ලංකා ඉතිහාස සටහන් - 08  1870 රුවන්වැලිසෑ ප්‍රතිසංස්කරණ කටයුතු සහ තවත් කතා 

ලංකා ඉතිහාස සටහන් - 08   1870 රුවන්වැලිසෑ ප්‍රතිසංස්කරණ කටයුතු සහ තවත් කතා 
 
 
"Labels such as Dark Ages or Renaissance, which are affixed to whole periods of European history, while they are convenient for the purpose of historiographical exposition, may tell only part of the truth about those segments of the past that they purport to characterize. The more we learn about the period following the decline of Rome, the less dark and uncultured it appears; the more we inquire into what was reborn in the fourteenth and fifteenth centuries, the more we become aware of vital continuities with the past."
(Nicholas Mann – The Cambridge Companion to Renaissance Humanism කෘතියෙන් උපුටා ගැණිනි. පිටුව 1)
 
පරිවර්තනය: 
 
යුරෝපා ඉතිහාසයේ සමස්ත යුගයකට ම අලවා ඇති අඳුරු යුගය, පුනරුදය වැනි ලේබල, ඉතිහාසකරණමය විදහා දැක්වීම් සඳහා ප්‍රයෝජනවත් වන අතර, එකී ලේබල මගින් නිරූපණය කිරීමට අරමුණු කෙරෙන අතීතයේ කාල පරිච්ඡේදය ගැන පවසන්නේ සත්‍යයෙන් කොටසක් පමණක් විය හැකි ය. රෝමය බිඳවැටීමෙන් පසු කාලපරිච්ඡේදය ගැන අප වැඩි වැඩියෙන් තොරතුරු දැනගන්නා ප්‍රමාණයට එය අඩුවෙන් අඳුරු හා අසංස්කෘතික බව පෙනී යනු ඇත. එසේම දාහතර සහ පහළොස්වන ශතවර්ෂවල යළි ඉපදුනු දෙය පිළිබඳව වඩ වඩා සොයාබලන විට එයට අතීතය සමඟ ඇති අඛණ්ඩත්වය පිළිබඳව වැඩි වැඩියෙන් අප දැනුවත් වනු ඇත.
 
******
 
අප විසින් මීට පෙර ලියන ලද කොටසට ප්‍රතිචාර වශයෙන් අනුර මනතුංග ඉදිරිපත් කර ඇති තොරතුරු ඉතා අගනා ඒවා ය. මා එම කොටස මගින් උත්සාහ කරනු ලැබුවේ 19 වැනි ශතවර්ෂයේ ලංකාවේ ජනයාගේ ඓතිහාසික විඥානයේ ඇති වූ වැදගත් ඛණ්ඩනයක් අවධාරණය කිරීමටයි. ඒ සඳහා මා වැඩි පුර අවධාරණය කලේ එකී ඛණ්ඩනයට අදාළ තොරතුරු ය. ඊට ප්‍රතිපක්ෂව අඛණ්ඩත්වයන් කෙරේ අපගේ අවධානය යොමු කරවන වැදගත් තොරතුරු රැසක් වෙත අනුර මනතුංග අපගේ අවධානය යොමු කරවයි. ඒ තොරතුරු වලින් කියැවෙන්නේ අනුරාධපුරය පිළිබඳව 19වන ශතවර්ෂයේ දෙවන භාගයේදී යටත්විජිත ආණ්ඩුවේ මැදිහත්වීම් වලින් පසුව ඉතිහාස විඥානයේ ඇතිවිනැයි මා යෝජනා කරන වෙනස්කම් වලට පෙර පවා අනුරාධපුරය සම්බන්ධ විඥානයක් බෞද්ධ සමාජය තුළ පැවැති බවයි. විශේෂයෙන්ම අනුරාධපුරයේ නටඹුන් ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා ඇතැම් පාර්ශව අතර උනන්දුවක් ජනිත කිරීමට තරම් මේ විඥානය ශක්තිමත් එකක් බවයි. මෙය අපගේ සාකච්ඡාවට භාජනය විය යුත්තකි. ඊට පෙර අනුර මනතුංග ඉදිරිපත් කරන තොරතුරු මෙහි දී උපුටා දැක්වීම උචිත ය.
 
