අමුතු අයිස්ක්‍රීම්

අමුතු අයිස්ක්‍රීම්

අතුරුපසක් ලෑස්ති කරපු මේසයක අයිස්ක්‍රීම් නෑ කියන්නෙ හරියට මනමාලි නැති මඟුල් ගෙදරක් වගේ. ඇත්තම කිව්වොත් මඟුල් ගෙදරක මනමාලි නැති උනත් අතුරුපසකට අයිස්ක්‍රීම් තියල නෑ කියන්නෙ කොච්චර කෑවත් බඩ පිරිලා නෑ වගේ හැඟීමක් එනවා. අයිස්ක්‍රීම් එහෙම නැත්නම් හිමකිරම කියලත් කියන කටදිව පිනවන මේ සීතල ආහාරය කොහෙන් කොහොම ආවද කියන්න හරිම විස්තරයක් කවුරුවත් දන්නෙ නෑ.

මීට සමාන ආහාරයක් ක්‍රිස්තු වර්ෂ 618 දි විතර චීනයෙන් හමුවෙනවාය කියල සමහර තැන්වල කියැවෙනවා. චීනයේම, ක්‍රිස්තු පූර්ව 200 කාලයේ කිරි, සහල් මිශ්‍රණයක් හිම එක්ක එකට එක්කහු කරල ශීත ඇසුරුමක ඇසුරුම් කරලා අයිස්ක්‍රීම් නිපදවලා තියෙනවා කියලත් කියනවා. මාර්කෝ පෝලෝ  කියන දේශ ගවේෂකයා තමන්ගෙ චීන සංචාරයෙන් හඳුනා ගත්ත අයිස්ක්‍රීම් ආහාරය සහ එහි වට්ටෝරුව ඉතාලියට හඳුන්වලා දුන්නාය, ඉන් පස්සෙ යුරෝපය පුරාත් ඉන් එහා ලෝකය පුරාත් ව්‍යාප්ත වුණාය කියලත් කියනවා.

ඒ වගේම තමා, පළවෙනි වතාවට අයිස්ක්‍රීම් ගැන නිල වාර්තාවක් ලෝකෙට ඉදිරිපත් වෙන්නෙ 1744 වසරෙ දී. ඇමරිකානු ආණ්ඩුකාරවරයකු වුණු විලියම් බ්ලැඩන්ගෙ අමුත්තකු විසින් එම වසරේදී ලියන ලද ලිපියක ඒ බව කියැවෙනවා. අයිස්ක්‍රීම් මිනිස්සුන්ව පිස්සු වට්ටන ආහාරයක්!
ඇමරිකානු ජනපතිවරයෙක් වුණු ජෝර්ජ් වොෂිංටන්  වසන්ත සෘතුවේදී  විතරක් අයිස්ක්‍රීම්වලට ඩොලර් 200ක් පමණ වියදම් කරපු බවට නිල වාර්තා පවා තියෙනවා. කොහොම නමුත් අයිස්ක්‍රීම්වල ඉතිහාසය ඉතා කෙටියෙන් , මෙහෙම කියන්න පුළුවන් .

අයිස්ක්‍රීම්වල ඉතිහාස කතාව කියනවට වඩා අමුතු අයිස්ක්‍රීම් එකක් ගැනයි මේ ලියමන. අයිස්ක්‍රීම් ඉක්මනින් දියවෙනසුළු ආහාරයක්. නමුත් මේ අමුතු අයිස්කිරිම අමුතු වෙන්නෙ , ඒ දියවෙනසුලු දියාරු බව නැති නිසාමයි. මේක තුර්කියටම ආවේණික වුණු අතුරුපසක්.



මොකද්ද මේ වෙනස ?

තුර්කී අයිස්ක්‍රීම් කියන්නෙ රබර් වගේ අදින්න පුළුවන් ජාතියක්. ලේසියෙන් දිය වෙන්නැති ගුණයක් එහි තිබෙනවා. තුර්කියට එන හැම සංචාරකයෙකුම වගේ මඟ නොහරින සංස්කෘතියක අංගයක් තමයි තුර්කි හිමකිරම කියන්නෙ.

