බෝදිලිමා අඬන්නේ බෝගන්දන හෙලේ..! හුරුබුහුටි අහිංසකයා ගැන මටසිළිටි සටහනක් !!

බෝදිලිමා අඬන්නේ බෝගන්දන හෙලේ..! හුරුබුහුටි අහිංසකයා ගැන මටසිළිටි සටහනක් !!
පාරිසරික සංවේදීකම අතින් ලංකාවාසීන් මොන තරම් පසුගාමී ප්‍රජාවක්ද කියන එක තේරෙන්න, සතුන් සම්බන්ධව ගෙතී තියෙන සිය ගණනක් ජනප්‍රවාද කියවන්න, නැතිනම් අහන්න ඕන. නූගත්කමත්, නිරීක්ෂණ සහ පර්යේෂණ වලට දක්වන සහජ කම්මැලිකමත් නිසා, කිසිම වග විභාගයක් නැතුව දුප්පත් අසරණ වනජීවීන් තළා පෙලන්න පෙළඹෙන මිනිස්සු, නූතන යැයි කියන සමාජ මට්ටම් වලත් ඕනෑ තරම් දකින්න පුලුවනි.
ජනප්‍රවාද කියන්නෙ පැරණි ජන ජීවිතය ගැන දළ අදහසක්, අවබෝධයක් ගන්න යොදාගන්න පුලුවන් සංස්කෘතික මෙවලමක් ලෙස ඇරෙන්න, දැනුම කියන අවශ්‍යතාවය තත්පර කීපයක් ඇතුළත විසඳාගන්න හැකි නවීන ලෝකයක අධ්‍යයන මූලාශ්‍රයක් නොවිය යුතුයි කියන සරල තර්කය බොහෝ දෙනෙක් වටහා නොගන්න කාරණයක්.
රජරට නුවර කලාවියේත්, වයඹ සත් කෝරළයේත් ග්‍රාමීය මිනිස් පරම්පරා ගණනක් භීතියෙන් උමතු කළ බෝදිලිමා නමැති මිථ්‍යා විශ්වාසය වටා ගෙතුණු, හද කම්පා කරන, ගුප්ත, භීම රසය උපදින ගීයක්, රත්න ශ්‍රී විජේසිංහ විසින් රචනා කර, ගුණදාස කපුගේ විසින් ගායනා කර තියෙනව. සමස්ත පිරිමි සංහතිය කෙරෙහිම නිමා නොවෙන වෛරයකින් දැවෙන බවට විශ්වාස කෙරෙන බෝදිලි අවතාරය, දුර ඈත කැලෑ ගම්වල, කිසිදු වෛද්‍ය පිළිසරණක් නැති ගැබිණි මව්වරු කී දාහකට මරණීය භීතිය උපද්දන්න ඇතිද.
බෝදිලිමා අඬන්නේ
බෝගන්දන හෙලේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ...
විලි රෑනේ දුක දරන්න හුරු නැති නංගියේ
හූල්ලලා රෑ හුලඟට ඇඟ හී ගඩු පිපේ
බෝවෙල දෙවියෝ බලන්න වැදුම් ගෙදර රඟේ...
කොකුන්නෑව ගම ඉහළට විලාප හඬ ඇසේ
සඳුන් කුමාරිට පඬුරක් තියන්න නංගියේ
බෝදිලිමෝ නාඬ ඉන්න සංසාරෙට බයේ...

bodilima01
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන හදිසියේ ලියවෙන ව්‍යාජ පරිසර ප්‍රතිපත්ති හිස් වචන අහුරු අතරේ, හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යාන නිලධාරී සොහොයුරන් දායක වුනු වටිනා කටයුත්තක් දැකගන්න ලැබුණා. අම්බලන්තොට, දෙහිගහලන්ද විද්‍යාලයේ කුඩා දරුවන් මේ විස්මිත දෑසින් බලා හිඳින බෝදිලිමා - Indian chameleon / Chamaeleo zeylanicus ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජීවත් වෙන, වඳවීමේ දැඩි තර්ජනයට ලක්ව හිඳින සිඟිති, හුරුබුහුටි අහිංසකයෙක්.
දුටු පමණින්ම මගේ අප්‍රමාණ ආදරය දිනාගත් මේ මනස්කාන්ත සේයාරුව උපුටා ගත්තේ, රිදියගම සෆාරි උද්‍යානයේ සංරක්ෂන සහ අධ්‍යාපන නිලධාරී තුෂාර දමිත් සහෝදරයාගේ සටහනකින්.
| හිරාන් ඩි සේරම් ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී |