“නිසංසලා කියන නම රටට දුන්නේ මම‘’

Previous Next

 

ශ්‍රී ලංකාවේ පළමු චිත්‍ර කතා පත්තරයේ සිට හොඳම චිත්‍ර කතා නිර්මාණය කළ නෝටන් බ්‍රිජ් හි දයා රාජපක්ෂ, සිය තෙලිතුඩෙන්, වර්ණවත්ද - සුදු කළු වශයෙන්ද චිත්‍රණය කළේ සුදු යයි කළු යැයි වෙන් කළ නොහැකි විචිත්‍ර මනුෂ්‍යත්වයයි. මිනිස් ජිවිතයේ අඳුරු අහුමුළු වෙත සොඳුරු ආලෝක දහරා යොමු කරමින්, හේ, තමන්ගේ ජිවන දෘෂ්ටිය දීමයි කඩදාසි මත මතක් හිටින සේ සිත්තම් කළේය. රක්තා, නිළියකට පෙම් කළෙමි, සපනොකරව් දරුවනේ, මුත්තයියා පාර, පස්, දුලාරි, බකට්හැරී ආපසු එයි වැනි චිත්‍ර කතා ඒ මහා සාක්ෂි කන්දරාවෙන් දශමස්තාන කිහිපයක් පමණි.

මේ ජිවන සිත්තම් කලාව චිත්‍ර කතා කොටුවෙන් මෙපිට සෙලෝලයිඩ් පටය දක්වා ගෙන එන්නට ඔහුට පිළිවන් විය. චිත්‍ර කතාවෙන් ඉව කල මිනිස්කම සිනමා තිරපිටපත් වෙත රැගෙන ආ දයා රාජපක්ෂ එකී කලාපයේද සිහිවටන තිර සිතුවම් සටහන් කර තැබීය. රක්තා, අනුපමා,නිළියකට පෙම් කළෙමි, සක්විති සුවය,හුලවාලි වැනි තිරපිටපත් සිංහල සිනමාවේ දයා රාජපක්ෂ භූමිකාවට හෙටටත් දෙස් දෙයි.
ඔහු තුළ හුස්ම ගත බොහෝ භූමිකා අතර කවියෙකුද විය. ඔහු ගලපා ලු හතර පද කවි, මනුෂ්‍ය ජිවන මංපෙතෙහි හරස් පද ප්‍රෙහේලිකා විසන්දාලන්නට තැත් කළේය. අනෙක් අතට, ඔහු තුළ ජිවත් වූ සදය උපහාසයක් හිමි තියුණු විනිවිදින්නා, දුර්වලම තැනට නරකම පහර ගැසුවේය. ඒ රිදෙන්නට පමණක් නොව හැදෙන්නටය. මේ සියල්ල මැනෙවින් පෙළ ගස්සවන්නට ඔහු පොළඹවාලුයේ, මීට වඩා යහපත් සමාජයක් ප්‍රාර්ථනා කළ දයා රාජපක්ෂ නම් වූ සිහින දකින්නාය.

tv26Daya Rajapakse 
ඉතින්, ගම නගරය ඈ වෙනසක් නොමැතිව කම්හලේ ගොවිපළේ බසපොළේ පදික වේදිකාවේ රෝහලේ ඇස ඇස මුණගැසෙන, දහදියත් කඳුලත් මුළු මහත් අපේක්ෂාවනුත් දෝතින් ගෙන - අනේකවිධ අතෝරයන් ගැන සිත සිතා ඇඟ රුහිරය පුච්ච පුච්චා - අරුමෝසම් නේකවර්ණ බැන්දුම්වලින් ගිනි කන වැටුණු සමාජයක් දිගේ දුහුවිල්ලෙන් පා දොවා ඇවිද එන - සිඳ බිඳ ගත් කේඩෑරි ආත්මයන් ඔලොගුවේ එල්ලාගත් අපේම ජිවිත ප්‍රතිබිම්බයන් දෙස සිංහල චිත්‍ර කතා තෙලිතුඩගින් දයාර්ද්‍රම බැල්ම හෙලූ, දයා රාජපක්ෂ නම් වූ උත්තුංග සිත්තරා සමඟ කල සංවාදයකි මේ. දැන් ඔහු අප අතර නැත.


" නිසංසලා කියන නම රටට දුන්නේ මම. මගේ චිත්‍ර කතාවකින් හඳුන්වා දෙන තුරු මේ රටේ නිසංසලා කියන නමක් තිබුනේ නෑ."

