කමුද සීතල වතුර බෝතලයක් ?

කමුද සීතල වතුර බෝතලයක් ?

ඝන , ද්‍රව , වායු කියල කොටස් තුනක් විද්‍යාවෙදි අපි ඉගෙන ගන්නවා. ඒවටම ආවේණික ගුණාංග තියෙන නිසයි අපි ඒවා වෙන වෙනම කොටස් කරන්නෙ. ඝනයක් හපන්න පුළුවන් . ඒත් බොන්න බෑ. ද්‍රවයක් බොන්න පුළුවන් . ඒත් හපන්න බෑ. වායුවක ඒ ගුණාංග දෙකම නෑ.  ඒක තමයි සරල සත්‍යය. හැබැයි ගැහැනියක් පිරිමියෙක් කරන්නත් පිරිමියෙක්  කරන්නත් පුළුවන් වෙච්ච ලෝකෙක ඝනයක් ද්‍රවයක් කරන්නත්  ද්‍රවයක් ඝනයක් කරන්නත් බැරිද?

විනාඩියකට හිතන්න , එහෙම වුණොත්, ඒ ඒ දේවලට අපි පාවිච්චි කරන ක්‍රියාපද උඩුයටිකුරු වෙන හැටි.

" අපි පාන් කෑල්ලක් බීලා, තේ ටිකක් කමුද ? "

එහෙම හිතනකොටත් ටිකක් හිනා යනවා.  ඇත්තටම ඒක මිනිහෙකුට ' පිස්සු'යි කියල හිතන්න පුළුවන් තැනක්. හැබැයි, " කමුද සීතල වතුර බෝතලයක් ? " කියල ලෝකෙන්ම අහන පිස්සු මිනිස්සු කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන්වලින් අපට හම්බෙනවා. ඔව්, ඇත්තටම ඒගොල්ලොන්ට පුළුවන් වෙනවා වතුර කියන ද්‍රවය, ද්‍රව්‍යයක් බවට පත් කරලා, බොනවා වෙනුවට කනවා කියන ක්‍රියාපදය වතුර ළඟින් තියන්න. 

 



කවුද මේක කළේ ?

මේක ඇත්තටම වතුර බුබුලක්. පෙත්තක්. පොඩි කැප්සියුල් එකක් කියල කියන්න පුළුවන් . ඒ වතුර බුබුලෙ නම ඕහො ( Ooho ) . ඒක නිෂ්පාදනය කරන්නෙ ලන්ඩන්වල ඉම්පීරියල් විද්‍යාලයේ පියරේ පැස්ලියර් සහ රොඩ්‍රිගෝ ගාර්ෂියා කියලා ශිෂ්‍යයන් දෙන්නෙක්. ඔවුන් දෙන්නා ඉතා ඉක්මනින් ස්කිපිං රොක්ස් ලැබ් කියන ආයතන පටන් ගන්නවා. මේ හරහා තමා ඉන්පස්සෙ මේ නිෂ්පාදනය ඉදිරියට ආවෙ.

 



ඇයි මෙහෙම දෙයක්  කළේ ?

