අපි ලිංගික සත්වයෝ ! මගේ කතාවල සුදු තිර නැහැ !! - ඉසුරු චාමර සෝමවීර

අපි ලිංගික සත්වයෝ ! මගේ කතාවල සුදු තිර නැහැ !! - ඉසුරු චාමර සෝමවීර

`මලක් කතා කරයි` කියවලා ඉසුරු චාමර සෝමවීර කියන හාදයාව කියවන්න උපන් ලාලසාව හන්දා ම `ගෑනු, පිරිමි, මල්, පලතුරු` ආ විගස `ග්‍රන්ථ` එකෙන් ගෙන්න ගත්තා. ගෙන්න ගන්නකං තිබ්බෙ පුදුම හදිස්සියක් වුණාට විවිධ කටයුතු නිසා කියවගන්න පුළුවන් වුණේ මේ ඊයෙ පෙරේදා දවසක. නමුත් ඊට කලින්ම ``පොත වෙනුවෙන් ඉන්ටවීව් එකක් කරමු`` කියලා මං ඒ මනුස්සයට පණිවිඩයක් යැව්වා. ෆේස්බුක් එකෙන්. FB IMG 15654515694196197

"අලුත් පොතත් කියවලාම චැටක් දාමු මචං !" 

ඕං ලැබුණු උත්තරේ. හරි, දැන් කියවන්නම එපායැ මේ හාදයාව කතාවට අල්ලගන්න. ඔන්න, එහෙන් මෙහෙන් පැන පැන කියවපු පොත නිවාඩුවක් දාලාම කියෙව්වා. 

"මේක නං උමතුවක් !"

කියවලා අහවර වෙද්දි එච්චර ආදරයක් මේ ලියැවිල්ල කෙරෙහි උපන්නා.  පොත කියවලා අහවර වූ විගස මැසේජ් එකක් තිබ්බා.

"කොහොමද අයියෙ මෙහෙම ලියන්න හුරු වුණේ?"

ඒ මගේ පළමු ප්‍රශ්නෙ.

"මෙහෙම කියලා ඔබ අදහස් කරපු දේ මට තේරුණේ නැහැ. කාලෙන් කාලෙට මගෙ ලිවීම්වල වර්ණ වෙනස්. මං ලිවීම පටන් ගත්තු හැටි කිව්වොත්, මම මගෙ පවුලෙ තනි දරුවා. මගෙ තාත්තා මං පුංචි කාලෙ සිරගත වෙලා හිටියා දේශපාලන සිරකරුවෙක් හැටියට. ඉතින් මට ගොඩක් දේවල් හිතුණා සහ දැක්කා වුණත්, ඒවා බෙදාගන්න කෙනෙක් හිටියෙ නැහැ සහ මං කාවවත් විශ්වාස කෙරුවෙ නැහැ. ස්වයං සංවාද විධියක් හැටියට මං ලිව්වා. ඒක ඇබ්බැහියක් සහ මං පිස්සුවෙන් වගේ කියවද්දි ලිවීම එක්ක දැඩි ව අනුරාගයෙන් බැඳුණා. ඉතින් මං ලිව්වා සහ ලියනවා."

ඇත්ත නේන්නම්. ⁣'මෙහෙම' කියලා අඟවපු හැඟීම තියෙන්නෙ මගේ හිතේ මිසක් ඒ මනුස්සයගෙ හිතේ නෙවෙයිනෙ. ලියපු දෙයක් හිතට වැදුණා ම හැදෙන උන්මාදය එහෙම ම තියාගෙන, මම දෙවෙනි ප්‍රශ්නෙ යොමු කෙරුවා. gchsdgcuidy

"මේ ශෛලිය ගොඩනැගෙන්නෙ කොයි විදියට ද?"

උත්තරේ කොටනවා මට පේනවා, මැසේන්ජර් එකේ තිත් තුන උඩ බිම පෙරළෙද්දි. 

"ඔය ප්‍රශ්නෙ ම වෙඩිවර්ධන අයියා දවසක් මගෙන් ඇහුවා. ඒක මං හිතන්නෙ, මම ලියන්නෙ මොනවා ගැන ද කියන කාරණාව මත තීරණය වෙනවා. කොහොමත් මම සරලව ලියන්න කැමතියි. සරල කිව්වෙ භාෂාත්මක සරල බවට. මම කවි ලියන්නෙක්. ඉතිං ඒකත් මගෙ ගද්‍ය භාෂාව සැකසෙන්න බලපානවා ඇති. තව මගෙ කියවීම් සහ මගෙ දෘෂ්ටිය අනුවත් මගෙ බස සැකසෙනවා. මගෙ කතාවල එන චරිතවල හැඩ, වර්ණ සහ චලිතයන් පණ ගස්සන්න පුළුවන් බසක් තනාගන්න මම උත්සාහ කරනවා. සරල භාෂාවකින් ජිවිතේ රාමු කරන එක පේන තරම් ලේසි දෙයක් නෙමෙයි.

පිටුවහල් පිටුවක ලියන අහඹු හදවතත් ඒ ප්‍රශ්නේ ම විමසුවලු. 

දැන්, ඊළඟට.. 

"ගෑනු, පිරිමි, මල්, පලතුරු ඇතුළේ හිරවුණු සාන්තලා, අමල්ලා, රුවන්ලා, චතූලා, කමල්ලා ඒ හිරවීමෙන් ගලවගන්න පුළුවන් වෙයි ද අපිට ලියලාවත්?"