ස්වකීය නිර්මාණ ජිවිතයේ අත්විඳි සියුම් සොඳුරු මතකයන් එසේ අවදි කළ ඔහු, ජාතික චිත්‍ර කතා පදනමේ සභාපති ධුරය දරමින් මේ දිනවල වෙහෙසෙන්නේ සැප්තැම්බර් 14,15,16 යන තෙදින තුළ පැවැත්වීමට නියමිත ' චිත්‍රකතා ශිල්පීන්ගේ මහා චිත්‍ර ප්‍රදර්ශනය ' වෙනුවෙනි. ඒ වෙහෙස මැද වුව ඔහුට බාධා කරන්නට අපට සිදු වූයේ අයි? ඔහු මෙරට චිත්‍ර කතා කොටු අතර මනුෂ්‍යත්වය සිතුවම කළ මිනිසාය. මනුෂ්‍ය අධ්‍යාතාමයේ ගැඹුරු සංවේදනාවන් පින්සලෙන් පිරිමැද අප ඉදිරියේ මවාලූ ඔහුට හිමි තැන සඳකඩපහණේ අපට මඟහැර යා හැකිද?

චිත්‍ර කතාවක් කියන්නේ මොකක්ද?

චිත්‍ර කතාවක් කියන්නේ සාමන්‍ය නවකතාවක් හෝ කෙටිකතාවකට පරිබාහිරව රූප මාධ්‍යයෙන් පෙන්වන කතන්දරයක්. ඇතැම්විට වෙනත් ගද්‍ය හෝ පද්‍ය කෘතියකට වඩා චිත්‍රකතාවෙන් අදහස් ප්‍රකාශනය පහසු වෙනවා.
යුරෝපයේ බිහිවුණු චිත්‍රකතාව ලංකාවේ ප්‍රචලිත වන්නට පටන් ගන්නේ 1952දී විතර. ඊට කලින් තිබුණු ඒවා චිත්‍රකතා ලෙසින්ම හැඳින්විය නොහැකි කාටුන් කතා. පසුව ඉන්දියානු චිත්‍ර කතා පොත් ප්‍රචලිත වන්නට පටන් ගත්තා. ඒ එක්කම යුරෝපිය ගොපලු කතා - වීර කතා - ටාසන් වැනි කතා චිත්‍ර කතා පොත් ලෙස ප්‍රකාශයට පත්වුණා. නමුත් ඒවායේ ඒ තරම් ගැඹුරක් තිබුණේ නැහැ.

 

ඔබේ චිත්‍රකතාවල තිබුණු අපුර්වත්වය තමයි,සියුම් ලෙස ඇත්ත සමාජය විනිවිද යාම. මොකක්ද ඔබේ ක්‍රමවේදය ?

මං හැදුනු - වැඩුණු පරිසරයත් ඒකට බලපෑවා. උඩරට, කර්මාන්තපුරයක් වැනි ප්‍රදේශයක තමයි මගේ ළමා කාලය ගතවුණේ. විවිධාකාර පුද්ගලයන් එහි ජිවත් වුණා.කාර්මිකයන්, නිලධාරින්, කම්කරුවන්,මට වැඩිපුරම ආශ්‍රය කරන්න ලැබුණොත් එවැනි මිනිසුන්ව. ඒ ප්‍රදේශයට යාබදව තිබුණේ වතුකරය. වතුකරයේත් හිටියේ කම්කරුවෝ. ඒ මිනිසුන්ගේ දරිද්‍රතාව අත්විඳින්නත් දැකබලාගන්නත් කියන අවස්ථා දෙකම ලැබුණා.
ඒ එක්කම පොත් පත බහුලව කියවන්න ලැබීමත් එක හේතුවක්. ඒ වගේම ගුවන්විදුලිය ශ්‍රවණය කළා. අද නැති ගුණයක් එදා තිබුණා. ඒ කාලේ පුවත්පත්වල තිබුණේ ඉතාම බරසාර දේවල්. පුචි අපටත් කියවන්න ලැබුණේ සංකීර්ණ දේවල්. ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ වගේම විජයබා කොල්ලය වැනි නවකතා ඉතා කුඩා කාලයේදීම කියවා අවසන් කරන්න අපට පුළුවන් වුණා. සමහර වෙලාවට ප්‍රබන්ධ කතා කියවන නිසා දේවල් වලින් විරෝධයක් නැගුණා. අප ඒවායින් කිසියම් පෝෂණයක් ලැබුවා. මේ සියලු අත්දැකීම් සමඟ කොළඹ පැමිණීමෙන් පසු අත්සින්දී හා දැකබලාගත් දේවල් චිත්‍ර කතාවලට බලපාන්න ඇති.

