු දැවැන්ත වාණිජ ක්‍රියාන්විතයක් හරහා දවසින් දවස ඉදිරියට තල්ලු කරමින් ඉන්න වැඩක්. ඒකත් එක්ක තරගයක් දෙන්න කවියට හෝ කෙටිකතාවට අමාරුයි. ඒ මදිවට, අවිඥානිකවම වගේ පාඨකයො විදියට අපිත් වැඩිපුර කැමති කතන්දර අහන්න.

මෙන්න අභියෝගයක්! දේශීයව හෝ විදේශීයව ඔබව වැඩිපුරම කම්පනය කළ නවකතා පහ මොනවාද, ඒකට හේතු පහ මොකද්ද?

සෞම්‍ය - එච්චර නොහිතුවට ඒක සෑහෙන්න බරපතල ප්‍රශ්නයක්. ඇත්තටම ඔබ එහෙම අහනකල් මම ඒ ගැන විශේෂයෙන් හිතල තිබුණෙ නැහැ. ඒත් මට ඔය කාරණයෙදි අවංකව උත්තර දෙන්න ඕන, කිසි දෙයක් නඩත්තු නොකර. ඒ නිසා ඒ ඒ කාල සීමාවන්වලදි මාව කම්පනයට පත් කරපු නවකතා පහක් කියන්නම්.

මාව කම්පනය කරපු නවකතාවක් විදියට මට මුලින්ම මතකයට එන්නෙ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' නවකතාව. ඒක තරුණයා පත්තරේ පළවුණු එකක්. එතකොට මට අවුරුදු දහතුනක්, දාහතරක් විතර ඇති. ළමා කතා කියවලා ඉවරවෙලා, ප්‍රේම සම්බන්ධකම් එහෙම පටන් ගන්න කාලෙ ඒ වගේ නවකතා තමයි අපි පැල් බැඳගෙන කියෙව්වෙ. ඒ මොහොත විඳින්න ඕන ඒ මොහොතට ගැලපෙනම දේවල් එක්ක. කිසි දෙයක් ගැන පරිස්සම් නොවී, කිසි දෙයක් නඩත්තු නොකර අවංකවම උත්තර දුන්නොත්, ඒක මාව ඒ වයසෙදි කම්පනයට පත් කරපු නවකතාවක්.


ප්‍රේමය, දේශපාලනය සහ පන්ති අතර තියෙන ගැටුම වගේ කාරණා ගැන කතාබහ කරන නවකතා අතරින් මට වැඩිපුරම දැනුණු නවකතාව තමයි 'අටවක පුත්තු'. ලියනගේ අමරකීර්ති මහත්මයා ලියපු ඒනවකතාවෙ ඉන්න අඩහඳයා වගේ අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා නූපන් නිවුන්නෙක්. අපි ගොඩක් තැන්වලදි ගනුදෙනු කරන්නේ ඒ නිවුන් සහෝදරයා එක්ක. අපිට අපිවම මුණගැහෙන ඒ වගේ නවකතා කියවලා ඉවර වෙද්දි දැනෙන කම්පනය සුළුපටු එකක් නෙමෙයි.

කෞෂල්‍ය කුමාරසිංහ ලියපු 'මේ රහස් කවුළුවෙන් එබෙන්න’ කියන නවකතාවත් පහුගිය කාලෙ මාව හොල්මං කරපු නවකතාවක්. තාමත් මට හරියටම හිතාගන්න බෑ ඒ කම්පනය පටන්ගත්තෙ කොහෙන්ද කියලා. එච්චරටම හෙල්ලිලා ගියා ඒ පොත කියවලා ඉවර වෙද්දි. හරියට අපි ගෙවමින් ඉන්න ජීවිත ඇතුළෙ තියෙන 'ඇත්ත’ අපි ඉස්සරහම දිගඇරියා වගේ.
මාරියෝ වර්ගාස් ලෝසා ගෙ The Bad Girl පොතත් මාව පිස්සු වට්ටපු පොතක්. ආදරය සහ ජීවිතය ගැන වගේම තව ගොඩාක් දේවල් ගැනත් මගේ සිතිවිලි වෙනස් කරන්න තීරණාත්මකව බලපාපු නවකතාවක් ඒක. හුස්ම හිරවෙන විදියෙ කම්පනයක් එක්ක ඒ පොතේ අන්තිම පිටුව කියවලා ඉවර කරපු මොහොත මට ජීවිත කාලෙ පුරාම මතක තියෙයි.
ජෝර්ජ් ඕවල්ගෙ 1984 නවකතාවත් අමතක කරන්න බැරි පොතක්. ඒ වගේම බරපතල කම්පනයක් එක්ක පාඨකයව කරකවලා අතාරින දේශපාලන පාඩමක්. අපි කාලයක් තිස්සේ පරමාදර්ශ විදියට දැකපු දේවල් අනිත් පැත්තට කැරකුණොත් උදාවෙන තත්ත්වය මොන වගේ එකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් හොඳම පොත තමයි 1984.

ඔබේ පොත එළිදක්වන වැඩේ වෙන්න නියමිත කොහොමද?

සෞම්‍ය - වැඩේ සිද්ධවෙන්නෙ සැප්තැම්බර් මාසෙ හත්වෙනිදා හවස තුනට. තැන තමයි මහවැලි කේන්ද්‍රය. ඊට පස්සෙ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වගේම ප්‍රධාන පොත් සාප්පු සහ ඔන්ලයින් පොත් වෙළඳසැල්වල එහෙමත් ‍ලෝටස් තියෙයි. පොත් එළිදැක්වීම් කියන්නෙ මේ දවස්වල නිතර නිතර සිද්ධවෙන දෙයක්. ඒකෙ තියෙන ලස්සනම ටික තමයි වැඩේ ඉවරවෙලා එකිනෙකා මුණගැහිලා කතාබහ කරන ටික. මං හරි ආසයි ඒ කෙටි වෙලාවට.

අන්තිම ප්‍රශ්නය! මොනවා ලිව්වත් කිසි දෙයක් වෙනස් වෙන්නෙ නැත්තෙ ඇයි?

සෞම්‍ය -  උත්තරේ හරිම සරලයි. ඇත්තටම කාටවත් එහෙම වෙනසක් ඕන නෑ. මොකද එයාල එහෙම වෙනසක් ගැන දන්නෙ නෑ...

 

| සංවාදය - කසුන් සමරතුංග |