ලංකාවෙ ලොකු ලෙඩක් හැදුනොත් එක්කෝ දිළින්දෙක් වෙනවා, නැත්නම් මැරෙන්න වෙනවා ! - අජිත් ජිනදාස

ලංකාවෙ ලොකු ලෙඩක් හැදුනොත් එක්කෝ දිළින්දෙක් වෙනවා, නැත්නම් මැරෙන්න වෙනවා ! - අජිත් ජිනදාස

අජිත් ජිනදාස රංගනවේදියා පූර්ණකාලීනව ජීවත්වන්නේ කැනඩාවේ ය. මෙම සංවාදය අජිත් ජිනදාස රංගනවේදියා සමග අප විසින් සිදුකරනු ලැබුවේ ඔහු මෙරටට පැමිණ ආපසු යන්නට පෙර, පසුගිය මාර්තු 9 වැනිදා ය. පළමු කොවිඩ් සමයට පෙර කරන ලද මේ සම්මුඛ සාකච්ඡාව පුවත්පතේ පළවූයේ නැත. දැන් පරාජය කළැයි කී කොවිඩ් යළි පැමිණ ඇත. එදා අප කතා කළ දේ අදටත් වලංගු ද යන්න තීරණය කිරීම පාඨකයන්ට භාර ය. මෙම සාකච්ඡාව කළ මොහොත යනු ජනාධිපතිවරණයට පසු - මහමැතිවරණයට පෙර මොහොතක බව සිහිපත් කිරීමට කැමැත්තෙමු.

 

• අජිත් ජිනදාස කැනඩාවේ සිට ලංකාවට යනවා එනවා. යමින් එමින් මොනවද ඔබ හිතන්නෙ ?

ඒක වචන බවට පත් කරන්න අමාරු හැඟීමක්. කාරණා දෙකක් තියනවා. එක පැත්තකින් හිතනවා මේ රට හදන්න පුළුවන් රටක් නෙවේ. අපි මහන්සි වෙලා වැඩක් නෑ කියලා. පහුගිය කාලෙ දේශපාලන පෝස්ට් පවා සමාජ ජාලවල මම දැම්මෙ නෑ. අපේ මිතුරු පෙළේ සහෝදර සහෝදරියො බැනලත් තියෙනවා උඹලා වගේ උනුත් ඔහොම කළාම කොහොමද ? කියල ඒගොල්ලො අභියෝගය කරනවා. ඒ කතාවෙ අර්ධ සත්‍යයකුත් තියෙනවා . ඒ අතරෙ සමහරු තර්ජනත් කරනවා. උඹලා මේ රටෙන් ගිහිල්ලා සැප විඳින උන් . අපේ රට හදා ගන්න අපට ඉඩ දීපියව්. මේකෙ මැදට පනින්න දඟලන්නැතුව කියලත් කියනවා. මේ රටේ බහුතරයක් එකතු වෙලා ගත්ත තීරණයක් තමයි අපි ඉදිරියේ තියෙන්නෙ. ඒගොල්ලන්ගෙ තීන්දුව මේක නම් අපි වගේ උන් මොකද කරන්නෙ කියල මට හිතෙනවා. ඒ කලකිරීමේ ම එක පැත්තක් තමයි රටෙන් ගිහින් එහාට වෙලා මොකක් හරි කරගෙන ජීවත් වෙනව කියන එක දැනෙන්නෙ. මේ සැරේ ලංකාවට ආවම මම මීඩියාවලටවත් ගියේ නෑ. ගමේ ගිහිල්ලා වත්තෙ පිටියෙ වැඩක් කරගෙන ඉඩමක් කඩමක් බලාගෙන හිටියා. මගෙ මල්ලිත් මහගෙදරට වෙලා ඒ වත්ත වවාගෙන පාඩුවේ ඉන්නවා දකිද්දි පොඩි ලෝභකමකුත් ආවා. බල්ලො දෙන්නෙක් එහෙම හදාගෙන නොයෙක් ජාතියේ ඵලවැල වත්තෙ හිටවගෙන මිනිහ මෙහෙ ඉන්නෙ. එතන ඉඳලා අපි එහෙ ගෙවන ජීවිතය බැලුවම මාර යාන්ත්‍රිකයි.

• සතුට කියන්නෙ මොකක්ද එතකොට ?

ඒක මට වචනෙන් කියන්න අමාරුයි.

• අපි මේ ඉන්නෙ වසංගතයක් අබිමුව. මට කියන්න කැනඩාවේ සෞඛ්‍ය සේවය මොන වගේ ද?

