රොබරෝසියා ඇත්ත කතාවක් - දේශෝදාර ලියනගේ

රොබරෝසියා ඇත්ත කතාවක් - දේශෝදාර ලියනගේ

දේශෝදාර ලියනගේ නව පරම්පරාවේ කවියෙකි. ගීත රචකයෙකි. ඔහු ලියූ නවතම ගීතය පසුගිය දිනෙක එළි දැක්විණ. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන අප ඔහු සමඟ කළ කෙටි සංවාදයකි.



අලුත් වැඩෙන්ම කතාව පටන් ගමු. මොකද්ද මේ රොබරෝසියා?

'රොබරෝසියා' කියන්නෙ මගේ කවියට ආදරය කරන මගේම අයෙක්ගෙ ජීවත කතාවේ කොටසක්. පෙම්වත් නගරයේ එහෙම නැත්නම් නුවර තරුණියක් සහ මාතර ප්‍රදේශයේ තරුණයෙක්ගේ ආදර කතාව පිළිබඳව ලියවුනක්. මේ කතාව මම මෙහෙම කෙටියෙන් කියන්නම්. නුවර තරුණිය සහ මාතර තරුණයා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා පසුකාලීනව සිදුවූ යම් හේතුවක් මත තරුණයාගේ දෙමව්පියන් මේ ප්‍රේම සම්බන්ධයට හරස් වීමක් සිදු වෙනව. නමුත් තවමත් ඔවුනොවුන් අතර හිතින් පමණක් තම ප්‍රේමය පවතිනව. මෙන්න මේ කතාව මම දැනගත්ත දවස්වලම මේ ගීතයේ සංගීතය සහ ගායනය සිදුකරන විශාරද රොවේන් අර්ල් පීරිස් මල්ලි මට එව්වා තනුවක්. ඒ තනුව එවල, අයියෙ මේකට හොඳ සින්දුවක් ලියමුද ඇහුව. ඒ සංගීතය ඇතුලෙන් මට ඇහුනෙ අර කලින් කිව්ව නුවර කතාවමයි. ඒ අනුව තමයි මේ ගීතය 'මේ පෙම්වත් නගරේ' කියල ආරම්භ කරල තමයි ඒ ආදර කතාව ලියවුනේ. ප්‍රේමණීය නගරය කියන නුවර එක්ක පෙම්වතුන්ට තියෙන්නෙ හරි ළඟ බැඳීමක්. මොකද රොබරෝසියා මකරන්දයෙන් නැහැවෙන නුවර තියෙන්නෙම ප්‍රේමණීය සුවඳ. එහෙමයි  'රොබරෝසියා' ආවේ.

'' වර්තමාන ගී පරම්පරාවේ සමහර ගීත නමින් බිහිවන පද සහ සංගීතය දැක්කහම මට හිතුනෙ අර්ථ රසය වගේම ශබ්ද රසය එක්ක එන ගීත ඕනම කාලයක් කියලයි. අපි ඒ වෙනුවෙන් දෙන දායකත්වය මදි කියලයි මට හිතුනෙ. ඒ අඩුවෙ පුංචි හිඩසක් පුරවන්න හිතාගෙන තමයි
මම ගීත ලියන්න නැඹුරු වුණේ. ''


ඔබ කවියෙන් පටන් අරගෙන මෑතකාලීනව ගොඩක් ගීතය පැත්තට නැඹුරු වුණා. ඒකට විශේෂ හේතුවක් තියෙනවද?

රොවේන්ගෙ සංගීතය කියන්නෙ මාව වෙනම ලෝකයකට ගෙනියන රසයක්. මෙතනදි සමන් ලෙනින් සර්වත් අමතක කරන්න බැහැ. රොවේන් මුණගැහුන කාලෙම වගේ තමයි සර්ව මට මුණගැහුනෙ. කවදාවත් හිතා ගන්න බැරි විදියට අපි අතර ලඟ බැඳීමක් ඇති උනා. මුලින්ම ගීතයක් කරන්න මුල පුරමු කියල මම එක්ක කතා බහ උනේ සමන් ලෙනින් සර්. ඒ කාලෙදි මේ ගීතය ලියල තනු නිර්මාණය කරල තිබුණෙ. අවුරුදු 2කටත් කලින් කතාවක් මම මේ කියන්නෙ. ඒ අතරවාරයේදි මට තවත් අපූරු චරිත කීපයක් මුණ ගැහෙනව. ඒ අතරින් හර්ෂණ දිසානායක අයිය විශේෂයි. මම මං ගැනම වටිනාකමක් තියෙනව කියල මට හිතෙන්න පටන් ගත්තෙ සමන් සර්, හර්ෂණ අයිය, නවරත්න ගමගේ සර් සහ රොවේන් මල්ලි මට දීපු අත්වැල නිසා. අනික් හේතුව තමයි වර්තමාන ගී පරම්පරාවේ සමහර ගීත නමින් බිහිවන පද සහ සංගීතය දැක්කහම මට හිතුනෙ අර්ථ රසය වගේම ශබ්ද රසය එක්ක එන ගීත ඕනම කාලයක් කියලයි. අපි ඒ වෙනුවෙන් දෙන දායකත්වය මදි කියලයි මට හිතුනෙ. ඒ අඩුවෙ පුංචි හිඩසක් පුරවන්න හිතාගෙන තමයි මම ගීත ලියන්න නැඹුරු වුණේ.


