පන්ති පරතරය දැක්කම මට බය හිතෙනවා - බොන්ග් ජූන් හෝ

පන්ති පරතරය දැක්කම මට බය හිතෙනවා - බොන්ග් ජූන් හෝ

බොන්ග් ජූන් හෝ` දකුණු කොරියානු සිනමාකරුවෙකි. 2020 පැවති ඔස්කා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයට සහ හොඳම තිරරචනයට සම්මාන දිනූ   'පැරසයිට්' (Parasite) චිත්‍රපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය සම්මානයද හිමිකරගත්තේ ඔහුය. බොන්ග් ජූන් හෝ සමග, 'The talks' වෙබ් අඩවිය වෙනුවෙන් කලීම් අෆ්තාබ් කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඔබ, ඔබව අශුභවාදියෙක් ලෙස දකිනවද?

සෑම අවස්ථාවකදීම මම මාව අශුභවාදියෙක් ලෙස දකින්නෙ නැහැ . නමුත් අප ඉස්සරහ තියෙන යථාර්ථය ඉදිරියේ අවංක වීමට මට වුවමනයි. 'පැරසයිට් ' (Parasite) මගින් මට ගෙන්න අවශ්‍ය අදහස වුණේ , අප ඉදිරියේ ඇති ජංගම උපාංග ආදියෙන් මනුෂ්‍ය වර්ගයා මෙතරම් විශාල සංවර්ධනයක් අත් කරගෙන තිබුණත් පහුගිය අවුරුදු තිහ ගැන සිතන විට සමාජයේ දුප්පත් - පොහොසත් පරතරය නැති වෙලා තියෙනවද කියන කාරණයයි. ඇත්තෙන්ම එය එසේ වී නැහැ. මට පුතෙක් ඉන්නවා. ඔහුගෙ පරම්පරාවෙ තත්ත්වය යහපත් අතට හැරෙයි කියල හිතන්න පුළුවන්ද? මම ඇත්ත වශයෙන් ම සිතන්නෙ නැහැ.එය අපි බය විය යුතු  කාරණාවක්. ඒ නිසා මට අවශ්‍ය වුණේ ඒ බිය හා ශෝකය අවංකව සත්‍යය ලෙස ලබා දෙන්නයි.


 

'' අදටත් එදා තිබුණු දුප්පත් - පොහොසත් පරතරය සහ ආර්ථික ධ්‍රැවීකරණය පිළිබඳ ගැටළුවේ වෙනසක් නැහැ. මම ඒ වෙනකොට 'ස්නෝර්පියර්සර්' (Snowpiercer) නිර්මාණයේ පසු නිෂ්පාදන කටයුතුවල නියැළෙමින් හිටියේ. එහිත් පන්ති අරගලය ගැන කතා කරන්නෙ. ''



ඒ බිය වර්තමානයේ දී ඉබේම හට ගත් දෙයක්ද නැත්නම් ඔබ කලක පටන් කල්පනා කරමින් සිටි දෙයක්ද?


මම මේ අදහස හිතන්න ගත්තෙ 2013 වගේ කාලෙක වුණත් අදටත් එදා තිබුණු දුප්පත් - පොහොසත් පරතරය සහ ආර්ථික ධ්‍රැවීකරණය පිළිබඳ ගැටළුවේ වෙනසක් නැහැ. මම ඒ වෙනකොට 'ස්නෝර්පියර්සර්' (Snowpiercer) නිර්මාණයේ පසු නිෂ්පාදන කටයුතුවල නියැළෙමින් හිටියේ. එහිත් පන්ති අරගලය ගැන කතා කරන්නෙ. දුම්රියක විවිධ මැදිරිවල  දුප්පත් - පොහොසත් ජනයා බෙදී වාසය කරනවා. ඒ අදහස තමයි එම නිර්මාණයට ප්‍රස්තුත වෙන්නෙ. ඒ කාලය වන විටත්  මට මේ පාන්තික වෙනසිතාවේ බිය දැනී තිබුණා. නමුත් 'පැරසයිට්' (Parasite) හරහා මට කතා කරන්න අවශ්‍ය වුණේ, ඒ පරතරයට මගේම වටපිටාව, මා දකින එදිනෙදා  පාරිසරික පුද්ගල චර්යාවන් දායක වන අන්දමන් විස්තර කිරීම.


පැහැදිලිවම ඔබේ නිර්මාණ තුළින් ඔබ,  චිත්‍රපට හා ටෙලිනාට්‍ය මගින් නිතර පෙන්වන කොරියානු ධනවත් පවුල්වල ඒකාකෘති ප්‍රතිරූප හෙවත් `ස්ටීරියෝ ටයිප්` පවුල නිරූපණය නොකිරීමට වග බලාගෙන තිබෙනවා ?

විශේෂයෙන් කොරියානු රූපවාහිනි වැඩසටහන්වල සහ සෝප් ඔපෙරාවල සාම්ප්‍රදායික දුෂ්ටයන් ඉතා කෑදරකමින් තමන්ට පහළ සිටින ජනතාව හිංසනයෙන් ඇදහිය නොහැකි තරමට පීඩාවට ලක් කරනවා.  ඔබ දන්නවද? 1995 දී මැතිව් කැසොවිට්ස්ගේ 'ලා හයිනේ' ( La Haine) චිත්‍රපට බලන තුරු මම දැන ගෙන හිටියෙ නෑ පැරීසියේ එවැනි  ප්‍රදේශයක් ( Banlieue)  තියෙනවා කියලා. ප්‍රංශය ගැන මම පුදුම වුණා. පැරිසිය කිව්වම , පැරිසියේ චෑම්ස් එලිසීස්වල  වයින් පානය කරමින්, එකෝඩියන් සංගීතය රස විඳිමින් සිටින සුන්දර පරිසරයක්  ගැනයි හිතෙන්නෙ. කොරියාව ඉතා දියුණු, ධනවත් රටක්. රටක් ඉතා ධනවත් වන විට සාපේක්ෂව දුප්පත් පොහොසත් පරතරය පුළුල් වෙනවා.