“මේ සටහනින් ඔබ අනුරාධපුරය සිංහල බෞද්ධ විඥානය තුළ පැළපදියන් වීමට, මහාවංශ අප්හැම් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමත් ග්‍රෙගරි ආණ්ඩුකාරයාගේ කාලයේදී සිංහලට පරිවර්තනය කිරිමත් හේතු වුණ බව කියනවා. මීට පෙර තවත් කීපදෙනෙක්ම මේ අදහස ඉදිරිපත් කොට තිබෙනවා. එහෙත් මෙහිදීද ඇතැම් මුලාශ්‍ර මඟ හැරීම නිසා මෙවැනි වැරදි අදහසක් ඇති වුන බවයි මට හිතෙන්නේ.
 
අනුරාධපුරය කිසිම දවසක සිංහල බෞද්ධ මනසින් ගිලිහිලා ගියේ නෑ. අප්හැම්ගේ මහාවංශ ඉංග්‍රිසියට පරිවර්තනය උනේ 1830 ගණන්වල. 1818දින් පිළිමතලාවේ නිලමේ සහ නුවරවැව මුදියාන්සේ සිංහලේ රාජ්‍යට දොරේසාමි වෙනුවට තවත් රජකුමාරයෙක් තෝරාගත්තේ අනුරාධපුරයේදියි. ඒ වගේම පිලිමතලාව නිලමේ එළාර සොහොනට ගරු කිරීම සදහා දෝළාවෙන් බැස ගමන් කළ බව ඉංග්‍රිසින්ම ලියා තිබෙනවා. මේවා කළේ අපහම්ගේ ඉංග්‍රිසි පරිවර්තනය කියවලා නෙවෙයි කියන එක නිර්මාල්ට තේරුම් ගන්ට පුලුවන් වෙයි.
 
1828 ඉපලෝගම අනුනායක හාමුදුරුවෝ ජේතවනාරාමය සංරක්ෂණය කරන්නට උත්සහ කළා. 1840දින් පයිලිගම ගුණරතන හිමි ඇතුලු පිරිසක් ථුපාරාමය ප්‍රතිසංස්කරණය කරන්නට ගත්තා. 1852දින් රුවන්වැලිසැයේ කටයුතු පටන් ගත්තා. හැබැයි එය අසාර්තක උනා.1870 ගණන්වල නාරංවිට සුමනසාර හාමුදුරුවෝ ඒ කටයුතු ආපහු පටන් ගත්තා. මේවා කිසිවක් මහාවංශය ඉංග්‍රිසියට හෝ සිංහලට පරිවර්තනය වූ නිසාවත් 1868 සිට ඉංග්‍රිසි ආණ්ඩුව පුරාවිද්‍යා කටයුතු පටන්ගත් නිසාවත් උන දේවල් නෙවෙයි. ඇත්තෙන්ම අනුරාධපුර පුරාවිද්‍යාවයි බෞද්ධ පුණර්ජීවනයක් වර්ධනය උනේ දෙයාකාරයකට. ඒදෙක අතර යම් බලපෑමක් පසුකාලීනව ඇති උනත් වැඩිපුරම වූනේ එකිනෙක අතර ගැටුමක්.”
 
 
සමාජයක සංස්කෘතික විඥානයක් කිසිසේත්ම මුළුමනින් ම අහෝසි වී යන්නේ නැත. සංස්කෘතික විඥානයක මට්ටම ඉහළ පහළ යාමට පුළුවන. එසේ ම ඒවායේ තීරණාත්මක ඛණ්ඩන සිදු වීමට ද පුළුවන. නමුත් සංස්කෘතික විඥානයක් මුළුමනින් ම අහෝසි වීමක් සිදු වන්නේ නැත. 19 වැනි ශතවර්ෂයේ සිදුවන්නේ සංස්කෘතික විඥානයේ තීරණාත්මක ඛණ්ඩනයකි. එය අපට සුසමාදර්ශී තැන් මාරු නමින් හඳුන්වන ආකාරයේ ඛණ්ඩනයක් ලෙස හැඳින්වීමට පුළුවන. එසේ වුව ද ඒ ඛණ්ඩනය තුළ සියලු අඛණ්ඩත්වයන් අහෝසි වන්නේ නැත. 
 
මේ කාරණය අපි මඳක් විස්තරාත්මකව තේරුම් ගැනීමට උත්සාහ කරමු.
 