 

බොහෝදෙනාට මඟහැරෙන නාගරික පීඩිත ජීවිතයේ මනුෂ්‍යත්වය ඔබ ඉතා අපූරුවට ස්පර්ශ කළේ කොහොමද?

ඒකටත් බලපෑවේ අත්දැකීම් තමයි. ඇත්ත ජීවිතය තුල ඒ මිනිසුන් මැදටම ගොස් කල් ගෙවන්නට මට පුළුවන් වුණේ නැහැ. මොකද මගේ ජීවන රටාව ඊට වඩා වෙනස් නිසා.නමුත් ඒ මිනිස් ජීවිතය නිරීක්ෂණය කිරීමට මට පුළුවන් වුණා. ඒ නිරීක්ෂණය කිසියම් දුරකට සාර්ථක වූ නිසා වෙන්න ඇති ඔබට එහෙම හිතෙන්නේ. ඔවුන්ගේ අභ්‍යන්තරයට ඇතුළු වෙන්න මට පුළුවන් වුණා කියලා මමත් විශ්වාස කරනවා. මම මහා පොළොව දෙපයින් හිටගෙන ඉන්න මිනිහෙක් පීඩිතයන් සමඟ සහෝදරත්වයක් මට තියෙනවා.සමාජයේ විවිධ ස්තර වල මිනිසුන්තුල විවිධ ගතිගුණ තියෙනවා.කම්කරුවන්,ටැක්සි රියදුරන්, පදික වෙළෙන්දන්, රෝහල් සේවකයන් ආදී බොහෝ සමාජ ස්තර මගේ නිරීක්ෂණයට හසුවී තිබෙනවා. සටකපටකම් වලින් පිරුණු නාගරික ජිවිතයේ සැඟවුණු මනුෂ්‍යත්වය හඳුනාගෙන ඔපමට්ටම් කොට චිත්‍ර කතාව තුලින් ඉදිරිපත් කිරීම තමයි මම කළේ. භාෂාවත් එතැනදී වැදගත් වුණා.

 

චිත්‍ර කතාවක් ඉදිරිපත් කිරීමේදී ඔබ මූලික පෙළ ගැස්මක් සකස් කරගන්නවද?

නැහැ. සමහරවිට කිසිදු අදහසක් නැතිව චරිත ටිකක් පමණක් එකතුකරගෙන කතාවට අවතීර්ණ වෙන අවස්ථා තියෙනවා. කතාව ගෙනියන තැන පිළිබඳ ඉලක්කයක් තියාගන්න මම කැමති නැහැ. චරිත හසුරවමින් ඉදිරියට යනවා. අනෙක් අතට මේ කාලයේදී දෛනිකව කතා ගණනාවක් ඉදිරිපත් කරන නිසා දවසෙන් දවසට තමයි කතාව පෙළගස්වන්නේ.

150726171829 daya rajapaksha 640x360 lankadeepa.lkComics by Daya Rajapakse

 

රක්තා, අභිමානවත් සත්‍යාදේවි වැනි චිත්‍ර කතා නිර්මාණයේදී ඔබට කිසියම් විදේශීය නිර්මාණයකආභාසයක් ලැබුනාද?

ඔව්. නැත්තේ නැහැ. රක්තා චිත්‍රකතාවට පසුබිම් වුණේ හංගේරියානු චිත්‍රපට කතාවක්. නමුත් චිත්‍ර කතාව නිර්මාණය කරන විට මම චිත්‍රපටය දැක තිබුනේ නැහැ. ඒ චිත්‍රපට කතාව ගැන පුවත්පතක ලියැවුණු සාරාංශ සටහනක් කියවීමෙන් පසු තමයි මම රක්තා කතාව නිර්මාණය කරන්නේ.
පස්සේ කාලෙක මට ඒ චිත්‍රපටය බලන්න පුළුවන් වුණා. එතකොට මට මගේ කතාව ගැන ඇතිවුණා. මොකද චිත්‍රපට කතාව මගේ කතාවට වැඩිය බොහෝ ඉදිරියෙන් තිබුණේ. සත්‍යාදේවි කතාවටත් පුලාන් දේවිය පිළිබඳව කතා පුවත් පදනම් කරගත්තා. නමුත් කතාව ගොඩනැගුවේ අලුත් චරිත හා සිද්ධීන් නිර්මාණය කරමින්.

