මා හරි උගතා මා හරි ජගතා !

මා හරි උගතා මා හරි ජගතා !

මම සිරස සුපර්ස්ටාර් පළවෙනි සීසන් එක බැලුවේ තරඟ කරන්න එන තරඟකරුවන්ගේ ගායන හැකියා වලින් තෘප්තියක් ලැබීමේ අරමුණින් විතරක්ම නෙමෙයි. ඉතා විශේෂ ගායන හැකියාවකින් යුත් තරඟකරුවන් වගේම සාමාන්‍යයෙන් මිහිරි ලෙස ගායනා කරන්න හැකියාවකින් යුත් තරඟකරුවන්ටත් අමතරව තව පිරිසක් හිටියා වැඩසටහන නරඹන්නන්ට මහත් විනෝදාශ්වාදයක් ලබල දීපු.

ඒ තමා සින්දුවක් කියනවා තියා හිතන්නවත් බැරි, මලාට යකෙක්ටවත් අහන් ඉන්න බැරි විදියට සින්දු කියන මිනිස්සු ඉතාම දැඩි ආත්ම විශ්වාසයෙන් තරඟයට ඇවිත්, තරඟ කරන්නත් කලින් ජයග්‍රහණය ගැන උදම් අනමින් ඉඳල අන්තිමට විනිශ්චයකරුවන්ගේ ප්‍රතික්ෂේප කිරීම හමුවේ කුණුහරප කියමින්, කෑගසමින්, කෝපයෙන් පිට වෙලා යන හැටි.

ඒ වගේ මිනිස්සුන්ගෙන් ආතල් ගන්න එක හරි වුනත් වැරදි වුනත්, ඊට පස්සෙ කාලයක් යනකල් කම්මැලි වෙලාවට යූ ටියුබ් එකෙත් ඔය බනින සීන් බල බල හිනා වුනා මතකයි. නමුත්, හිනා වෙන අතර හරි ඔය වැඩසටහන බලන හැමෝටම ආපු ප්‍රශ්නය තමයි,

“මේ මිනිස්සුන්ට ඇයි තේරෙන්නැත්තෙ ඒ අයට සින්දු කියන්න බෑ කියල? පුදුම වැඩක් නේ..”

***

මම වයස අවුරුදු විසිපහක පමණ කාලයේදී අපේ ගේ ළඟ හදමින් තිබුන බිල්ඩිමක වැඩට අත් උදව් දෙන මනුස්සයෙක් ඇවිත් හිටියා. වැඩ අතරෙ විවේකයක් ලැබුන වෙලාවට අපේ තාත්තා එක්ක කතාවට වැටිලා දවස් කීපයකින්ම දෙන්නා හොඳ හිතවතුන් වෙලා තිබුනා. දවසක් මමත් දෙන්නගෙ කතාවට සෙට් වුනේ ඉබේම වගේ.

එවෙලෙ මම දැක්ක දෙයක් තමයි මේ මනුස්සයා දේශපාලනය ගැන, සමාජය ගැන, සංස්කෘතිය ගැන විතරක් නෙමේ මුළු ලෝකයෙ හතර දිග් බාගයෙ වෙන දේවල් ගැන දක්වා අදහස් සියල්ල දත් පඬිරුවනක් සේ තාත්තා එක්ක බෙදාගනිමින් ඉන්න බව. තාත්තත් හිනා වෙවී අහන් ඉන්නවා. ලංකාවෙ ජනවාර්ගික ප්‍රශ්නයෙ ඉඳන්, බර්මියුඩා ත්‍රිකෝණයෙ හරහා පිටසක්වල ජීවීන් දක්වා ප්‍රශ්න විසඳනවා මේ මනුස්සයා සිමෙන්ති අනන ගමන්.