අනුර මනතුංග ඉහත දක්වන අවස්ථා මගින් නියොජනය වන සංස්කෘතික සංසිද්ධිය කුමක් ද ? මේ භික්ෂූන්ගේ ක්‍රියාකාරිත්වය අප තේරුම් ගන්නේ කෙසේ ද? 18 වැනි ශතවර්ෂයේ මැදදී කන්දඋඩරට රාජධානියට අයත් ප්‍රදේශවල බෞද්ධ කටයුතුවල පුනර්ජීවනයක් ඇති විය. ඒ සඳහා මුල් වූයේ වැලිවිට සරණංකර හිමියන් ය. එවකට උඩරට රජු වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඊට අනුග්‍රහ දැක්වී ය. මේ ව්‍යාපාරය මතුවී ව්‍යාප්ත වීම අපට උඩරට රාජධානියේ වර්ධනයේ ඉතිහාසය ඇසුරෙන් තේරුම් ගැනීමට පුළුවන. 1680 ගණන්වලදී පෘතුගීසීන් හා ලන්දේසීන් සමඟ පැවැති යුද්ධ දීර්ඝ යුධ සමය අවසන් වූ පසුව උඩරට රාජධානියේ ස්ථාවර කාලයක් ඇති වෙයි. ඒ සාමකාමී කාලය තුළ උඩරට සමාජය තුළ සාපේක්ෂ ස්ථාවරභාවයක් ඇතිවන අතර සමාජ සංස්කෘතික වර්ධනයක් සඳහා පසුබිමක් නිර්මාණය වෙයි. සරණංකර හිමිගේ මූලිකත්වයෙන් ඇතිවන ව්‍යාපාරය මේ තත්වයේ ප්‍රකාශ වීමක් ලෙස අපට හඳුනාග හැකි ය.
 
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය යටතේ බෞද්ධ විහාර ඉදිකිරීම හා පැවැති ඒවා ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ විශාල උනන්දුවක් දක්නට ලැබේ. මෙම ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස දඹුළු විහාරය වැනි ප්‍රකට හා පැරණි විහාර ප්‍රතිසංස්කරණය වීමක් දක්නට ඇතත් අනුරාධපුරය වැනි ස්ථාන කෙරෙහි එම උනන්දුව විහිදී යාමක් දක්නට නොලැබුණි. අනුරාධපුරය කන්ද උඩරට රාජධානියේ කේන්ද්‍රීය ප්‍රදේශයෙන් පිටත පිහිටා තිබූ බැවින් මෙය අපට තේරුම් ගැනීමට පුළුවන. අනෙක් අතට එවැනි විශාල කර්තව්‍යන්ට අත ගැසීමට තරම් වූ විශාල ධන සංකේන්ද්‍රණයක් උඩරට රාජධානිය තුළ දක්නට නොතිබූ බව ද අප මතක තබාගත යුතු ය.
 
අනුර මනතුංග අපගේ අවධානයට ලක් කන අනුරාධපුර සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වන්නේ ඓතිහාසික වශයෙන් වෙනස් කාල පරිච්ඡෙදයකයි. එය අපට සරණංකර හිමිගේ ව්‍යාපාරය උඩරට ප්‍රදේශවලින් පිටතට ගමන් කිරීම සමඟ සම්බන්ධ කිරීමට පුළුවන. මේ සඳහා විශේෂ වශයෙන්ම බලපෑවේ වැලිවිට සරණංකර හිමිගේ ශිෂ්‍යයෙක් වූ සිටිනාමළුවේ ධම්මජෝති හිමියන්ගේ කටයුතු ය. ඔහුගේ ශිෂ්‍ය පරම්පරාව, විශේෂයෙන් වේහැල්ලේ ධම්මදින්න, කරතොට ධම්මාරාම වැනි හිමිවරුන්ගේ කටයුතු නිසා දකුණු ප්‍රදේශයේ වැදගත් සංස්කෘතික ප්‍රබෝධයක් ඇති විය. සාමාන්‍යයෙන් `මාතර සාහිත්‍ය යුගය` නමින් හඳුන්වනු ලබන සාහිත්‍ය කටයුතු මේ භික්ෂූන්ගේ මගපෙන්වීම යටතේ සිදුවන අධ්‍යාපන කටයුතුවල ප්‍රතිඵල ලෙස හැඳින්විය හැකි ය. මෙම කටයුතුවල ව්‍යාප්තිය සිදුවන්නේ මාතර ප්‍රදේශයේ වෙසෙන, ලන්දේසි පාලනය යටතේ කටයුතු කළ ස්වදේශීය ප්‍රභූන්ගේ අනුග්‍රහය මේ කටයුතුවලට ලැබීම නිසා ය.
 
