ලංකා ඉතිහාස සටහන් - 07 අනුරාධපුරයෙන් ම පටන් ගත්තේ ඇයි ?

ලංකා ඉතිහාස සටහන් - 07  අනුරාධපුරයෙන් ම පටන් ගත්තේ ඇයි ?
මේ සටහන් පෙළට අනුර මනතුංග නමැති මහතෙක් විවේචනයක් එල්ල කර ඇත. එනම්, මේ සටහන, අනුරාධපුර කේන්ද්‍රීය වන අතර ඒ නයින් වංසකතා සම්ප්‍රදාය ම අනුගමනය කරන බවකි. අනුර සිය සටහන අවසානයේ ඍජුව ම ප්‍රකාශ කරන්නේ “නිර්මාල් ද තවත් එක් මහාවංසකාරයෙකි” යන්නයි. මගේ අදහස වන්නේ මේ විනිශ්චය පදනම් විරහිත බවයි. එසේ වන්නේ ඇයි?
 
ඉතිහාසකරණයේ දී මා අනුගමනය කරන විධික්‍රමයේ ප්‍රධාන අංගයක් වන්නේ පවත්නා කතිකාවන් සමඟ අභිමුඛ වීමයි. මෙම සටහන් මාලාවේදී මා මූලික වශයෙන් උත්සාහ කරන්නේ මහාවංස කේන්ද්‍රීය ඉතිහාස විඥානය පිළිබඳව විසංයෝජනාත්මක කතිකාවක නියැලීමටයි. ඒ අතර ම මහාවංස රාමුවෙන් පිටතට ගොස් සිදුකරනු ලැබ ඇති බුද්ධිමය මැදිහත්වීම් පවා මහාවංස ඉතිහාස විඥානයේ ඇති දෘෂ්ටිවාදීමය බලපෑම්සහගත බව නිසා අවසානයේ දී මහාවංස සීමාවෙන් ඔබ්බට යාමට අසමත් වී ඇති බව පෙන්වා දීමයි.
 
එසේම මෙම මහාවංස කේන්ද්‍රීයභාවය ගැන කිවයුතු තවත් දෙයක් වන්නේ වර්තමාන ලංකාවේ ඉතිහාස විඥානය තුළ ඊට බෙහෙවින් ඉහළ දෘෂ්ටිවාදී ශක්තියක් ලැබී ඇත්තේ දහනවවන ශතවර්ශයේ සිංහල-බෞද්ධ ජාතිකවාදයේ සකස්වීම තුළ මහාවංසය අර්ථකථනය කිරීම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කිරීම නිසා බවයි. බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව ද උඩරට අත්පත් කරගැනීමෙන් පසු බ්‍රිතාන්‍යයින් ඉදිරියේ පැවැති ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ මේ නොදන්නා භූමිය (Terra Incognita) විනිවිදින්නේ කෙසේද යන්නයි. ඒ සඳහා දැරුණු එක් උත්සාහයක් වන්නේ ස්වදේශිකයින්ගේ දැනුම් පද්ධතීන් ගවේෂණය කිරීමයි. 
 
ස්වදේශීය ජනයා - විශේෂයෙන්ම - උඩරට ජනයාගේ ඉතිහාස විඥානයට අදාළ තොරතුරු සොයා බැලීමට මෙහි දී විශේෂ උනන්දුවක් දක්වනු ලැබීය. එහිදී අපට වැදගත් වන තොරතුරක් වන්නේ 1825 දී පමණ එවකට අග්‍ර විනිශ්චයකාරයා ලෙස සිටි ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් මීට අදාළව ඇති පොත පත තමා වෙත ලබා දෙන්නැයි නායක භික්ෂූන්ගෙන් කරනු ලැබූ ඉල්ලීමයි. ඒ අනුව මහනුවර වාසය කළ නායක භික්ෂූන් විසින් මහාවංසය, රාජරත්නාකරය හා රාජාවලිය යන කෘතීන් හී පිටපත් ජොන්ස්ටන් වෙත ලබා දෙනු ලැබීය. ඉන්පසු ඒවා කුරුඳු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ රාජපක්ෂ මුදලිගේ අධීක්ෂණය යටතේ වූ කමිටුවක් මගින් පරිවර්තනය කරන ලදුව එඞ්වඞ් අපහැම් ගේ සංස්කාරකත්වයෙන් 1833 දී ප්‍රකාශයට පත් කරන ලදි. මහාවංසයට නූතන ශ්‍රාස්ත්‍රීය ලෝකය තුළ ලැබී ඇති කේන්ද්‍රීය වැදගත් කම අපට තේරුම් ගැනීමට හැකි වන්නේ මේ සිදුවීම් දාමය හරහා ය.
 
