අධ්‍යාපනය ; ප්‍රහාරයන් හමුවේ හෙට දවස !

අධ්‍යාපනය ; ප්‍රහාරයන් හමුවේ හෙට දවස  !

එක්සත් ජාතීන්ගේ සංවිධානය සැප්තැම්බර් නවය විශේෂීකරණය කරල ලේබලයක් දෙනවා. ඔවුන්ට අනුව එදා තමයි ' ප්‍රහාරයන්ගෙන් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමේ ජාත්‍යන්තර දිනය'. ඒ දිනය වලංගු වෙන්නෙ මේ අවුරුද්දෙ ඉදන් ඉදිරියට. ඒ කියන්නෙ මීට කලින් එහෙම දිනයක් නම් කරල තිබුණෙ නෑ කියන එක.

මේක හොඳ ද නරකද කියන දෙයට වඩා යමක් මේ කතාව ඇතුළෙ තියෙනවා. මේ වෙද්දි තැනින් තැන මතු වෙන යුද්ධවලින් පසු තත්ත්වය ඇතුළෙ 'ළමයින් සහ ඔවුන්ගේ අධ්‍යාපනය ' ඇණ හිටීම අමුතු දෙයක් නෙවෙයි. පාසල් අවි ගබඩාගාර වෙලා, ළමයි යුධ ගොදුරු වෙලා, පාඩම් පොත් ආයුධ වෙලා. ඒ නිසාම ජාත්‍යන්තරය ඉතාම සද්භාවයෙන් තීරණයක් ගන්නවා එහෙම ළමයින්ව සහ ඔවුන්ගෙ අධ්‍යාපනය රකින්න ඕනෙය කියල.

ඉතිං මේ අවුරුද්දෙ ඉදන් ඉස්සරහට ඒගොල්ලන් ඒකට වැඩපිළිවෙළක් යොදයි. ඒත් ජාත්‍යන්තර තවමත් තීරණයක් අරගෙන නෑ යුද්ධ නවත්තන්න කළ යුතු දේ මොකද්ද කියලා. ඒ ගොල්ලො මින් ඉදිරියට යුද්ධ බලාපොරොත්තුව වෙනවා. ඒවයෙ පැවැත්ම බලාපොරොත්තුව වෙනවා. ඒ අනුව යුද්ධය කියන්නෙ සදාකාලිකයක්. ඉර නඟිනවා ඉර බහිනව වගේ ඉතා සාමාන්‍ය සත්තාවක්. ඉර නඟින කොට නැගිටින්න අපි ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. ඒ වගේ තමයි යුද්ධයත්. ඒකෙන් දරුවො අනාථ වෙන එක සාමාන්‍යයයි. ඒකට අපි ලෑස්ති වෙන්නෝනෙ. ඒ නිසා මේ අවුරුද්දෙ ඉදලා ඒගොල්ලොත් ඒකට ලෑස්තියි. අපිත් ලෑස්ති වෙමු.

ඒ වගේම මීට අවුරුදු ගානකට කලින් ඊයෙ දවසේ ඉපදුණු ඇමරිකානු සමාජ විද්‍යාඥයෙක් ඉන්නවා. පෝල් ගුඩ්මාන්. එයා මෙහෙම කියනව.

" ඔබ කතා කරන ඔබ සිහින දකින විප්ලවය සාර්ථක වී ඇතැයි සිතමු. ඔබේ පැත්ත දිනුවා යැයි සිතමු. ඔබට අවශ්‍ය ආකාරයේ සමාජයක් ඔබට ලැබී ඇතැයි සිතමු. ඉතිං ඔබට ජීවත් වන්නට අවශ්‍ය වන්නේ කෙසේද? පෞද්ගලිකව ඔබ කැමති ආකාරයට ද? ඉතිං දැන් ඒ විදියට ජීවත් වෙන්න පටන් ගන්න."

ඔව් , අපි එහෙම හිතාගෙන මේ විදියට ජීවත් වෙන්න පටන් ගමු !

| සසංකා විතානගේ |