ලංකා ඉතිහාස සටහන් - 06 වර්තමානයේ සිට ලංකා ඉතිහාසය !

ලංකා ඉතිහාස සටහන් - 06 වර්තමානයේ සිට ලංකා ඉතිහාසය !

මේ කොටස අපේ මූලික ආඛ්‍යානයෙන් විතැන් වීමකි.

මෙම කොටසේ අරමුණ Sumudu Guruge විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලබාදීමයි. ඔහු අසන ප්‍රශ්නය නම් වර්තමානයෙන් පටන් ගෙන ආපස්සට යා නොහැකිද යන්නයි (reverse engineering ක්‍රමයට). එය කළ හැකි දෙයකි. ලංකා ඉතිහාසය සම්බන්ධයෙන් ගත් කල ජී.සී. මෙන්ඩිස් වැනි අය මේ ප්‍රවේශය අනුගමනය කර ඇත. ඇත්ත වශයෙන් ම යම් කිසි සංසිද්ධියක් ඓතිහාසිකව තේරුම් ගන්නවා යන්නෙන් අදහස් කරන්නේ එයයි. අපි ඒ සම්බන්ධව මඳක් මෙනෙහි කර බලමු.

මුලින්ම සුමුදු විසින් ප්‍රශ්න කරනු ලබන මගේ ප්‍රවේශය කුමක්දැයි සලකා බලමු. ඔහු මට වර්තමානයෙන් පටන් ගන්නැයි යෝජනා කරන්නේ මා අතීතයෙන් පටන් ගෙන ඇති නිසාය. මා එසේ අතීතයෙන් පටන් ගෙන ඇත්තේ ඇයි?
අපට පටන් ගැනීමට ඇත්තේ පවතින දෙයකිනි. (ඩෙරීඩාගේ ඇති බව පිළිබඳ පාරභෞතිකය -Metaphysics of presence - පිළිබඳ අදහස සිහිපත් කරගන්න)

'ඇත්තේ' කුමක්ද? සුමුදු යෝජන කරන තැනින් පටන් ගත්තොත් ඇත්තේ 'ලංකාව'යි. එනම් මේ මොහොතේ අප සැම ජීවත් වන, මේ මොහොතේ කොරෝනා රෝගීන් 160 ගණනක් හමුවී ඇති 'ලංකාව' නමැති ඒකකයයි. ඒ අනුව සුමුදු යෝජනා කරන පිළිවෙළට ලංකාව නමැති මේ ඉංජිනේරුමය ගොඩනැංවීම සිද්ධ වී ඇත්තේ කෙසේ දැයි අපට සොයා බැලීමට සිදුවේ. එහිදී අපට බොහෝ දේ කිරීමට සිදුවේ. මුළින්ම අපගේ විමර්ශනයට භාජනය වන වස්තුව (Object of the inquiry) කුමක්ද යන්න හඳුනාගත යුතුය. ඒ මුළු ලංකාවම ද? එසේ නම් එයින් අදහස් කරන්නේ කුමක්ද? ලංකාවට අදාළ කිසියම් තනි සංඝඨකයක් නම් ඒ කුමක්ද?
අනෙක් අතර මගේ ප්‍රවේශය තුළ ඇති 'ඇති බව' නම් 'ලංකාවේ ඉතිහාසය'යි. එවැන්නක් අප ඉදිරියේ තිබේ. මුද්‍රිත අකුරු ලෙස ද ජනයාගේ ඉතිහාස විඥානයේ පාර්ශවයක් ලෙස ද, තවත් විවිධ ආකාර වලින් ද ඒ 'ලංකාවේ ඉතිහාසය' පවතියි. මගේ ආරම්භක ලක්ෂය එයයි.

සුමුදු යෝජනා කරන වර්තමාන ලංකාව නමැති 'ඉංජිනේරුමය ගොඩනැවීමක්' වන 'ඇති දෙය' මෙන්ම මා මෙහිදී පදනම් වන 'ලංකාවේ ඉතිහාසය' නමැති 'ඇති දෙය' ද 'ඉංජිනේරුමය ගොඩනැවීමකි'.

දැන් අපි සුමුදු යෝජනා කරන ප්‍රවේශය පිළිබඳව සුළු අත්හදා බැලීමක් කර බලමු.

අපගේ ඇති දෙය, එනම් විමර්ශනයේ වස්තුව, ලංකාව නමැති දේශපාලන ඒකකය යැයි සිතමු. (මේ වර්තමාන පැවතීම ද අපවෙත එන්නේ පඨිතමය ආකාරයට බව තේරුම් ගතහොත් සුමුදුගේ ප්‍රශ්නයට පිළිතුර තවත් සංකීර්ණ වන බවද මතක තබාගත යුතුය.)

tfwvhs

රූපසටහනේ දැක්වෙන පරිදි ලංකාව යන දේශපාලන ඒකකය සංගෘහිත වී ඇති ප්‍රධාන සංඝඨක තුනක් වන්නේ ආණ්ඩු ක්‍රමය, ආර්ථිකය හා දෘෂ්ටිවාදය යැයි සැලකවහොත් ඒවා ඓතිහාසික ගොඩනැංවීම් ලෙස රූප සටහනේ ආකාරයට පෙන්විය හැකි ය. වැදගත් ම දෙය වන්නේ ඉතිහාසය පිළිබඳ රේඛීය අවබෝධය ඒ මගින් ප්‍රශ්න කිරීමට ලක්වීමයි. වෙනත් විදිහකින් කියනවා නම් ලංකාවේ ඉතිහාසය එක් ආරම්භක ස්ථානයක් වෙත හෝ එක් රේඛීය දාමයක් වෙත දිශාගත කිරීමට නොහැකි වෙයි. විවිධ දිශාවෙත යොමුවූ ඓතිහාසික ක්‍රියාදාම වෙත ද, විවිධ ආරම්භ වෙත ද යොමු වීමට අපට සිදු වෙයි. අරම්භය යන්න ම ගැටලු සහගත වේ.

(මේ රූප සටහනේ සලකුණු කර ඇති ආරම්භ ස්ථාන ද ගැටලු සහගත බව සලකන්න. ඒවා දක්වා ඇත්තේ පැහැදිළි කිරීමේ පහසුවට පමණි.)

මතු සම්බන්ධයි..

| කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි |


ලංකා ඉතිහාස සටහන් - 01

ලංකා ඉතිහාස සටහන් - 02

ලංකා ඉතිහාස සටහන් - 03

ලංකා ඉතිහාස සටහන් - 04

ලංකා ඉතිහාස සටහන් - 05