කවුරුත් කියන වෙනස් අදහසක් තඹේකට මායිම් නොකර ගිරවෙක් වගේ ආත්මවිශ්වාසයකින් කියවන මේ මනුස්සයා ගැන මට ආවේ තරහක්. යම් වැදගත් මාතෘකාවක් ගැන අදහසක් තියාගන්න මනුස්සයෙක් ඒ ගැන උපාධි ගන්න ඕන කියල කියනව නෙමෙයි, නමුත් මෙච්චර ආත්මවිශ්වාසයකින් අනෙක් අදහස් බැහැර කරමින් කතා කරන්න යම් විෂයක් ගැන අඩුම තරමේ ප්‍රාමාණික දැනුමක්වත් තියෙන කෙනෙක් වෙන්න ඕන කියන අදහස හින්දයි ඒ මනුස්සයා ගැන අච්චර තරහක් ආවෙ.

ඇත්තටම ඔතන ගැටළුව ඒ මනුස්සයාගේ අදහස් වල තියෙන නිර්වද්‍යයතාවය නෙමේ. දැඩි ආත්මවිශ්වාසයක් තියාගෙන පැහැදිලිවම ඔහු නොදන්නා දෙයක් ගැන කතා කිරීම, ඒකයි ගැටළුව.

***

සමාජ විද්‍යාඥයන් දෙදෙනෙක් වන ඩේවිස් ඩනින්ග් සහ ජස්ටින් කෲගර් යන මහත්වරු දෙදෙනා විසින් 1999 වසරෙදි කරන ලද පරීක්ෂණ මාලාවක ප්‍රතිඵලය විදියට හඳුනා ගන්නවා මිනිස් මනසේ තවත් එක නැඹුරුවක් (bias) ගැන. ඒ නැඹුරුව පසුව නම් කරනු ලබනවා Dunning–Kruger effect විදියට.

මොවුන් දෙදෙනා සොයාගත් දේ තමයි, මිනිස් මනසේ ස්වභාවය වන්නේ, කෙනෙක් යම් විෂයක් ගැන ප්‍රවීණත්වය අඩුවෙන්න අඩුවෙන්න ඔහු/ඇය එම විෂය ගැන තමා නොදන්නා බව තේරුම් ගැනීමට තියෙන හැකියාව ඉතා අඩුයි කියන කාරණය. ඒ කියන්නෙ, යම් විෂයක් ගැන කෙනෙක්ගේ ඇති දැනුම හෝ හැකියාව අඩුවෙන්න අඩුවෙන්න, ඔහු/ඇය එම විෂය ගැන තමාගේ දැනුම හෝ හැකියාව ගැන අධිතක්සේරුවකින් හිතන්න තියෙන ඉඩ වැඩි වෙනවාය කියන එක.

තමා විශිෂ්ඨ රචකයන් කියා හිතන දුර්වල රචකයන්, තමා දක්ෂ ගායකයන් කියා හිතන අදක්ෂ ගායකයන්, තමා යම් විෂයක් ගැන කෙළ පැමිණි දැනුමැත්තෙක්ය කියා සිතන ඒ විෂය ගැන කොළ දහයක්වත් කියවා නැති මිනිසුන් ඕනෑ තරම් මේ සටහන කියවන ඔබ දැක ඇති.

හැබැයි එවැනි මිනිසුන්ගේ අවාසනාව තමයි, ඔවුන් තමාගේ නොහැකියාව හෝ නොදැනුවත්කම ගැන අවබෝධයක් නැති නිසා ජීවිතයේ ඉතා වැරදි තීරණ ගැනීමත්.. තමාගේ නොහැකියාව සහ නොදැනුම ගැන අවබෝධයක් නොමැති නිසා තමා ඉන්න තැනින් අඩුපාඩු හදාගෙන දියුණු වෙන්න තියෙන ඉඩ ඇහිරී යාමත්.