මේ රට තුළ ඇඳෙන සුළු අයිස්ක්‍රීම් නිර්මාණය කිරීම,  කහරාමන්මාරස් කියන තුර්කී නුවර මුල් කරගෙන තමා ආරම්භ වෙලා තියෙන්නෙ. ඒ රටේ වීදි ආහාරයක් ( street food) විදියට මේ අයිස්ක්‍රීම් වර්ගය ඉතාම ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි, වීදිවල ඒ අයිස්ක්‍රීම් විකුණන වෙළෙන්දන්  එය පිළිගන්වන ආකාරය පවා හරි අපූරුයි. ඔවුන් ඉතා අලංකාර ඇඳුමකින් සැරසිලයි ඉන්නෙ. පාරිභෝගිකයන් තමන් වෙත ඇද ගන්න පුංචි සීනුවක් පවා නාද කරමින් තමයි තමන්ගෙ කුටියෙ ඔවුන් ඉන්නෙ. අයිස්ක්‍රීම්, කෝන් එකක දාලා ඉතා ළඟන්නාසුළු  රැඟුමකුත් එක්ක තමයි පාරිභෝගියක අත් මතට ඒ රසවත් ආදරය, ඔවුන් තිළිණ කරන්නෙ. 

කොහොමද හදන්නෙ ?

සාමාන්‍යයෙන් මේ සඳහා පාවිච්චි කරන්නෙ එළු කිරි. සුදුසුම කිරි වර්ගය වෙන්නෙ එයයි. ඒත් , එළ කිරිවලින් වුණත් හදා ගන්න බැරිකමක් නැහැ. 
එළුකිරි, සීනි අමුද්‍රව්‍යවලට අමතරව තව විශේෂ යමක් ඔවුන් භාවිත කරනවා. ඒ තමා ' සාලෙප්' නමින් හඳුන්වන කුඩු වර්ගය. මේ සියල්ලම එකතු කරගෙන හොඳින්ම තනුක වෙනකල් ලිපේ තබා ගත් මිශ්‍රණය ලිපෙන් මුදවා, ඉක්මනින් සීතල කරගත යුතුයි. ඒ අතරතුර එයට ' කයිමක් ' නමැති මිශ්‍රණයක් එකතු කරනවා. ඒ මිශ්‍රණය වෙළෙඳසැලෙන් මිලදී ගත හැකියි. ඉන්පසු ඒ   මිශ්‍රණය විඩක් ශීතකරණයේ තබා පිටතට ගෙන විඩෙන් විඩ අනා ගනිමින් දෘඩ මිශ්‍රණයක් බවට පත් කරගත යුතු වෙනවා. සැකසිම සඳහා සැලකිය යුතු කාලයක්  ගත වන බව ඔබට දැන්  වැටහෙන්න ඕනෙ.



මොනවද මේ ' සාලෙප්' ?

මේ අයිස්ක්‍රීම් වර්ගයේ තිබෙන රබර්මය ගතිය එන්නෙ මේ සාලෙප් කියන කුඩ නිසයි. මේ කුඩු නිර්මාණය කරගනු ලබන්නෙ සාලෙප් කියන ඕකිඩ් වර්ගයේ මුලෙහි හටගන්නා අල වර්ගයකින්. එම අල  තම්බා, හොඳින් වේලා කුඩු කරගැනීමෙන් පසු මෙසේ පාවිච්චියට ගැනෙනවා. මෙහි විකුණුම් භාවිතය මුලින්ම හඳුනා ගත්තෙ රෝමවරු කියල තමා කියැවෙන්නෙ. 'සාලෙප් ඕකිඩ් වගාව' නොවුණත්, 'ඕකිඩ් මල්වර්ගය'  මුලින්ම වගාකරන්න අරං තියෙන්නෙ චීන ජාතිකයින්.

ඒ වගේම මෙය ඖෂධයක්. ආහාර දිරවීමේ ගැටලු සඳහා, පාචන රෝගය  සඳහා විශේෂයෙන් ළමයින් වෙනුවෙන් සාලෙප් ‍යොදාගන්නා බව සඳහන්. ආහාර දිරවීම පහසු කළ හැකි ශ්ලේෂ්මල වැනි ද්‍රව්‍යයක් එහි අඩංගු වන බව පිළිගැනෙනවා. යුරෝපය, ඇමරිකාව වගේ රටවල කිරි පානය සඳහා මේ සාලෙප් කුඩ එකතු කරගන්නවා. ඉන් වැනිලාවලට සමාන රසයක් ගෙනෙන බවයි කියන්නෙ.  පානය වඩා වැඩියෙන් උකු කර ගැනීමට තමයි සාලෙප් කුඩු යොදා ගන්නෙ. 


රබර් වගේ අයිස්ක්‍රීම් තිබුණට අයිස්ක්‍රීම් වගේ රබර් නම් තියෙන්න විදියක් නෑ. අයිස්ක්‍රීම් එකක් පීට්සා කෑල්ලක් වගේ ඇද ඇද කනවා කියන එකත් අමුතු, ඒත් ලස්සන අත්දැකීමක් !

| සසංකා විතානගේ |