ලස්සන වෙන්න දත් කඩා ගන්න කැමති ද?

ලස්සන වෙන්න දත් කඩා ගන්න කැමති ද?

ලස්සන වෙනව කියන්නෙ චාරිත්‍රයක්  වගේම යම් ඇදහිල්ලක් .  මිනිස්සු එහෙම හිතනව කියල කිව්වොත් අදහ ගන්න පුළුවන් ද?  පුළුවන් වුණත් බැරි වුණත් එහෙම හිතන පිරිස් ලෝකෙ ඉන්නව.  ඉන්දුනිසියාව එතැනදි බොහොම විශේෂයි. ගෝත්‍ර, සංස්කෘති සිය ගණනක් ඒ අග්නිදිග ආසියානු රට ඇතුළෙ තියනව. වැඩිම දූපත් සංඛ්‍යාවක් එක්ක දකුණු ආසියාවෙ පිහිටි එකම රට ඉන්දුනිසියාව. ඒ වතගොත අයිනකින් තියල රට ඇතුළට ගියාම පුදුම ජීවිත හමුවෙනවා. 'මෙන්ටවායි' ජන ජීවිත ඉන් කොටසක්.

ලස්සන වීමත්, තම ශරීරයේ පැවැත්ම පිළිබඳ අදහසත් එකට මුසු කරගත් ආකල්පයක ඔවුන් පිහිටනවා. ඒ සඳහා චාරිත්‍රානුකූලව යම් වැඩ පිළිවෙළක් මෙන්ටවායි ජනතාව අතර තිබෙනවා.  ' දත් මුවහත් කිරීමේ' සිරිත උත්සවාකාරයෙන් සැමරීම සිද්ධ වෙන්නෙ ඒ විදියටයි. මොකක්ද මේ උත්සවය?

ඔවුන් ක්‍රිස්තියානි ජාතිකයින්. ආත්ම සැනසීම දැඩි විශ්වාසයක් ඔවුන් සතුව තිබෙන බව පැවසෙනවා. ලස්සනත් මෙතන වැදගත්ම  සංකල්පයක් වන නිසා කිව යුතු විශේෂතම දෙයක් වන්නෙ මුල් කාලයේ මෙම චාරිත්‍රය ස්ත්‍රීන් විෂයෙහි පමණක් සැමරුනු බව. නමුත් දැන් තත්ත්වය වෙනස්. නවයොවුන් වියේ දෙපාර්ශවයටම මෙය මගහැර යා නොහැකියි.

මාධ්‍යවේදියා - ඔබ මේ චාරිත්‍රයට කැමතිද ?

ස්ත්‍රීය - ඔව්  ඒක විය යුතුම දෙයක්

මාධ්‍යවේදීයා - ඇයි ඔබ එහෙම කියන්නෙ ?

ස්ත්‍රීය - මම වැඩිහිටි ගැහැනියක් විදියට සැලකෙන්නෙ ඒකෙන් පස්සෙයි. මට සැමියෙක් හොයා ගන්නත් පිරිමියෙක් මට ආකර්ශනය වෙන්නෙත්  ඒකෙන් පස්සෙයි.

ඒ තමයි ඔවුන්ගේ දැඩි විශ්වාසය. ඒ පිළිබඳ එම ගෝත්‍රයේ පිරිමි පාර්ශවයට තියෙන්නෙත් එම අදහසමයි. දත් මුවහත් ස්ත්‍රීයක් ඔවුන්ට ආකර්ශනය ගෙන දෙනවා. ඊට අමතරව නපුරු බලවේගවලින් ආරක්ෂාවීමටත් තමා තුළ වන නපුරුකම් සුන්නද්දූලි වෙලා යන්නටත් මෙම ක්‍රියාපටිපාටිය සිදු කරන බව කියැවෙනවා.  තම ආත්මයත් ශරීරයත් සතුටු කළ හැක්කේ එවිට බව විශ්වාස කරන ඔවුන් ආත්මය සතුටු නොවන්නේ නම් ශරීරය මියගොස් පුද්ගලයා විනාශ වී යන බව හිතනවා.

lipi 4

  මේ ක්‍රියාවලිය සිදුවන හා සිදුකෙරෙන පිළිවෙළක් තිබෙනවා. මෙහිදී සිදුවන්නේ කටෙහි ඇති කෘන්තක දත් රදනක දත් මෙන් උල් කර මුවහත් කිරීමයි. එය  සිදුකරන්නෙ වැඩිහිටි පිරිමියෙක් විසින්. ස්ත්‍රීය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පුරුෂයාට වුවත් එය කළ හැකියි. යකඩ පීරක් හා  දැවමුවා මිටියක් මේ සඳහා භාවිත කරනවා.  දතක කොනට පීර තබා මිටියෙන් පහර එල්ල කරමින්  උඩු ඇන්දෙහි දත් සියල්ල පහරනු ලබනවා. යටි ඇන්දෙහි දත් සඳහා පීර පමණක් යොදා ගන්නවා. මෙය සිදු කරන්නේ කිසිඳු හිරි වැටීමකින් තොරවයි.  ක්‍රියාවලිය අවසානයේ වේදනාව පහවී යාම සඳහා ස්ත්‍රීයට අමු කෙසෙල් ගෙඩියක් හෝ ලී කැබැල්ලක් සැපීමට දෙනවා.  ඇදහිලි කාරණාවලට අමතරව  ලස්සන  බවේ රහසක් මින් හෙළි වන බව ඔවුන් හඟිනවා.

මේ යුගයේ පවා එය සිදු කරනු ලබනවා. ස්ත්‍රී - පුරුෂ දෙපිරිසම ඊට අයත් වීමත් අදාළ පුද්ගලයා රනබරණින් සරසවා උත්සවාකාරයෙන් මේ මොහොත සැමරීමත් නවාංග බවට පත්ව තිබෙනවා. ප්‍රාථමික යැයි සම්මත ගෝත්‍රයක් වුවත් ලස්සන කෙරෙහි සවිඥානික වී ඇති ආකාරය අපට පේනවා. ඉන් ඔබ්බෙහි පොළවක වෙසෙන අප කට නාසය තොල් ආදිය සඳහා කරන ප්ලාස්ටික් සර්ජරියද ඉන් වෙනස් වන්නේ නැහැ. එකම වෙනස සිහිය - අසිහිය විතරයි.

| සසංකා විතානගේ |