එහෙ සමාජය අපිව රැකබලා ගන්නවා නිවැරදිව. අපි ලෙඩ වෙයිද කියන එක අපට වඩා ප්‍රශ්නයක් පවුලේ වෛද්‍යවරයාට. අපේ මෙඩිකල් රිපෝට් එකේ ප්‍රශ්නයක් තිබුණොත් එයා කෝල් කරල කියනවා, තමුසෙව හම්බෙන්න ඕනෙ මේ කාරණාව පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. මෙහෙදි ලොකු ලෙඩක් හැදෙනව කියන්නෙ ඔබ අන්ත දිළින්දෙක් වීමට ලක ලෑස්ති වීම හෝ මරණයට ලක ලෑස්ති වීම. හැබැයි කැනඩාවේ සෞඛ්‍ය සේවය ලෝකෙ තියෙන හොඳම සෞඛ්‍ය සේවයන්ගෙන් එකක්. නිදහස් සෞඛ්‍ය සේවයක් වුණත් ඉන්ෂුවරන්ස් බේස් තමයි තියෙන්නෙ. රටේ හැම පුරවැසියෙකුටම ආණ්ඩුවෙන් ඒ ඉන්ෂුවරන්ස් එක දීලා තියෙනවා . රෝහල්වල ප්‍රයිවට් මැනේජ්මන්ට් එකක් තියෙන්නෙ. ඒ කියන්නෙ ආණ්ඩුවට අපි ටැක්ස් ගෙවනවා. ආණ්ඩුව ඒකට සරිලන සේවය සලසනවා. ඒක හරි ලස්සන යාන්ත්‍රණයක්. එක පැත්තකින් ආණ්ඩුව සම්බන්ධයි. ඒත් ස්වාධීන ආයතන ඒවා. එක්තරා ආකාරයකට පුද්ගලික තරගයට ඉඩ දීලා තියෙනවා. හැබැයි සමාජ ආරක්ෂණය තහවුරු කරල තියෙනවා . හුඟක් ඉස්පිරිතාල ආණ්ඩුවත් එක්ක සම්බන්ධකම් තියෙනවා. හැබැයි ලොකු සල්ලිකාරයො රෝහල්වලට සල්ලි පවා ඩොනේට් කරනවා.

• අධ්‍යාපනය කොහොමද එහෙ ?

අපට තියෙනව වාගේ ලොකු ඉස්කෝල කතාවක් නෑ ඒ රටේ. 12 ශ්‍රේණිය වෙනකං ඔක්කොම යන්නෙ එකම මට්ටමේ පාසල්වලට. 12න් පස්සෙ උසස් අධ්‍යාපනය මිලදී ගත යුතුයි. හැබැයි ඒකට විශාල අවස්ථා හදල තියනවා. ආර්ථික අපහසුතාවක් තියෙන දරුවෙක් විශ්වවිද්‍යාලයට තේරුණොත් ඒ වෙනුවෙන් රජය ගෙවනවා. ස්ටුඩන්ට් ලෝන් කියල ඒකට කියන්නෙ. අපි පෙරළා නැවත ඒ මුදල රජයට ගෙවන්නත් ඕනෙ. ඒ කියන්නෙ මුදල් ගෙවන්න ඕනෙ හැබැයි මුදල් නැහැයි කියල කාටවත් වැටෙන්න දෙන්නෙ නෑ. මුදල් ආපහු අයකරනකොට අපි අවුරුදු දහය පහළොව ඉන්නව අතට මුදලක් ලැබෙනකං. අපට තවමත් ගෙවන්න බෑ කිව්වොත් ඒකට ඉඩ දෙනවා. ඒ ගැන ඔවුන් සමඟ සාකච්ඡා කරන්නත් අපට ඉඩ තියෙනවා . රජය හා සමාජය අතර තියෙන්නෙ මිතුරු සම්බන්ධතාවක්. මට හිතෙන්නෙ අපේ වගේ අඩු දියුණු රටක ඒ මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදයක් හදන්න අපහසු වෙයි කියලයි. මොකද, ඒවා මහා විශාල සටන් කරල ඇති කරගත්ත තත්ත්වයන්. ඒ ආණ්ඩුවේ දේශපාලකයො බයයි රටේ සල්ලි නිස්කාරණේ එළියට ගන්න. මිනිස්සු කෑගහනවා. ඒවා ආදායම් බදු ගෙවන මිනිස්සුන්ගෙ සල්ලි. ඒක වැරදියට පාවිච්චි කළා කිව්වොත් දේශපාලකයො විනාසයි. ඒ ක්‍රමය එහෙ ස්ථාපිත වෙලා ඉවරයි. ඒකෙන් පිටට යන්න කාටවත් බෑ.