 

චිත්‍ර කතාවක් සිනමාවට හෝ ටෙලි නාට්‍යකට නැගෙනකොට අර මුල් රසය විඳින්න බැරි අතීතකාමය නිසාද? මේ මාධ්‍යයන්ගේ සීමාවන් හෝ ස්වභාවයන් නිසාද?

චිත්‍රකතා ශිල්පියා දකින ඇහෙන්ම සිනමාකරුවා හෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා දකිනවා යැයි කියන්නට බැහැ. දෙදෙනාම සාධාරණයි. නමුත් එතැන දී පාඨකයා හෝ ප්‍රේක්ෂකයා තුළ ඇතිවන හැඟීම මොකක්ද කියාත් සොයාබැලිය යුතුයි.
චිත්‍රකාවේ රසය එලෙසින්ම පවත්වාගෙන සිනමාවට නැගෙන නිර්මාණ වගේම එසේ නොවන නිර්මාණත් තිබෙනවා. මගේ කතා ඇසුරින් කළ චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය පෙන්වා හරියට කෙරුණා යැයි සෑහීමකට පත්වෙන්න මට බෑ.

 

‘’බකට් හැරී’’ ආපසු එයි චිත්‍රකතාව ඇසුරින් කළ චිත්‍රකතාව ඇසුරින් කළ සක්විති සුවය චිත්‍රපටය ඔය අභියෝගය සෑහෙන දුරට ජයගත්තා නේද ?

ගාමිණී ෆොන්සේකා රංගධරයා මගේ කතා ඇසුරින් චිත්‍රපට හතරක් කළා. හුලවාලි, තවලම, බාඳුරා මල් සහ සක්විති සුවය. ඒ අතරින් සක්විති සුවය ජනතාව අතරට ගියා.
ඒ කාලෙ තිබුණු සත පනහෙන් ගාස්තුව පටන්ගෙන දුවන ටැක්සි සංස්කෘතිය සහ ඒ තුළ සිටි මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය චිත්‍රපටයෙනුත් සෑහෙන දුරට ඉස්මතු වුණා. ඒ ටැක්සි රියදුරන් අතර මෘදු හිත් තියන රළු මිනිසුන් හිටියා. අනුන්ගේ දුකකදී ඔවුන් පිහිට වෙනවා. ඒ අතර සටකපට මිනිස්සුත් හිටියා.
කොහොම වුණත් අත්දැකීමක් ඇසුරෙන් ලියපු ඒ කතාව වගේම චිත්‍රපටයත් ජනප්‍රිය වුණා.

 

ඔබ ඔබේ මුල් කාලයේ ඉතා ගැඹුරු චෛතසිකයන් විවර විවරණය කරන චිත්‍රකතා නිර්මාණය කළා. උදාහරණයක් හැටියට 'නිළියකට පෙම් කළෙමි'' වගේ චිත්‍රකතාවක් ගන්න පුළුවන්. පස්සෙ කාලෙක ඔබත් සරල චිත්‍රකතා නිර්මාණය කරන්න පටන් ගත්තා නේද ?

නිළියකට පෙම් කළෙමි වගේ කතා ගැඹුරු ඒවා බව ඇත්ත. නමුත් කාලානුරූපව කතා වෙනස් කළ යුතුය කියන අදහස මගේ හිතේ තිබුණා. ගැඹුරුම කතා ලිවීමේ සම්ප්‍රදාය මඳක් ඈත්වුණු බව ඇත්ත. හැබැයි ඒ නිසා මගේ කතාවල ගුණාත්මකභාවය අඩු වුණා කියා මා සිතන්නේ නැහ. සමාජය විශ්ලේෂණය කිරීම සඳහා හොඳ ආකෘතියක් හැටියට සරල මාදිලියේ චිත්‍රකතා වඩාත් සුදුසු බවයි මගේ හැඟීම වුණේ. මගේ කතා පෙම්කතා නෙවෙයි. වීර කතා නෙවෙයි. මනුෂ්‍යත්වය කරා එළැඹුමක් හදන කතා. ඒ සඳහා සරල ආකෘතිය වඩාත් පහසු වුණා කියලා මම හිතනවා. ඒ ක්‍රියාවලිය හිතාමතාම කරපු දෙයකුත් නෙවෙයි. කාලයත් එක්ක චිත්‍රවල ස්වරූපය වගේම කතාවල ස්වරූපයත් වෙනස් වුණා.

ලංකාවෙ චිත්‍රකතාවට මොකද වුණේ ?