පරිසරයට අසීමිතව තියෙන ආදරය තමා , මෙහෙම දෙයක් වෙන්න හේතු උනේ. තිරසාර සංවර්ධනය දියත් කිරීමේ එක් ප්‍රවේශයක් විදියට තමයි මේ  නිර්මාණය එළි දකින්නෙ. තවත් විදියකට කිව්වොත් ප්ලාස්ටික් බෝතල් වෙනුවට ආදේශකයක් කියන්න පුළුවන්. ප්ලාස්ටික්  කියන්නෙ අහිතකර බව දැන දැනම මිනිස්සු පාවිච්චි කරන දෙයක්. ඇත්තටම මිනිස්සුන්ට පාවිච්චි කරන්න වෙලා තියෙන දෙයක්.  වතුර, දියරයක් විදියට තියෙද්දි, අපිට සිද්ධ වෙනවා වතුර එහා මෙහා ගෙනයාමේ ක්‍රමයක් විදියට යම් ඇසුරුමක් පාවිච්චි කරන්න.  ලෝකෙ  වැඩි ප්‍රතිශතයක් ඒ සඳහා භාවිත කරන්නෙ ප්ලාස්ටික් කියන එක අරුමක් නෙවේ. ඒක එහෙම වෙන්නෙ වතුර , ද්‍රාවණයක් විදියට තියෙන නිසයි. හැබැයි ඒක, ඝනයක් වුණොත්?  අන්න ඒ ප්‍රශ්නයට පිළිතුරක් විදියට තමයි,  මේ ගොල්ලො වතුරට මෙහෙම දෙයක් කරන හිතුවෙ.

කොහොමද මෙහෙම කළේ ?

ඇත්තටම කිව්වොත් මේ වතුර බුබුල, මුහුදු පැළෑටිවලින් නිර්මාණය කරන ලද්දක්. හපලා කන්න හැකි, රස රහිත, දිරාපත් වෙන පටලයකින් මේ ඝන වතුර ආවරණය කරලා  තියෙනවා. මේක විනිවිද පෙනෙන වීදුරු බෝලයක හැඩය ගන්නවා. 

මේ වතුර බුබුලක් ආහාරයට ගත්තට පස්සෙ පටලය ඉතුරු වෙනවා. මේකෙ නිර්මාතෲන් කියන්නෙ, ප්ලාස්ටික් දිරාපත් වීමට සාපේක්ෂව බැලුවොත් දවස් හයකින් ඒ පටලය දිරාපත් වෙනවා කියලයි. ප්ලාස්ටික් දිරාපත් වෙන්න නම් සාමාන්‍යයෙන් අවුරුදු 400ක් ගත වෙනවා.


වතුර බුබුල සාර්ථකද ?

වැඩේ පළවෙනිවතාවට එළියට එන්නෙ 2013 දි. නවෝත්පාදන සඳහා ජාත්‍යන්තර වශයෙන් පවත්වන ' ලෙක්සස් ඩිසයින්  2014 ' සඳහා ඔවුන් මේ නිෂ්පාදනය හඳුන්වලා දෙනවා.  මේක පොදු ජන අවකාශයක අත් හදා බලන්නත් මොවුන් සූදානම් වෙනවා. ඒ අනුව, 2018 වසරේදි ලන්ඩන් නුවර පැවැත්වෙන මැරතන් ක්‍රීඩා ඉසව්වක ක්‍රීඩකයන්ට අතරමඟදී ලබා දෙන වතුර බෝතල් වෙනුවට මේ ජල බුබුලු පාවිච්චි කරන්න 'ඕහෝ' කණ්ඩායම උත්සහා ගන්නවා. වතුරට විතරක් නෙවේ නැවුම් පළතුරු යුෂ සඳහා පවා ඔවුන් මේ ක්‍රමය යොදා එතනදි යොදා ගෙන තිබෙනවා.

ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක වුණා. එහෙම කියන්නෙ, ස්කිපිං රොක්ස් ආයතනයේ මූල්‍ය නිලධාරිනිය - ලයිස් හොන්සිගර්. එදා තරගයේ දී සාමාන්‍යය මිනිස්සු පවා එක කෝප්පයකට වඩා  ඒ ජලය කෑමට ගත් බව ඇය කියනවා.

ඒ වගේම,   ලන්ඩනයේ පැවැත් වූ ඒ මැරතන් තරගයේ දී සාමාන්‍යයෙන් වතුර බෝතල් ලක්ෂ 7ක් පමණ පරිභෝජනය කෙරෙන බව සඳහන් වෙනවා. එදා තරගය තුළ 'ඕහෝ' නිෂ්පාදනය ඒ ප්‍රමාණය හා සමානවම ආදේශ කිරීමට හැකි වූ බව සනාථ වීම සුබදායක සලකුණක්.