එසේම පහතරට ප්‍රදේශවල අලුත් ස්වදේශීය ප්‍රභූ සමාජ පංතියක වර්ධනය නිසා මෙම භික්ෂූන්ගේ කටයුතු නව අදියරක් දක්වා වර්ධනය වීම දක්නට ලැබේ. සරණංකර හිමිගේ ව්‍යාපාරය මහනුවර මල්වතු විහාරයේ ප්‍රභූ ආධිපත්‍යය තුළ සිරවීම නිසා වර්තමානයේ අප දන්නා සියම් නිකායේ අප දන්නා `ගොයිගම` කේන්ද්‍රීයතාවය ඇති විය. මේ තත්ත්වය තුළ දුරාව කුලයට අයත් වූ සිටිනාමළුවේ ධම්මජෝති හා නැකති කුලයට අයත් වූ වේහැල්ලේ ධම්මදින්න වැනි හිමිවරුන් ආන්තිකකරණය වූ බව පෙනේ. කෙසේ වෙතත් පහතරට වර්ධනය වන ගොයිගම නොවන කුල ප්‍රභූන්ගේ අනුග්‍රහය යටතේ අමරපුර නිකාය බිහිවීම මෙහිදී වැදගත් ය. ඊට සමාන්තරව මාතර ප්‍රදේශයේ සිට මේ බෞද්ධ ආගමික හා සංස්කෘතික කටයුතු දකුණු වෙරළබඩ තීරය දිගේ බස්නාහිර ප්‍රදේශයට ගමන් කිරීම දක්නට පුළුවන.
 
මේ ක්‍රියාකාරකම් හරහා නිර්මාණය වන සංස්කෘතික කලාපය හා ඒ සංස්කෘතික කලාපය තුළ නිර්මාණය වන සංස්කෘතික විඥානය ව්‍යුහාත්මක වශයෙන් නව සංස්කෘතික විඥානයක් ලෙස හැඳින්වීමට හැකි ය. එයින් අදහස් කරන්නේ එම නව සංස්කෘතික විඥානයට පෙර ඊට පෙර පැවැති සංස්කෘතික සැකසුම් වලින් බලපෑමක් නොතිබුණු බවක් නොවේ. මෙම වෙනස තේරුම් ගැනීමට, අනුර මනතුංග අපගේ අවධානයට යොමු කරවන රුවන්වැලිසෑ ප්‍රතිසංස්කරණ කටයුතු 1870 ආරම්භ කළ, නාරංවිට සුමනසාර හිමි ගැන වූ පහත දැක්වෙන විස්තරය ප්‍රයෝජනවත්ය. මෙය මා උපුටාගත්තේ ජානක ලියනාරච්චි 2018 ජූනි 30 වැනි දින සිළුමිණ පුවත්පතට ලියූ විස්තරාත්මක ලිපියකිනි.
 
උපුටා දැක්වීම :
 
“නාරංවිට සුමනසාර හිමියන්ගේ මුල් ගම මහනුවර ප්‍රදේශයේය. උන්වහන්සේ පැවිදි වන්නේ රද්දොළුව සුබෝධාරාමයේය. මුලින්ම රද්දොළුවට එන්නේ ගැල්සාත්තුවක් පිටුපස පැමිණි නාඳුනන දරුවෙකු ලෙසය. ගැල් මගින් ගොස් කෝපි එකතු කර අලෙවි කිරීම වෘත්තිය කරගත් මීගමුව වෑත්තෑව ප්‍රදේශයේ මනංචි රේන්දරාල නමැත්තා සමඟ මේ කුඩා දරුවා මීගමුවට පැමිණි පසු ඔහුව ඇති දැඩි කරගන්නේ රද්දොළුවේ ලංසියාවාඩියේ ජුසේ ආරච්චි නැමැත්තෙකි.
කුඩා දරුවා අකුරු කරන්නට යන්නේ රද්දොළුවේ පන්සලටය. හේතු සම්පත් සහිත අංග ලක්ෂණ වී යැයි කියන ඔහුව නාරංවිට සුමනසාර නමින් පැවිදි කරගන්නේ රද්දොළුව සුබෝධාරාමාධිපතිව සිටි සෝමානන්ද හිමිය. සෝමානන්ද හිමියෝ රාමඤ්ඤ මහා නිකායේ හිමිනමක් වූහ. නාරංවිට සුමනසාර හිමියෝ රාමඤ්ඤ නිකායික හිමිනමක් සේ පැවිදි දිවියට පිළිපන්හ.
 
