ගොඩමඩ දෙකම සරුසාරය ඵලබරය පණ ඇති මහා සාගරයෙද කෙත්වතුය

Previous Next

මූදු පතුල යට ඉඳලා අපේ දෝතට , ලෑල්ලට, වළඳට , කටට ඊටත් පස්සෙ බඩට වැටෙන්න ආහාරය මාළු.ගොඩ ඉඳන්  මාළුවෙක් කන ගමන් අපි මූදු පතුලට යනවා උන්ව බල බල ඇස් පිනවගන්න. එහෙම නැත්නම් කොරල්පර බලන්න. මාළු අස්වැන්න අපිට හම්බවෙන්නෙ මුහුදෙන්. එළවළු අස්වැන්න ලැබෙන්නෙ පොළවෙන්. මාළු බලන්න නම් අපි මුහුදෙ පීනනවා. එළවළු බලන්න නම් ගොවිපොළක ඇවිදිනවා.

ඒත් දැන් අපිට පුළුවන් එළවළු බලන්නත්  මූදු පතුලට පීනන්න. රැල්ල පීර පීර එළවළු තෝරන්න.


දෙදහස් දොලහේ වසන්තයේ දවසක සර්ජියෝ ගැම්බෙරින් කියන තලත්තෑනි මනුස්සයා එයාගෙ    සුමිතුරන් සමග දොඩමළුව ඉතාලියේ රිවීරා වෙරළ අද්දර ඔබ මොබ ඇවිදිමින් ඉන්නවා. සිහින් වැල්ලයි ලවන රැල්ලයි  ගැම්බෙරින් වෙතට ගේන්නෙ සුවැති ආනන්දයක්. ඉතිං මුහුදු සුවයයි මිතුරු කතාවයි ඉවර වෙන්නෙ අලුත් බලාපොරොත්තුවක් සහ අලුත් අරමුණක් ඔහුට පිරිනමමින්. මුහුද යට ගොවිපොළක් නිර්මාණය කිරීමේ බරපතළ අවශ්‍යතාව සර්ජියෝට ඇති වෙන්නෙ එහෙමයි.


ඔහු ඉතාලි ජාතික රසායනික ඉංජිනේරුවරයෙක්. ඇත්තටම ගැම්බෙරින් කියන්නෙ ඉතාලියේ ඕශන් රීෆ් ( ocean Reef) කියන පිහිනුම් උපාංග නිපදවන ආයතනයේ නිර්මාතෘවරයා. දෙදහස් දොලහේ පැලපදියම් වෙච්ච ඒ නවෝත්පාදන වැඩසටහන 2018 වෙද්දි සාක්ෂාත් කර ගන්න ඔහු ඇතුළු කණ්ඩායම හැකි වෙනවා. ඔව්! ඒ කියන්නෙ 2018 දී ඉතාලියට හම්බෙනවා මුහුද යට ගොවිපළක්. ඉතාලියට විතරක් නෙවේ එහෙම ඒවා ලෝකෙටම තියෙන්නෙත් එච්චරයි . ඒකෙ නම නෙමෝස් ගාඩ්න් ( Nemo's Garden )


ඒක අතීශයින්ම අභියෝගාත්මක පියවරක්. ඒ වගේම පර්‍යේෂණාත්මක වැඩක්. රටක පරිසර පද්ධතියත් එක්ක කරන ගනුදෙනුවක් නිසාත් මුහුදෙන් ඉඩක් වෙන්කර ගැනීමට සිදු වෙන නිසාත් මේ වැඩේ සිම්පල් ප්ලෑන් එකක් වෙලා නැහැ. සාමාන්‍යයෙන් ගහක් පැළවෙන්න නම් පස,  හිරු එළිය , වතුර කියන්නෙ අත්‍යවශ්‍යම සාධක කියල අපි දන්නවා. ඉතිං මේ අවදානම් සහගත වැඩේ ඔවුන් ක්‍රියාත්මක කළේ කොහොමද ?

වාතය පිරුණු විනිවිද පෙනෙන බැලූනයක් තුළ එළවළු වත්තක් නිර්මාණය කිරීම තමයි ගැම්බෙරින්ගෙ හීනය වගේ ම උවමනාව වුණේ. ඔහු රසායනික ඉංජිනේරුවරයෙක් නිසා  විවිධ උත්සහයන් මේ වෙනුවෙන් ඔහු ගත්තා.  කොහොම හරි දවසක් ඔහු තමන්ගෙ පිහිනුම් ඇඳුම් ආයිත්තම් ඇඳගෙන පස් භාජනයක්  සහ බැසිල් ශාකයේ බීජ පුරවපු ප්ලාස්ටික් බැලූනයක් සමග අඩි 22ක් යට මුහුදට කිමිදෙනවා. ඊට පස්සෙ ඒ බැලූනය මුහුදු පතුලෙ සවි කරලා තමයි ආපිට එන්නෙ. පුදුමයක්!  ඉන් දවස් කිහිපයකට පස්සෙ බැසිල් ශාකය දළුලා ඇති බව ඔහු දකිනවා.


