ඉගැන්වීමේ අනුරාගය සහ ප්‍රහර්ෂය

ඉගැන්වීමේ අනුරාගය සහ ප්‍රහර්ෂය
තවත් එක අධ්‍යයන වර්ෂයක් අවසන් උනා. මෙවර අවසන් වසර ශිෂ්‍ය කණ්ඩායම වසර කිහිපයක් බුද්ධිමය වශයෙන් වැඩුණ ආකාරය දැකීම ප්‍රීතියක්. විෂය කරුණු දෙස විවිධ න්‍යායික ප්‍රවේශවලින් බලන්නට, විචාරාත්මකව කල්පනා කරන්නට තරුණ තරුණියන් ක්‍රමයෙන් උගන්නා ආකාරය දකින එක සතුටක්. මගේ ශිෂ්‍ය පිරිස අතරින් සියයට අනූනමයක් විතරම ශිෂ්‍යාවන්. ඒ අතරින් ඇතැම් අය තුළ විශාල බුද්ධිමය පරිවර්තනයක් වනු දැකීම සතුටක්. සමහරු තුළ එවන් පරිවර්තනයක් නොවුණත් ඔවුන් එහිලා ආරම්භයක් ගන්නා බව පේනවා.
පසුගිය වසරක එක ශිෂ්‍යාවක් ඉතා දක්ෂ විදියට කෙටිකතා වගෙයක් පරිවර්තනය කළා. සැලකිය යුතු මට්මේ ඉංග්‍රීසි දැනුමක් ඇති ඇය ගැන මට පුදුම හිතුණා. ඉංග්‍රීසි කියවා හොඳින් අවබෝධ කරගන්නට බැරි සරසවි ඇදුරන් පවා ඉන්න පසුබිමෙක ඇය පුදුමයක්. මම ඒ ගැන ඇහුවාම ඇය මෙහෙම කිව්වා: “මගෙ තාත්තට ලියන්න කියවන්න බෑ.”
නිදහස් අධ්‍යාපනයේ තවත් එක විස්මකර්මයක් සේ මට ඇය පෙනුණා. අද අපි සමීප යාළුවෝ. ඇයට රැකියාවක් සොයා දෙන්නට මම කිහිපදෙනෙකුට කතා කළත් තවම හරි ගියේ නෑ. මගේ බිරිඳ ඇය උගන්වන ජාත්‍යන්තර පාසැලේ තනතුරක් සොයා දුන්නත් අර ශිෂ්‍යාව ඉන්නේ නුවරින් දුරබැහැර.
පසුගිය සතියේ තවත් ශිෂ්‍යාවක් මා හමු වී කියූ කතාවක කොටසක් මෙසේයි:.
“කෝච්චියෙ රටකජු විකුණලා මගේ තාත්තා මට ඉගැන්නුවේ. ඒත් එයා මැරුණා.” තවමත් සරසවි ජීවිතය අවසන් කර නොමැති ඇය ඉතා බුද්ධිමත් තරුණියක්.
මට ඒ තාත්තා ගැන පුදුම ගෞරවයක් ඇති වුණා. ඔහු සිය දියණිය ගැන ආඩම්බරයෙන් පසු වූ බව දියණිය කිව්වා.
ඉංග්‍රීිසිවලට ඇති බය ගැනත් ඇය කිව්වා. මේ බය ගැන මගේ ශිෂ්‍යශිෂ්‍යාවන් මට නිතර කියනවා. රැග්කාරයොත් ඉංග්‍රීසිවලට බයකුත් විරෝධයකුත් ඇති කරන බව කියවෙනවා.
පසුගිය වසරේ මම අවසන් වසර ශිෂ්‍යශිෂ්‍යාවන් අතර කැමති අය වෙනුවෙන් සතියකට පැය දෙකක අමතර ඉංග්‍රීසි පන්තියක් කළා. මේවා මගේ නිල රාජකාරියෙන් පිට වැඩ. අරමුණ වුණේ ඉංග්‍රීසි ගැන බොරු බය නැතිකර ඔවුන්ගේ ආත්මශක්තිය ඇති කිරීම. දෙවන භාෂා ඉගැන්වීම ගැන මට චිකාගෝ සහ කෝර්නෙල් විශ්වවිද්‍යාලවලින් ලැබුණු පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුවෙන් වැඩක් ගන්නත් එක්කයි මම පන්තිය පටන්ගත්තෙ.
බොහෝ දුරබැහැර හම්බන්තොට, දෙනියාය, කුරුණෑගල, මහියංගනය ආදී පලාත්වලින් ආ ශිෂ්‍යාවන් මාස කිහිපයක් ඇතුළත බය නැතිව ඉංග්‍රීසි කතා කරන්න පටන්ගත්තා. පන්තියට ආ සියලු දෙනාම ශිෂ්‍යාවන්. ඒ අයට තව බොහෝ දුරට ඉංග්‍රීසි ඉගෙනගන්න තියෙනවා. ඒත් ඒ අය දැනටමත් බොහෝ දුරට ඉංග්‍රීසි දන්න බව පෙන්නා දී බය නැති කිරීම තමයි මගේ අරමුණ වුණේ. ඇත්තටම ඔවුන් හිතනවාට වඩා ඔවුන් ඉංග්‍රීසි දන්නවා.
මෙවැනි වැඩ කරනකොට එක එක කතා කියන, අපහාස උපහාස කරන උදවිය කැම්පස්වල ඉන්නවා. ඒත් අවංක ගුරුවරුන්ට ගැඹුරු ලෙස ආදරය කරන, ගෞරව කරන තරුණ පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉන් පෙනෙන්නේ තමන්ගේ බුද්ධිමය, ඥානමය වර්ධනය ගැන අපේ රටේ බොහෝ දෙනෙකු තුළ තියෙන අනුරාගවත් ආසාව.
මෙවැනි තරුණ තරුණියන්ට ආධාර කළ හැකි වැඩපිළිවෙළක් හදන්න මම වරක් ඇමරිකාවේ වසන මා මිතුරු පාලිත දිසානායක සමගත් කතා කළා. අපිට බැරිද මෙවැනි අයගේ කුසලතා වර්ධනය කරන්න, වැඩමුළු, පුහුණු වැඩසටහන්, භාෂා පාඨමාලා, ආරාධිත දේශන ආදිය සංවිධානය කරන්න. මා කලින් කී ශිෂ්‍යශිෂ්‍යාවන් වැනි අයගේ ඉංග්‍රීසි භීතිකාව නැති කරන්න නුවර අවට ද්විභාෂික මිතුරන්නට දායක විය හැකි ක්‍රම මොනවාද?
| ලියනගේ අමරකීර්ති | ෆේස්බුක් සටහනකි |