හිතුවක් කරනු රිසි හැඩි දැඩි සිරුරක් සහිත මේ හිමියෝ ගමේ ගැටවුන් සමඟ සංචාරයන්හි නිරතවන්නාහු වර්ෂ 1872 දී අනුරාධපුරයට පැමිණියහ. මේ මහා සෑය ගරාවැටී ඇති ආකාරය උන්වහන්සේ දුටුවහ. පැමිණි පිරිස සමගම ගරාවැටුණු සෑයේ කටුකොහොල් ඇරීම ඇරඹු උන්වහන්සේගේ කටයුත්ත ලත් තැනම ලොප් වෙන්නට වැඩ යෙදිණි. එවකට අටමස්ථානාධිපතිව වැඩ වාසය කළ කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන්ට සිද්ධිය වාර්තා වී තිබුණේ පිරිසක් රුවන්මැලිසෑයේ නිදන් හාරන බවටය. උන්වහන්සේ සුමනසාර හිමි ප්‍රමුඛ පිරිස තමන් ඉදිරියට පැමිණවූහ.
 
මහා බෝධිය - 1890 හෙළිවන පරිදි තරුණ හාමුදුරුවන්ගේ උත්සාහය රුවන්වැලිසෑය පිළිසකර කිරීමය. එහෙත් මේ තරුණ හාමුදුරුවන් රාමඤ්ඤ නිකායේය. දැන් ගැටළුවකි. රුවන්වැලි දාගැබ වනදහන ගිල ගත් පස් කන්දක් වී තිබූ බව සැබෑය. අභයගිරිය හා ජේතවනය දාගැබ් වරදවා හඳුනා ගන්නා තරමට අමතකව ගොස් තිබූ බව සැබෑය. ඒ සිද්ධස්ථානවල මිනිස් පුළුටක් නොවුණ බවත් සැබෑය. එහෙත් රුවන්මැලි සෑය ඇතුළු අටමස්ථානය අයත් වී තිබුණේ සියම් නිකායටය. මල්වත්ත මහ පන්සලටය. අටමස්ථානාධිපතිව වැඩ සිටි කළුඑබේ ශ්‍රී සුමන ධම්මරක්ඛිත හිමියන් සුමනසාර හිමියන්ට කොන්දේසියක් ඉදිරිපත් කළහ.
 
ඒ කොන්දේසිය මෙසේය. දාගැබත් අවට භූමියත් අයත් සියම් නිකායටය. එය වෙනත් නිකායක හිමි නමකට පැවරිය නොහැකිය. අස්ගිරිය මහ පන්සලට ගොස් සියම් නිකායේ පැවිදි වී උපසම්පදාව රැගෙන පැමිණියහොත් පමණක් රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණය නාරංවිට හාමුදුරුවන්ට භාර දිය හැකිය. නාරංවිට සුමනසාර හිමියෝ එම කොන්දේසිය පිළිගත්හ. අනතුරුව උන්වහන්සේ උපවැදි වූහ. රුවන්මැලි මහා සෑය වෙනුවෙන් රාමඤ්ඤ මහා නිකාය අත්හලහ. වැඩ කටයුතු පසෙක තබා ගිහියකු සේ මල්වත්ත පන්සලට ගියහ. ගොස් එහි පැවිදිව උපසම්පදාව ලබාගත්හ. පැවිද්ද හා උපසම්පදාව ලද බවට වූ ලේඛනයක් සහිතව යළිත් අටමස්ථානාධිපති හිමියන් හමුවූහ. දැන් නාරංවිට සුමනසාර හිමියන් සියම් නිකායේ හිමි නමකි. රුවන්මැලි සෑය පිළිසකර කිරීමේ අවසරය හා ස්ථානයේ භාරකාරත්වය උන්වහන්සේට ලැබෙන්නේ ඉන් අනතුරුවය. සියම් නිකායේ ආශීර්වාද සහිතව 1873 දී සුමනසාර හිමියෝ රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කර්මාන්තය ආරම්භ කළහ. අතේ ශත පහක මුදලක් නැතිව උත්සාහය හා යහපත් ප්‍රාර්ථනාවන් පමණක් සහිතව කටයුතු ඇරඹූහ. මහා ජන ප්‍රසාදයක් එතුමන් වටා ගොඩනැගිනි. ආධාර ගලා ආවේය.
 