සමාජ පන්ති අතර අවබෝධය, අනුකම්පාව සහ සන්නිවේදනය තිබිය හැකියි. මේ පරතරය බිය ගෙන දෙන කරුණක්. එය අනාගත පරම්පරාවට පවා විසඳිය නොහැකි බව එයින් මිදීම ඉතා දුෂ්කර බවයි දැනෙන්නේ.

'' සමාජ පන්ති අතර අවබෝධය, අනුකම්පාව සහ සන්නිවේදනය තිබිය හැකියි. මේ පරතරය බිය ගෙන දෙන කරුණක්. එය අනාගත පරම්පරාවට පවා විසඳිය නොහැකි බව එයින් මිදීම ඉතා දුෂ්කර බවයි දැනෙන්නේ. ''


ලෝකයේ සෑම තැනකම මේ පන්ති අරගලය නොවැළැක්විය හැකි ලෙස මතුවෙනවා ?

මේක සියලුම රටවලට අදාළ දෙයක්. සමාජ පන්ති අතර අවබෝධය, අනුකම්පාව සහ සන්නිවේදනය තිබිය හැකියි. මේ පරතරය බිය ගෙන දෙන කරුණක්. එය අනාගත පරම්පරාවට පවා විසඳිය නොහැකි බව එයින් මිදීම ඉතා දුෂ්කර බවයි දැනෙන්නේ. එය බැහැර කළ නොහැකි බියක් දනවනවා.  

'ඔක්ජා' (Okja) චිත්‍රපටයේ අත්දැකීම කොහොමද ?

'ඔක්ජා' නිර්මාණය කිරීමේ දී මම කැමරා ශිල්පියා සමග කතා කළේ, ස්මාර්ට් දුරකතනයෙන් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයා ඉන් ඈත් කිරීමට හා  එය ඔවුන්ට අතැර දැමිය හැකි ආකාරය ගැනයි. අපට අවශ්‍ය වුණේ සිනමා ශාලාවක් වෙත යාම හෝ අවම වශයෙන් ප්‍රොජෙක්ටරයක් භාවිතයෙන් විශාල තිරයක් ආධාරයෙන් චිත්‍රපට නැරඹීම හැර වෙනත් විකල්පයක් නැති බව ප්‍රේක්ෂකයාට හැඟවීමයි. නමුත් 'නෙට්ෆ්ලික්ස්' ( netflix ) නරකයි කියල මම කියන්නෙ නැහැ . එහෙත් අවසානයේ චිත්‍රපට නැරඹීමේ හොඳම අත්දැකීම ලබා දෙන්නෙ සිනමාව කියල මම කියනවා. ඒ මොකද, ප්‍රේක්ෂකයාට නැවතුම් බොත්තම එබිය නොහැකි එකම ක්‍රමය සහ වේදිකාව එය පමණක් වන නිසයි.




'ස්නෝපියර්සර්' සහ 'ඔක්ජා' විශාල මූල්‍ය නිෂ්පාදන. ඉන් ඔබ ලැබූ ආදායම පවා ඉහළයි. එයින් සාර්ථක වෘත්තීය ජීවිතයක් ඔබ භුක්ති වින්දා.

'නෙට්ෆ්ලික්ස්' (Netflix) හරහා එවැන්නක් සිදු වුණා. මට දැනෙන්නෙ එයින් ලද පරිමාණය තමයි මාව පැරසයිට් චිත්‍රපටය නිර්මාණය කරා රැගෙන ආවෙ. එම චිත්‍රපටය කිරීමට හැකි වීම මහත් සැනසීමක් ලබා දුන්නා. චිත්‍රපටයේ සෑම චරිතයක් තුළින් හැඟීම් විස්තරාත්මකව කතා කිරීමට අවධානය යොමු කිරීමට හැකි වුණේ පෙර නිර්මාණවලින් ලැබූ උත්තේජනය නිසයි.


ඔබේ නිර්මාණ සම්බන්ධයෙන් අභිමානයෙන් සලකන කාරණා මොනවද ?

මට අවශ්‍ය වුණේ ප්‍රේක්ෂක ඔබට, සෑම චරිතයකම  ඉසියුම් බව දැනෙන සවිස්තරාත්මක චිත්‍රපටයක් නිර්මණය කිරීමටයි. මම, මාව සලකන්නෙ ශානරීය අධ්‍යක්ෂ   (genre director) කෙනෙක් විදියට. මම හිතන්නෙ ශානර චිත්‍රපට දේශපාලනික වීමට බොහෝ ඉඩක්  තිබෙනවා. විද්‍යා ප්‍රබන්ධ තුළත් ඒ සම්ප්‍රදාය එලෙසින්ම පවතිනවා. 'ඔක්ජා' සහ 'ස්නෝපියර්සර්' යන දෙවර්ගයම ප්‍රබල විද්‍යා ප්‍රබන්ධ. ඒවා ඉතා  දේශපාලනික චිත්‍රපට බව ඔබට පැවසිය හැකියි. 'පැරසයිට්' කතාව මුල සිටම දේශපාලනිකයි. නමුත් ඒ චිත්‍රපටය දේශපාලන විවරණයක් ලෙසම අවසන් වෙන්න ඕනෑය කියල උවමනාවක් හෝ අවශ්‍යතාවක් මට නැහැ.


| පරිවර්තනය - සසංකා විතානගේ |