යම් අවස්ථාවක යම් කෙනෙක් තමා ගැන තමාගෙන් ස්වායත්ත වූ අවංක ඇගයීමක් කරන්නට තියෙන ඉඩකඩ වැඩි වන්නේ යම් විෂයක් ගැන කෙනෙක්ගේ ප්‍රවීණත්වය වැඩිවෙද්දි. මොකද, යම් විෂයක් ගැන දැනුම ලබන්න ලබන්න.. ඒ දැනුම ලබන්නන්ට තේරුම් යනවා තමා කොච්චර නම් නොදන්නවාද කියන කාරණය. තමාට දැනගන්න කොච්චර නම් දේවල් ප්‍රමාණයක් ඉතිරිව තියෙනවාද කියන කාරණය. (මේකට කියනවා Metacognition කියල.. ඒ කියන්නේ තමන්ගේ දැනුම ගැන දැනුම. දැනුම වැඩිවෙන්න වැඩිවෙන්න, කෙනෙක්ට හැකියාව ලැබෙනවා තමන්ගේ දැනුමම ඇගයීමට ලක් කරන්න)

ඉතින් ඒ වගේ අය, අර කලින් කියපු නොදැනුමින් යුක්ත අයට වඩා තමාගේ අදහස් සහ හැකියාවන් ගැන සෑහෙන සැකසහිත සිතින් බලන්නයි පෙළඹෙන්නෙ.

යම් විෂයක් ගැන දැනගන්න දැනගන්න ඒ දැනගන්න කෙනා තේරුම් ගන්නෙ මම කොච්චර දන්නවද කියන එක නොවේ, තමා කොච්චර නොදන්නවාද කියන එකයි.

මෙතන උත්ප්‍රාසය තමයි, දැනුම වැඩි ඇත්තන් තමාගේ දැනුම ගැන වඩ වඩා සැකයෙන් බලන්න පෙළඹීමත්.. දැනුම අඩු ඇත්තන් තමාගේ නොදැනුම ගැන දැඩි ආත්ම විශ්වාසයෙන් බලන්න පෙළබෙන එකත්.

***

හැබැයි තේරුම් ගන්න ඕන කාරණය තමයි, කෙනෙක්ට මෝඩයෙක් කියා පරිභව කරන්නවත්.. තමා අකමැති විදියේ අදහස් බැහැර කරන්නවත් Dunning–Kruger effect පාවිච්චි කරන එක යෝග්‍යය නැහැ.

මේ නැඹුරුව අපි හැමෝම තුළ තියෙන දෙයක්. මේක අපේ ස්වභාවයක් පැහැදිලි කිරීමක් පමණයි.

නමුත් මෙයින් තේරුම් ගත හැකි දෙයක් තමයි, යම් විෂයක් ගැන තමා පරතෙරටම දන්නවා කියල හිතනව නම්, වැඩි කාලයක් මහන්සියක් වැය නොකෙරූ විෂයක් ගැන තමන්ට මහත් අවබෝධයක් තියෙනවාය කියල තමන් හිතනවා නම්, ඒ විෂය ගැන තමන්ට කිසිම අදහසක් නැති වෙන්න තියෙන ඉතාම වැඩි බව.

ඒ නිසා මොකක් හරි දෙයක් ගැන තමාට එහෙම හිතෙනවා නම්, තමා අවට ඉන්න අය තමා ගැන දරන අදහස් වලට දෙපාරක් ඇහුම්කන් දෙන්න. හිතන්න. තමා පරතෙරටම දන්නවා කියල හිතන විෂය ගැන අධ්‍යයනය කරන්න යම් කාලයක් යොදවන්න. සමහර විට එහෙම කලයින් පස්සෙ එන්න එන්න තේරෙන්න ගනීවි, මීට කලින් මේ ගැන මම දැනගෙන ඉඳල තියෙන ඉලව්වක් නෑනෙ කියන කාරණය.

 | සංජය ශ්‍රීකාන්ත්ගේ ෆේස්බුක් සටහනකි |

sghjc