මේ සමගම රුවන්මැලි සෑයටත් වඩා මහා අභියෝග නාරංවිට හාමුදුරුවන් ඉදිරියට පැමිණියේය. අනගාරික ධර්මපාල තුමා මේ ජාතික ව්‍යාපාරයට එරෙහිව ජනමතයක් ගොඩනැගීම ආරම්භ කළේය. සුමනසාර හිමියන් හා එක්ව සිටි ධර්මපාල තුමාගේ යහපත්ම ගෝලයා වන වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා උන්වහන්සේ අත්හළහ.”
 
උපුටා දැක්වීම අවසන්.
 
naranwitahimi
මේ විස්තරයේ එන නාරංවිට සුමනසාර හිමිගේ ලෝකය ඊට පෙර වූ සමාජ සංස්කෘතික ලෝකයෙන් වෙනස් බව පෙනේ. 2019 අගෝස්තු 24වනදා සිළුමිණ පුවත්පතට මහාචාර්ය ටී.ජී. කුලතුංග විසින් සපයා ඇති රචනයෙන් ද මේ නව සමාජ-සංස්කෘතික ලෝකය සහ රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි ය.
 
මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා ගේ පහත උපුටා දැක්වෙන ප්‍රතිචාරයද අපගේ අවධානයට ගැනීම වටියි. ඔහු මෙසේ කියයි:
 
“අනිත් කාරණය තමයි `පාලක ප්‍රභූ තන්ත්‍රය තුළ හැමදාමත් අනුරාධපුරය පිළිබඳ අදහසක් තිබුණ` මෙම කතාවෙන් ගම්‍ය වන්නේ අනුරාධපුරය "Heart Land" එක ලෙස අඛණ්ඩ පැවතියා කියන එකනෙ (අදහසක් තිබුණ කියන එක පැහැදිලි නැ ). එහෙම නම් සබරගමුව දෙන්න බෑ ඕනැ නම් උතුරු මැද පළාත ගන්න කියලා ඉංග්‍රිසි පාලකයන්ට නුවර ප්‍රභුන් කියාද?”
 
පොළොන්නරුව බිඳ වැටීමෙන් පසුව, විශේෂයෙන්ම කෝට්ටේ හා උඩරට රජුන්ගේ වකවානුවලට අදාළව “පාලක ප්‍රභූ තන්ත්‍රය තුළ හැමදාමත් අනුරාධපුරය පිළිබඳ අදහසක් තිබුණා” යැයි මා කියන්නේ ප්‍රේමකුමාර කියන හාට් ලෑන්ඞ් (කේන්ද්‍රීය ප්‍රදේශයක් ලෙස උඩරට සැලකුවා යන අර්ථයෙන් නොවේ, ලංකාවේ පූර්ව යටත්විජිත පාලක ප්‍රභූන් නිතරම තමන්ට රාජත්වය සඳහා ඇති සුජාතභාවය අපේක්ෂා කළේ අනුරාධුර රජුන්ගේ සුජාත උරුමකරුවන් තමන්ය යන අදහස තුළයි. මේ නිසා අනුරාධපුරය කිසි දිනෙක පාලක ප්‍රභූ තන්ත්‍රයේ පරිකල්පනය තුළින් බැහැර වූවායැයි සිතිය නොහැක. කෙසේ වෙතත් ප්‍රේමකුමාර ප්‍රකාශ කරන ලෙසම උඩරට රජුන්ගේ කාලයේ දී ශ්‍රී පාදය වැනි ස්ථානයකට ලැබුණු ආකාරයේ සංකේතාත්මක වැදගත්කමක් අනුරාධපුරයට ලැබුණා යැයි කීම අපහසුය.
 
මතු සම්බන්ධයි..
 
| කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි |