ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් පරිසරයට පදක්කමක්

ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් පරිසරයට පදක්කමක්

මෙවර පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල කතාබහට ලක්වන්නේ ක්‍රීඩාව නිසාම පමණක් නොවේ.
ජපානය මෙම උළෙල සංවිධාන කටයුතු සිදු කර තිබෙන ආකාරයත්, කොරෝනා තත්ත්වයත් නිසා වෙනත් ඔලිම්පික් උත්සව වලට සාපේක්ෂව මෙවර විශේෂතා රැසක් දැකගත හැකිවිය.

ඒ අතර මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සියලු පදක්කම් ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය වලින් සකස් කර තිබිම ද විශේෂත්වයකි.

මේ සඳහා භාවිතයෙන් ඉවත් කරන ජංගම දුරකථන,ලැප් ටොප් වැනි ඉලෙක්ට්‍රොනික උපාංග යොදාගෙන ඇති අතර ඊට මිලියන හයක් පමණ ජංගම දුරකථන භාවිත කර ඇති බව වාර්තා වේ.මෙම ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදනයට භාවිත වී ඇති රත්‍රන්, රිදී යනාදී වටිනා ලෝහ අමුද්‍රව්‍ය කොටස් ලබාගෙන ඒවා පදක්කම් සඳහා භාවිත කර තිබේ.
මීට අදාළ ව්‍යාපෘතිය ජපානය විසින් ආරම්භ කරන ලද්දේ 2017 වසරේදියි.එම ව්‍යාපෘතිය "Tokyo Medal Project” නමින් හඳුන්වා තිබේ.ඊට ජපන් ජාතිකයන් බොහෝ දෙනෙක් තමන් සතු භාවිතයෙන් ඉවත් කරන ඉලෙක්ට්‍රොනික උපකරණ ලබාදෙමින් සහයෝගය දක්වා තිබේ.එමගින් රත්‍රන් පවුම් 70 ක්,රිදී පවුම් 7 700 ක් සහ ලෝකඩ පවුම් 4 850 ක් ලබාගැනීමට හැකිව තිබේ.කිලෝ ග්රෑම් 32 කට ආසන්න රත්‍රන් වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2 කට ආසන්න වේ.



ඔලිම්පික් ඉතිහාසය තුළ මෙලෙස සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය භාවිතයෙන් පදක්කම් නිර්මාණය කිරීමක් සිදු වන්නේ ප්‍රථම වතාවටයි.මින් පෙර 2016 වසරේ Rio de Janeiro නුවර පැවති ඔලිම්පික් උළෙලේදී රන් හා රිදී පදක්කම් සඳහා භාවිත කෙරෙන රිදී ලෝහයෙන් 30% පමණ ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය වලින් ලබා ගන්නා ලදි.

ක්‍රීඩාව සේම ලෝකය ද රැක ගැන්මට ටෝකියෝ සහ රියෝ ඔලිම්පික් ලබාදුන් එම ආදර්ශය කියවා බැලීම නොවටින්නේ ද?