`මං නොරිකොසං`ගෙන් පස්සෙ කවියත් එක්ක ගනුදෙනුව කොහොමද?

කවිය කියන්නෙ මගේ ජීවතේ ම කොටසක්. කවිය තාමත් මාව ජීවත් කරවනව. කොරෝනා වසංගතයත් එක්කම හුදෙකලා වීම නිසාම කවි ලිවීම තවත් වැඩි උනා. නොරිකොසංට දැන් අවුරුදු දෙකක්. මම හිතන්නෙ ඊලඟ පියවරට දැන් කාලය හරි. හැමදාම කියන්න වගේ, මම තාම කවිය කියන මහා සාගරයේ ස්පර්ශ කරලා තියෙන්නේ පුංචි දිය බිඳක් විතරයි.

කවිය සහ ගීතය හැරුණුකොට ඔබ තවත් ප්‍රිය කරන සාහිත්‍ය ශානර මොනවද?

මම නවකතා සහ කෙටිකතා කියන ද්විත්වයටම ඇලුම් කරන පුද්ගලයෙක්. මේ කාල වකවානුවෙ එහෙම නිර්මාණයක් බිහි කරන්නත් උත්සාහ දරමින් ඉන්නව.

ඒ තුළ ඔබට උත්තේජනය සැපයූ සහ යම් ආභාසයක් ලබා දුන් ප්‍රවීන - නවීන නිර්මාණකරුවන් කවුද?

ලියනගේ අමරකීර්ති, සමන් වික්‍රම ආරච්චි, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල යන ප්‍රවීනයන්ගේ පොත්වලින් නවකතා සහ කෙටි කතා ගැන තියෙන උනන්දුව තව තවත් වැඩි වුණා.

'' සකලසිරින් පිරි සිරිලංකාවේ දේශපාලනය කියන්නෙ කෙලවරක් නැති කළුවරක්.
නිර්මාණ පැත්තෙන් බලද්දි අද හොඳ නිර්මාණවලට අරුත් බහුල කවි ගීවලට
තැනක් ලැබෙන්නෙම නැති තරම් .
ඒ අඩුව කොහෙන් පුරවාවිද කියන්න අපහසුයි. ''


ඔබ තරුණ නිර්මාණකරුවෙක් විදියට රටේ මේ මොහොත දකින්නෙ කොහොමද?

සකලසිරින් පිරි සිරිලංකාවේ දේශපාලනය කියන්නෙ කෙලවරක් නැති කළුවරක්. නිර්මාණ පැත්තෙන් බලද්දි අද හොඳ නිර්මාණවලට අරුත් බහුල කවි ගීවලට තැනක් ලැබෙන්නෙම නැති තරම්. ඒ අඩුව කොහෙන් පුරවාවිද කියන්න අපහසුයි. අනාගත පරපුරට අරින දොරටු විවර කරනවා වෙනුවට දොරගුළු ලන කාලයක්.

ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැනත් අපිට යමක් කියන්න?

නවරත්න ගමගේ සර් සංගීතවත් කරල විශාරද හර්ෂණ දිසානායක ගායනා කරන 'මම නිවෙමි තවම රහසින්' ගීතය තව නොබෝ දිනකින් නිකුත් කරනව. මම හිතන්නෙ රොබරෝසියා වගේම ඒ ගීයත් ආදරෙන් වැලඳගන්නා ගීතයක් වේවි. ඒවගේම මගේ දෙවෙනි කාව්‍ය සංග්‍රහය එළිදක්වන්නත් සැලසුම් කරමින් ඉන්නව. ඊට අමතරව රොවේන් සංගීතවත් කරලා ඔහුම ගයන තවත් ගී පද කීපයක් ඉදිරියේදී එලිදකිනව.

| සංවාදය - කසුන් සමරතුංග |