"ඒක මම දන්නෙ නැහැ. මට අනුව මගෙ ලිවීම් පිළිතුරු හෝ ගැලවීම් සපයන්නෙ නැහැ පැහැදිලිව ම. ඒවා ඔබ අල්ලන විදිය සහ ඔබේ ජීවිතයට බලපාන හැටිය අනුව ඔබ තුළ වෙනස්වීම් සිදුවෙන්න පුළුවන්. ඒත් ඒ ගැන මට ලොකු විශ්වාසයක් නැහැ. මම මගෙ සහ මගෙ වටේ අවුල ලිවීම් හරහා වාර්තා කරන්න සහ පැහැදිලි කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ පැහැදිලි කිරීම් හරහා අවිඥානික හෝ සවිඥානික යෝජනා කිරීම් තියෙන්න පුළුවන්. මං මට ගඳ තැන් ගඳයි සහ සුවඳ තැන් සුවඳයි කියනවා. ඒත් පැහැදිලිව ම මම ගැලවුම්කරුවෙක් නෙමෙයි. දේශනා කරන්නෙකුත් නෙමෙයි." FB IMG 15654515304062215

පන්දුව මගේ පා මුල නතර වුණා. 

"ලිංගිකත්වය, සමරිසිභාවය ආශ්‍රිත ප්‍රස්තුත ගැන වැඩියෙන් ලියද්දි එළියෙන් බලාපොරොත්තු නොවුණ විදියෙ ප්‍රතිචාර ලැබිලා නැද්ද?"

ප්‍රශ්නෙට උත්තරේ පටන් ගත්තෙත් ප්‍රශ්නෙකින්. 

"මම ලිංගිකත්වය ගැන වැඩියෙන් ලියනවද? ලිංගිකත්වය මිනිස්සුන්ගෙ ජීවිතේ කොටසක්. අපි සමාජ සත්ත්වයෝ වගේම ලිංගික සත්ත්වයො. ඒ දේවල් ලිවීම මට අවුල් නැහැ. ඒවා නොලියන එකයි මට අවුල්. මම මගේ කතාවලට සුදු තිර අන්දන්න යන්නෙ නැහැ. ඔව් ! බැනුම් අහල තියෙනවා. ආදර සම්බන්ධතාවලට යෝජනා ඇවිල්ලත් තියෙනවා. පිටකවරෙ බලලා හතේ පංතියෙ ඉන්න තමන්ගෙ මිණිබිරියට 'මලක් කතා කරයි' අරන් දීපු විදුහල්පති සීයෙක් මිණිබිරී අහපු සමහර ප්‍රශ්න නිසා කෝල් කරලා මට ගොඩක් බැන්නා. නිර්නාමික ව අප්‍රසාදය පළ කරපු අය වගේ ම නිර්නාමික ව ස්තුති කරපු අයත් හිටියා."

කතාබහ උණුසුම් වෙනවා වළක්වන්න බැරි විදිහට.

"එහෙව් පෝෂණය නොවූ කියැවීමක් සහිත සමාජයක්, එහෙව් ආකල්පවලින් හීන වූ සමාජයක් නිසා නෙවෙයි ද රටේ දේශපාලන ප්‍රවාහයත් මෙහෙම වෙලා තියෙන්නෙ?"

"ඔව් පාලකයො හඳෙන් එන්නෙ නැහැනෙ. එයාලව පත් කරගන්නෙ අපිනෙ. දේශපාලනයේ මේ මොහොත, අපේ සාමුහික චින්තනයේ පිළිබිඹුවක්. අපේ බහුතරය හිතන හැටි තමයි ඒ."

ජනප්‍රිය ප්‍රශ්නය දේශපාලනික උත්තරයකින් සංග්‍රහ වුණා. කාරණය පවාරණය කරන්න කලින් වාරණය ගැන අහන්න මට හිතුණා. FB IMG 15654515808546311

"මිනිස්සුන්ගෙ හැඟීම්, සිතුවිලි කියන්නෙත් අයිතියක් නේද? ඒවා කිසිම විදියකින් වාරණය කරන්න පුළුවන්ද? ලිවීමටත් දැන් දැන් විවිධායුරින් වාරණය ක්‍රියාත්මක වෙලා තියෙන නිසා මං කැමතියි අයියගේ අදහස දැනගන්න ඒ සම්බන්ධව"

"මෙහෙමයි. ආකල්ප සහ චින්තනමය වශයෙන් දියුණු සමාජයකට වාරණය ඕනෙ කියලා මට හිතෙන්නෙ නැහැ. ඒත් අපි වගේ නොදියුණු සමාජයකට සමහර කාරණා සම්බන්ධයෙන් වාරණය අවශ්‍යයි. සියදිවි නසා ගැනීම්, ලිංගික අපරාධ වගේ දේවල් ස්වයං වාරණයකින් තොරව හුදු මුල්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් ප්‍රමෝට් කරන බාල ජනමාධ්‍ය ඉස්සරහ නිසි වාරණයක් අවශ්‍යයි. ඒත් බොහෝ විට දැන් අපිට පේන සාහිත්‍යමය වාරණයන් අතිශය හාස්‍යජනකයි. භයානකයි කියනවට වඩා මං කැමතියි හාස්‍යජනකයි කියන වචනෙ පාවිච්චි කරන්න. කොහොම වෙතත්, කලා නිර්මාණ වාරණයට මම විරුද්ධයි. ඉතිහාසෙ ඉඳන් ලෝකෙ වාරණය සහ බය එකට ගැටගැහිච්චි කාරණා. දියුණු සමාජයක් අවශ්‍ය දේ සඳහා ස්වයං වාරණයෙන් යුක්තයි. අපේ වගේ චින්තනමය වශයෙන් අඩියක් ඉස්සරහට තියන්නෙ, අඩි ගාණක් පස්සට තිබ්බට පස්සෙ බවයි පේන්න තියෙන්නෙ."


| සංවාද සටහන : දුලාජ් මධුශංක දේවපුර |

FB IMG 15654515148536575