• වෙනස් පැත්තකට කතාව හැරෙව්වොත් , ``මේ කොහෙන් හරි මනෝ මතුවෙයි`` කියල ඔබට හිතෙන බව ඔබ ඊයෙ පෙරේද කිව්ව. ගිය සැරේ ඔබ එනකොට ජයලත් මනෝරත්න රංගනවේදියා හිටියා. මේ සැරේ ඔබ එනකොට ඔහු නැහැ ?

ලංකාවට එන්න පෞද්ගලික ජීවිතේ ඇතුළෙ තිබුණු හේතුව, අම්මා අසනීප වෙලා එයා ඉන්න කාලෙ යන්න ඕනෙ කියන එක. අපේ සුන්දර ජීවිතේ හේතුව මනෝලා එහෙම හම්බෙලා පරණ නාට්‍යයක ෂෝ දෙක තුනක් කරලා අපේ හීන ගැන කතා කරන එක. ඉතිං දැන් ඒ දෙකම නෑ. දැන් මගෙන් ඇහුවොත් ලබන අවුරුද්දෙත් එනවද කියල, මට දෙන්න උත්තරයක් නෑ. ඔළුව හිස් වගේ. ඇයි එන්නෙ කියල හිතෙනවා. මේ රටේ කොච්චර අපි ගහ බැන ගත්තත් කොච්චර රස්නෙ වුණත් ඒ සියලු දේ ඇතුළෙ මරු කියල එකකුත් තියනවා. ඒත් මම දන්නෙ නෑ හෙට මොනව වෙයිද කියල. ඉතිං නිදහසේ යාළු මිත්‍රයො මුණ ගැසෙමින් මත් වෙමින් කාලය ගත කරනවා. ලංකාවට එනව කියන එකේ තවත් ලස්සනක් තමයි විවිධ මිනිස්සු හමුවීම. ළඟකදි මම මහවැලි කේන්ද්‍රය පැත්තට ගියාම එතන චිත්‍ර විකුණන චිත්‍ර ශිල්පියෙක් පරණ පිච්චර් ගැන එහෙම කතා කරලා පින්තූරයක් එහෙම ගහගෙන ගියා. ඉතිං එහෙම මිනිස්සු තවමත් හමුවෙනවා. අපිත් ඒ ආදරේ අවංකව විඳිනවා.

• ඔබ සාහිත්‍යකාමියෙක් බව පේනවා. කවියන් කිවිඳියන් හමු වෙවී කවි කියවමින් ගෙවන ජීවිතය ගැනත් කතා කරමු.

ඔබව මට හම්බවෙන්නෙත් එහෙමනෙ. මට ෆේස්බුක් එකේ රික්වෙස්ට් එකක් දාලා තිබ්බම මම බයවුණා. මට පොඩි ආඩම්බරේකුත් ආවා. කල්පනා ඇම්බ්‍රෝස් කිවිඳියව මට මේ ළඟකදි හම්බවෙනවා. හොඳට කියවල තියෙන බව පේනවා. අලුත් පරපුරේ ලිවීම් කියවන්න පටන් ගත්තෙ පියන්කාරගේ බන්දුලගෙන්. ඉස්සර අපිත් ඔය කවි කුරුටු ගාන්න ආසයි. හැබැයි කවි කියවන්න පටන් ගත්තම හිතුවා ආයෙ ලියන්න මහන්සි වෙනවට වඩා මුන් ලියන එකක් කියවලා ආතල් එකක් ගන්න එක හොඳයි කියල.

• අන්තිමට චිත්‍රපටයක රඟපෑවෙ කවද්ද?

ඔය නිවාඩුවට ආවම දවසක දෙකක වැඩ වගයක් කළා. ආනන්ද පද්මසිරිලා එකතු වෙලා කරන වාණිජ චිත්‍රපටයක එක දවසක පොඩි සීන් එකක් කළා. ඒකෙ මට කරන්න තිබුණේ සිහිනයකි රෑ වගේ වැඩසටහනක 'අජිත් ජිනදාස' හැටියටම සින්දුවක් තෝරල දෙන්න. ඉතින් මම ඒක කළා.

• අජිත් ජිනදාසට ආපහු වීරයකුගේ චරිතය චිත්‍රපටයක දුන්නොත් එනවද ? කරනවද ?

අපොයි එනවා. කරනවා !

| සංවාදය - විමල් කැටිපෙආරච්චි | ලංකා පුවත්පතේ - රෝස් අතිරේකයේ පළ වූ ලිපියකි |