ලංකා ඉතිහාස සටහන් - 05 මහාවංස ජනපදකරුවෝ සහ පිටස්තරයෝ !

ලංකා ඉතිහාස සටහන් - 05  මහාවංස ජනපදකරුවෝ සහ පිටස්තරයෝ !

මහාවංසයේ ජනපදකරණ ආඛ්‍යානය මුළුමනින්ම පදනම් වන්නේ ඉන්දියානු මහාභූමියෙන් පැමිණි සංක්‍රමණිකයින් පිරිසක් මුල් කරගෙන ය.
මහාවංසයේ යෝජිත ආකාරයට ඉන්දියානු මහා භූමියෙන් දිවයිනට සංක්‍රමණික පිරිස් පැමිණ ජනාවාස ඇති කරගන්නා අවස්ථාවේ දී මෙරට පූර්ණ වශයෙන් මනුෂ්‍ය යැයි කිවහැකි පිරිසක් සිටියේ නැත. කෙසේ වෙතත් මහාවංස ආඛ්‍යානයේ ලා යක්ෂ, නාග යනා දී වශයෙන් අවමානුෂීකරණය කෙරෙන්නේ මහාවංස ආඛ්‍යානය තූළ කේන්ද්‍රීය භූමිකාව හිමිකර දෙනු ලබන ජන කොට්ඨාසය දිවයිනේ ජනාවාස ව්‍යාප්ත කරන විට හා ඒ පිරිස් අතරින් ශක්තිමත් දේශපාලන ප්‍රභූ තන්ත්‍රයක් බිහි වී අනුරාධපුරයේ දේශපාලන ආධිපත්‍යය අත්පත් කරගන්නා විට ඒ පිරිස් සමඟ විවිධ ආකාරයෙන් අභිමුඛ වූ ජනකොටස් විය හැකි ය.

දැන් අපට සලකා බැලීමට අවශ්‍ය වන්නේ මේ ජන කොටස් වර්ග දෙක ලංකාවේ මානව ජනාවාස ඇති වීමේ ඉතිහාසය තුළ ස්ථාන ගත කරන්නේ කෙසේ ද යන්නයි. ජනකොටස් වර්ග දෙක යන්නෙන් මා අදහස් කරන්නේ මහාවංසය තුළ මනුෂ්‍ය අනන්‍යතාවය හිමිවන ජනකොටස සහ ඒ තුළ මනුෂ්‍ය අනන්‍යතාවය අහිමිකරනු ලැබ ඇති කොටස් ය.

සාමාන්‍ය වශයෙන් මහාවංසය මෙන්ම ඒ සම්ප්‍රදාය මත පිහිටුවිය හැකි සෙසු පඨිත දෙස ද බැලූ කල්හි පෙනී යන දෙයක් වන්නේ ඒවා තුළ දැරෙන මූලික පරිශ්‍රමය වන්නේ ලංකාවේ ජනවාස ඇති වීම සම්බන්ධයෙන් මෙන්ම දේශපාලන අධිකාරී බලයක විකාශය සම්බන්ධයෙන් ද කිසියම් නිශ්චිත ජන කණ්ඩායමකගේ මූලිකත්වය අවධාරණය කිරීමට දරන උත්සාහයයි. මෙය මේ සමස්ත ඉතිහාසකරණ සම්ප්‍රදායට ම ආවේණික ලක්ෂණයක් ලෙස සැලකිය හැකි ය.
නවීන පුරාවිද්‍යාඥයන් මෙන්ම ඉතිහාසඥයන් ද සාමාන්‍ය වශයෙන් පිළිගනු ලබන දෙයක් වන්නේ ලංකාවේ මානව ජනාවාස ඇති වීම මෙන් ම නගර මුල්කරගත් දේශපාලන බල මධ්‍යස්ථාන සකස් වී විකාශය වීම ද මෙම වංසකතා සම්ප්‍රදායේ ඉදිරිපත්වන ආකාරයට වඩා සංකීර්ණ බවයි. එසේ වුව ද සාමාන්‍ය වශයෙන් අපට දක්නට ලැබෙන ප්‍රවණතාවය වන්නේ මේ සම්ප්‍රදායන් දෙක (එනම් පැරණි වංසකතා සම්ප්‍රදාය සහ නවීන පුරාවිද්‍යාඥයින්ගේ හා ඉතිහාසඥයින්ගේ බුද්ධි සම්ප්‍රදාය) අතර ඇති මෙම පරස්පරය එතරම් අවධාරණය නොවී පවතින බවයි.

බොහෝ විට උත්සාහ දැරී ඇත්තේ ඉතාම ප්‍රවේශමෙන් මේ සම්ප්‍රදායන් දෙක අතර සහජීවනයක් ඇති කිරීමටයි. එසේ වී ඇත්තේ වංසකතා සම්ප්‍රදායට ඇති දෘෂ්ටිවාදී ශක්තිය යැයි තර්ක කිරීමට පුළුවන.

මතු සම්බන්ධයි..

| කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි |

ලංකා ඉතිහාස සටහන්-01 දෙදහස් පන්සීයෙන් පටන් ගමු ?

ලංකා ඉතිහාස සටහන්-02 අනුරාධපුරය යනු කුමක්ද?

ලංකා ඉතිහාස සටහන්-03 මහා තිත්ථ ; පැරණි වරාය නගරයක ඓතිහාසික සලකුණ

ලංකා ඉතිහාස සටහන්-04  අනුරාධපුරය සහ පැරණි ජනාවාස