කාන්තා දිනයේ පිය සටහන්

කාන්තා දිනයේ පිය සටහන්

මේ වන විට මාර්තු 08 වනදාට ලොව පුරා සැමරෙන කාන්තා දිනය එම තත්ත්වයට වර්ධනය වූයේ ඉතිහාසය පුරා සිදු කරන ලද අරගල රැසක ප්‍රතිඵලයක් ලෙසය. කම්කරු ව්‍යාපාරය හරහා වැඩ කරන කාන්තාවන්ගේ මූලිකත්වයෙන් දිනාගත් එම දිනය හා ඒ හා සබැඳි අයිතීන් කිසිසේත්ම මල් ඇතිරූ මාවතකින් ලබාගත් ජයග්‍රහණ නොවේ. අදටත් තවමත් කාන්තාව ගමන් කරමින් සිටින්නේද එම මාවත ඔස්සේමය. 

 

 
කාන්තා දින ඉතිහාසයේ පිය සටහන් මෙසේයි.
 
 
 
1908 - කාන්තාවන් 15,000ක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමන. 
 
1909 - අමෙරිකාව ප්‍රථම ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කිරීම. 1909 පෙබරවාරි 28 අමෙරිකානු සමාජවාදී පක්ෂය මූලිකත්වයෙන් සමරන ලද මෙම දිනය 1913 දක්වාම එරට සමරනු ලැබුවේ පෙබරවාරි මස යෙදෙන අවසන් ඉරිදා දිනයටයි. 
 
1910 - මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින්  විසිනි. ඒ,  1910දී කෝපන්හේගන්හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී යෝජනාවක් ලෙසය . ඇය ජර්මනියේ කාන්තා කාර්යාලයේ නායකවරිය වූ අතර මෙම සමුළුවට සහභාගි වූ  රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු අතරින් ඇයගේ යෝජනාව ඒකමතිකව ස්ථිර විය. 
 
Clara Zetkin - ක්ලාරා සෙට්කින්
 
1911 - ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල කාන්තා දිනය සැමරීම.  එවකට කාන්තා දිනය සමරන ලද්දේ මාර්තු 19 වනදායි. 
 
1917- 'bread and peace'යන තේමාව යටතේ රුසියානු කාන්තාවන් දින 04ක වැඩ වර්ජනයක් පැවැත්වීම. 
 
එවකට ජුලියානු කැලැන්ඩරයේ පෙබරවාරි 23 පසුව ජෝජියානු කැලැන්ඩරයට පරිවර්තනය කිරීමෙන් අද භාවිත කරන මාර්තු 08 වනදාට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදේ. 
 
1975 - එක්සත් ජාතීන් විසින් කාන්තා දිනය සැමරීමත් ඊට නිල පිළිගැනීමක් ලැබීම. 
 
1996 - එක්සත් ජාතීන් විසින් ප්‍රථම කාන්තා දින තේමාව ප්‍රකාශයට පත් කිරීම.
"අතීතය සමරමින්, අනාගතය සැලසුම් කරමින් සිටිමු," යන්න එම තේමාව විය. 
 
2011 - කාන්තා දිනයේ සියවස් සැමරුම. 
 
මේ වසරේ සමරනු ලබන්නේ 110 වන ජාත්‍යන්තර කාන්තා දිනයයි. 
 
2021 මෙවර කාන්තා දින තේමාව වන්නේ 
“Women in leadership: Achieving an equal future in a COVID-19 world,”  යන්නය.
 
 
සටහන-මාලිකා ජයනායක