පසුව ඔහුගේ පවුල් ව්‍යාපාරයක් වන ඕශන් රීෆ් හි අයවැයෙන් අරමුදලක් ඔහු ලබාගන්නෙ මේ මුහුදු ගොවිපළ අංගසම්පූර්ණ කිරීමේ අරමුණින්.  කෙසේ හෝ ඔහුට හැකි වෙනවා මුහුද යට හරිතාගාර හයක් නිර්මාණය කරන්න. මේ වෙද්දි බැසිල් ශාකය විතරක් නෙවෙයි තක්කාලි, සලාද, ස්ට්‍රෝබෙරි, කෝමාරිකා , මින්ට්  වැනි සුවඳ දෙන ශාක  ඇතුළු පැළෑටි 700ක් රෝපණය කරල තියෙන බව කියනවා. 

මේ විදියට පොදු දේපළක් පරිහරණය කිරීමේදී නීතිය එතනට එබිකම් කරන එක වළක්වන්න බැහැ. ඒක විය ‍යුත්තක්.  ඉතාලියේ පාරිසරික නීතිය අනුව මේක නීති විරෝධී වැඩක්. මේක මහා පරිමාණ ව්‍යාපෘතියකට වඩා තවම පර්‍යේෂණ මට්ටමේ තිබෙන දෙයක් වන නිසා නීතිය ඒ ඉඩ ඔවුන්ට ලබා දෙනවා. එය කොන්දේසි සහිත අවසරයක්. අභ්‍යන්තර මුහුදු ජීවීන්ට ඒ පරිසරයට හානි නොවන ලෙස මේ වැඩේ විය යුතු බවට , ඒ වගේම සදාකාලිකව මුහුදු පත්ලෙ තැන්පත් වන ලෙස වාතය පිරවූ අර්ධ ගෝල නොතිබිය යුතු බවට එරට නීතිය නියෝග කරනවා.

ඒ අනුව මේ පර්‍යේෂකයන් , ඉස්කුරුප්පු 28ක් සහිත දම්වැල්වලින් මේ අර්ධ ගෝල මුහුදු පොළවට සවිවන ආකාරයට ඒවා රඳවනවා. එවිට, අවැසි විට ඒවා ගලවා ගත හැකියි. ඒ වගේම තමා  කිසිම රසායනික ද්‍රව්‍යයක් මුහුදු ජලයට මිශ්‍ර නොවන ලෙසට ඔවුන් වග බලා ගන්නවා. මෙතනදි මුහුදු කුණාටුවලින් ඒ ඒ කවාකාර ගෝල ආරක්ෂා වීමට ඔවුන් 'ප්ලෙක්සිග්ලාස්' කියන වීදුරු වර්ගය භාවිත කරනවා කියල තමයි නෙමෝස් ව්‍යාපෘති කළමනාකරු ජියානි මහතා කියන්නෙ.

ස්වාභාවික හිරුඑළිය 70% ක්  මේ පැළවලට ලැබෙන විදියට මේ සැලසුම ක්‍රියාත්මකයි.  ශීත සෘතුවේදි වගේම වලාකුළු පිරුණු දිනවල සොබාවික හිරු එළියක්  ලබා ගන්න බැහැ. ඒ වෙනුවෙන් ඔවුන්ට උත්තරයක් තියෙනවා. ඔවුන් ඒ සඳහා අර්ධ කවාකාර ගෝල තුළ LED බල්බ් සවි කරලා තියෙනවා. ඒවට විදුලි ආලෝකය , සූර්‍ය පැනල හරහා ලබා දෙන්න ඔවුන් කටයුතු කරලා තියෙනවා. වෙරළ තීරයේ සවි කරන ලද සුළං උත්පාදක යන්ත්‍රයකද සහාය ඇතිව ඉර හැංගුණු දවසටත් ඔවුන් ඉරෙන් වැඩ ගන්නෙ එහෙමයි.