ජී.ඇස්. ප්‍රනාන්දු මහත්තයා තමයි ලංකාවේ චිතකතා පටන් ගත්තේ. ඊට පස්සේ සුසිල් ප්‍රේමරත්න මහත්තයා. සුසිල් ප්‍රේමරත්න කියන්නේ ජීවතුන් අතර සිටියානම් අද පරපුර සමග ද තරග කළ හැකි විශිෂ්ඨයෙක්. බටහිර ආරක් අනුගමනය කළත් ඒ නිර්මාණ ඉතා ප්‍රශස්තයි. ඊට පස්සෙ අනුපිළිවෙලින් ආ හැම කෙනෙක්ම එහෙමයි. තලංගම ජයසිංහ , ගෞතමදාස, බන්දුල හරිශ්චන්ද්‍ර, පී.වික්‍රමනායක, ජනක රත්නායක, සරත් මධූ වගේම මමත් ඒ ශික්ෂණය අරගෙන ආවා.
වැටීම පටන් ගත්තෙ දශක තුනකට විතර කලින්. හැමදේටම වැඩිය වෙළඳාම ඉස්මතු වීමත් සමග ලංකාවෙ චිත්‍රකතාව විනාශ වෙන්න පටන් ගත්තා.අනිත් එක චිත්‍රකතා ශිල්පීන් ඒ කාලෙ හිටියෙ ටික දෙනයි. දැන් ඉන්න නළු නිළියන්ට වැඩිය චිත්‍රකතා ශිල්පීන් ජනප්‍රියයි. පස්සෙ කාලෙක පිරිසකට අවශ්‍ය වුණා ඉක්මනින් ජනප්‍රිය වෙන්න. ඒගොල්ලො ජනප්‍රියත්වය හොයාගෙන මේ ක්ෂේත්‍රයට ආවා.
හැබැයි අර කලින් කියපු ශිල්පීන් ළඟ තිබුණු ඇසූ පිරූ තැන් ඇති බව ඔවුන්ට තිබුණේ නැහැ. වෙළඳපොළත් එක්ක ආව මේ ආකල්පයනුත් චිත්‍රකතාව බිඳවැටෙන්න බලපෑවා.

 

දයා රාජපක්ෂ නමැති චිත්‍රකතා ශිල්පියා කොයිතරම් මානවවාදියෙක් වුණත් ඔහුගෙන් දෙදෙනෙකුට අසාධාරණයක් සිදුවුණා. එක්කෙනෙක් දයා රාජපක්ෂ කියන කවියා. අනෙක් කෙනා දයා රාජපක්ෂ කියන තිර නාටක රචකයා. එහෙම නේද ?

කවියෙක් වශයෙන් දීර්ඝ ගමනක් යන්න බැරි වුණා තමයි. මඩිස්සලේ තමයි මගේ අඛණ්ඩ කාව්‍ය නිර්මාණය. අවුරුදු විසිගණනක් තිස්සෙ නොකඩවා ලිවීමෙන් යමක් කරන්නට උත්සහයක් ගත්තා. ඒක හරියට පද්‍යයෙන් කළ තීරු ලිපියක් වගේ. කොහොම වුණත් ඔබ කී දේ සාධාරණයි. මා කවියෙක් තමයි විය යුතුව තිබුණේ. ඔහු නැසී ගියා. තිර නාටක රචනයේදීත් ඒක සෑහෙන දුරට වලංගුයි.
ඒත් මා ඉතන්නේ මගේ තිරනාටක රචනය අදට ගැළපෙන්නේ නැහැ කියායි. කොහොම වුණත් , චිත්‍රකතා නිසා මගේ ජීවිතයේ බොහෝ දේ අහිමි වී තිබෙනවා.ආපසු හැරී බැලූ විට එය එක්තරා විපතක් කියාත් සිතෙනවා.

 

ඔබේ චිත්‍රකතා සියල්ලේම හරය ගත්තොත් යහපත් සමාජයක් පිළිබඳ ප්‍රාර්ථනාවන් නිරන්තරයෙන් ගැබ් වෙලා තියනවා නේද ?

අනිවාර්යෙන්ම ඒ ප්‍රාර්ථනාව කිසිදු සැකයකින් තොරව තිබුණා. අපේ ජීවිත කාලය තුළ දී කෙසේ වෙතත් අනාගතයේ දවසක හෝ එවැනි සමාජයක් බිහි වේවි කියන පැතුම තවමත් වියැකිලා නැහැ.

සත්හඬ - සිහිනය

| විමල් කැටිපෙආරච්චි |