මේ වෙද්දි ඔවුන් තමන්ගෙ විද්‍යාගාරයේ 'ඕහෝ' නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රයක් නිපදවා තිබෙනවා. ඒකෙන්, මිනිත්තු පහක් ඇතුළත 'ඕහෝ' සියයක් පමණ නිෂ්පාදනය කළ හැකි බවත් කියනවා.  මේ විදියට ඇත්තටම වතුර විතරක් නෙවෙයි, සෝස් වර්ග, වයින්, විවිධ ආලේපන දියර පවා  තියන්න පුළුවන් කියලා ස්කිපිං ආයතනය සඳහන් කරනවා.

කොහොමද මේක හදන්නෙ ?

ප්‍රධාන අමුද්‍රව්‍ය මුහුදු පැළෑටියක්. ඒ දුඹුරු පාට ඇල්ගි විශේෂයක්.  ඒ ඇල්ගි විශේෂය නිසාම මේවට කොම්පෝස්ට් පොහොර බවට පරිවර්තනය වීමේ හැකියාවක් තියෙනවා. 
ඒ වගේම මේ කියන  ඇල්ගී ශාක විශේෂය වේගයෙන් වර්ධනය වන බවත් කියැවෙනවා.
'ඕහෝ' සෑදීම සඳහා මේ ශාක විශේෂය යොදා ගන්න ප්‍රධානම හේතු වෙන්නෙ මේවා.


පළවෙනි පියවර විදියට, සෝඩියම් ඇල්ජිනේට් ද්‍රාවණය හදාගන්නවා. සෝඩියම් ග්‍රෑමයක්  සමඟ ඇල්ජිනේට් ග්‍රෑමයක්  වතුර භාජනයකට දාලා මිශ්‍ර කරනවා. එතනදි අපිට පුළුවන් ආහාර වර්ණකයකුත් එක්කහු කර ගන්න. කොහොම හරි වායු බුබුළු නැති වෙනකල්ම විනාඩි 15ක් විතර මිශ්‍ර කර ගන්න ඕනෑ.

ඊට පස්සෙ ඒ ද්‍රාවණය ටිකක් වෙලා වහලා තියනවා. තවත් වතුර කෝප්ප හතරක් සහිත භාජනයකට කැල්සියම් ලැක්ටේට් ග්‍රෑම් පහක් දාලා හොඳින් දිය කර ගන්නවා.

තෙවන පියවරේදී, සෝඩියම් ඇල්ජිනේට් ද්‍රාවණයෙන් මේස හැන්දක් වගේ අරගෙන , කැල්සියම් ලැක්ටේට් ද්‍රාවණයට ඉතා සෙමින් වක්කර ගන්න ඕනෑ. බුබුළු කැඩී නොයෙන විදියට ඉතාම පරිස්සමෙන් කළ යුතු කාර්‍යයක්, එය. මේ විදියට හදාගන්න ජල බුබුල , මුහුදු පැළාටි විශේෂයෙන් හදන පටලයක දාලා තමයි පාවිච්චියට ගන්නෙ. 

'සංවර්ධනය' , වචනයේ පරිසමාප්තයෙන්ම වෙනවාය කියලා හදවතින්ම විශ්වාස කළ හැකි සතුටු විය හැකි ක්‍රියාවලියක් මේක. කන්න කෑම නැත්තත් කන්න වතුර  තියෙනවාය කියලා සැනසිය හැකි කාලයක් ඉක්මනින් උදා විය යුතුයි. ප්ලාස්ටික් බෝතල්වලට බායි කියලා, වතුර බුබුලකට හායි කියන්න පුළුවන් වුනොත් ඒක ලෝකයක් වශයෙන් ලබාගන්න ජයග්‍රහණය ක්.

|සසංකා විතානගේ |