මේ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීමට වගේම එහි විනිවිදභාවය ඇති කිරීම සඳහා  සහතිකලත් ඕනෑම කිමිදුම්කරුවෙකුට ගොවිපළට පිවිසීමේ අවකාශය තිබෙන බව ගැම්බෙරින් පවසනවා. ඔවුන් කියන විදියට මේ පුදුම ගොවිපළේ අස්වැන්න නෙළන්නෙ සැප්තැම්බර් මාසයේදී.

මෙසේ ලබා ගන්නා අස්වැන්නෙත්  යම් වෙනසිතා තියෙනවා කියලා සඳහන් කරනවා.  මේවා වැඩෙන්නෙ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 22ක් පහළින්. ගොඩබිමේ වැඩෙන ඒ ශාකම සමග සසඳන විට මුහුදු පතුලෙ වැඩෙන පැළ , ගොඩබිමේ පැළ මෙන්  දෙගුණයක වායුගෝල පීඩනයකට ලක් වෙනවා. ඒ නිසා ඒ පැළවල රසායනික සංඝටකවල යම් යම් උච්චාවචනයන් තිබෙනවා. උදාහරණයක් විදියට ඔවුන් බැසිල් ශාකය ගැන සඳහන් කරනවා. මුහුදු පතුලෙ වැඩුණු බැසිල් ශාකයක ඉයුජෙනෝල් සහ ක්ලෝරෝෆිල් කියන සාන්ද්‍රණ ගොඩබිම් පැළයකට සාපේක්ෂව වැඩි බවයි ඔවුන්ගේ නිරීක්ෂණය වන්නෙ.  ඉයුජෙනෝල් කියන්නෙ කරාබුනැටිවල අඩංගු මේද කොටස. එය ශ්වසන ආබාධ, ආමාශ අන්ත්‍රවල ලෙඩවලට බොහෝ සෙයින් ගුණදායක රසායනිකයක්. ක්ලෝරෝෆිල් කියන්නෙ හරිත ප්‍රද.  ශාකයකට කොළ පැහැය තවරන්න සොබාවික පින්සල තමයි හරිත ප්‍රදය.


මේ වෙද්දි ප්‍රංශයේ ඖෂධීය සමාගමක්,පර්‍යේෂකයන් තැනූ  අර්ධ කවාකාර හරිතාගාර හයෙන් එකක් කුලියටත් අරගෙන. කුමන ඖෂධයක් සඳහා ද කුමන ශාකයක් ලබා ගත්තාද කියන එක රීෆ් සමාගම තවමත් හෙළි කරන්නෙ නැහැ. කෙසේ නමුත් මේ ව්‍යාපෘතිය දිනෙන් දින සාර්ථකත්වයේ සේයා මවන බව පේන්න තියෙනවා .

පර්‍යේෂක ගැම්බෙරින් කියන විදියට ඔවුන්ගෙ අවසාන ඉලක්කය වෙන්නෙ ජල හිඟයක් පවතින ප්‍රදේශවලට විකල්පයක් ලෙස  මුහුදු ගොවිතැන  ප්‍රචලිත කිරීම.  ඉඩම් ගොවිතැනට විකල්පයක් විදියට මුහුදු ගොවිතැන හඳුන්වාදෙමින් තිරසර සංවර්ධනය සඳහා රුකුල් දීමට ඔවුන් සැදී පැහැදී ඉන්නවා. දීර්ඝ කාලයක් මේ සඳහා ගෙවී යන්නට නියමිතයි.


මුහුද එක්ක ඉන්න අපිට,  අපේ වගේ රටවලට ඉතා සුබදායක පණිවිඩයක් . ඒත් අපි එය භාවිත කරන විදියයි පිළිගැනීමයි කොහොම වෙයිද කියන්න දන්නෙ නෑ.  නැව් ගිනිගන්න මුහුදකට ශාකයක් රෝපණය වෙන්න ඉඩ හැරියොත් මාළු දිහා බලාගෙන හූල්ලපු අපට ශාකයක් දිහා බලලා අඬන්න වෙයිද දන්නෙත් නෑ.

ඒ කොහොම වුණත්  මේ ව්‍යාපෘතිය රටින් රටට යන තරමටම සාර්ථක වුණොත් ට්‍රැක්ටරයක්  , උදැල්ලක් වෙනුවට ගොවීන්ට කිමිදුම් ඇඳුම් කට්ටලයක් අතට ගන්න වෙනවා. ධීවරයන්ට වගේ පීනන්න පුහුණු වෙන්නත් වෙනවා.  හැබැයි මතක තියාගන්න, මේ කියන්නෙ ඉඩම් ගොවිතැන නවත්වනවා කියලා නෙවේ.  මුහුදෙත් අපට වවන්න පුළුවන් කියන එකයි.

| සසංකා විතානගේ |