කෙසේ වෙතත් මහාවංසය තුළ අඩංගු තොරතුරු පිළිබඳ යූරෝපීය දැනුමේ ආරම්භය මේ සිදුවීම ලෙස ගැනීම පදනම් විරහිත බව ප්‍රකාශ කළ යුතු ය. පෘතුගීසීන් ලංකාවේ කටයුතු කෙරෙහි මැදිහත් වූ සමයේ පටන් යුරෝපීය ලේඛකයින් විසින් සම්පාදනය කරනු ලැබූ විවිධ කෘතීන් හී ලංකාවේ සම්ප්‍රදායික ඉතිහාසකරණය තුළ අඩංගු වූ තොරතුරු නිරතුරුව සඳහන් වී ඇත. පෘතුගීසි ලේඛකයින් මහාවංසය ඇසුරෙන් රචනා වී තිබූ රාජවලියෙන් ලබා ගත්තේ යැයි සිතිය හැකි තොරතුරු සිය කෘතීන්හි භාවිත කර තිබේ. කෙසේ වෙතත් 19 වන ශතවර්ශයේ දී විධිමත් ලෙස මහාවංසය හා සෙසු වංසකතා ප්‍රසිද්ධියට පත්වන තෙක් ලංකාවේ ඉතිහාසය පිළිබඳ වංසකතා මුල්කරගෙන පැවැති දැනුම ප්‍රචලිතව පැවැති බව නොපෙනෙයි.
 
පෘතුගීසි ඉතිහාසඥයින් වන කූටෝ සහ ක්වේරෝස් වැන්නන්ට පමණක් නොව, උඩරට ප්‍රදේශයේ වසර පහළොවක් පමණ සාමාන්‍ය ජනයා අතර වාසය කළ රොබට් නොක්ස්ට පවා වංසකතාවල එන ඉතිහාස කතාන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණු බව නොපෙනෙයි. කළින් සඳහන් කළ, කූටෝ, ක්වේරෝස්, නොක්ස් වැනි අයගේ කෘතීන් හී එන ලංකාවේ පැරණි ඓතිහාසික විකාශය ගැන වූ තොරතුරු වලින් පැහැදිළි වන්නේ ද මහාවංස සම්ප්‍රදාය හරහා පොදුජනයා වෙත කාන්දු තොරතුරු ආශ්‍රයෙන් නිර්මාණය වූ වූ ඓතිහාසික විඥානයක් පොදුජනයා අතර පැවැති බවයි.
 
එහෙත් මේ ඓතිහාසික විඥානය 19 වන ශතවර්ශයේ දී මහාවංසය නවීන ශාස්ත්‍රීය ලෝකය වෙත නිරාවරණය වූ පසුව නිර්මාණය වූ ඓතිහාසික විඥානයට වඩා මුළුමනින් ම වෙනස් ව පෙනෙයි. මුද්‍රිත කෘති කියවන නවීන පාඨක ප්‍රජාවට සිංහල භාෂාවෙන් මහාවංසය ඇසුරු කිරීමට හැකියාව ලැබෙන්නේ හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා ගේ සංස්කරණයෙන් මහාවංස සිංහල පරිවර්තනයක් 19වැනි සතවර්ෂය අග දී එළි දුටු විට ය. මේ කටයුත්ත ද විලියම් ග්‍රෙගරි නමැති බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ උනන්දුව මත සිදු වූ කටයුත්තක් බව කිව යුතුය. සිංහල-බෞද්ධ ජාතිකවාදී විඥානය කෙරේ තීරණාත්මක බලපෑමක් කළ අනගාරික ධර්මපාලගේ ලිපි ලේඛන දෙස බලන විට මේ ක්‍රියාවලිය හරහා විකාශය වූ නව ඓතිහාසික විඥානයක පරිණත අවස්ථාව අපට දැකගත හැකි ය. අනගාරික ධර්මපාල 1902 දී ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ලොස් ඇන්ජලීස් නගරයේ දී කූඩා පුස්තිකාවක් ලෙස පළ කරවනු ලැබූ `නව ශිෂ්ටාචාරයක උදාව` යන රචනය තුළ මේ නව ඓතිහාසික විඥානය අපට දැකගත හැකි ය.
 
මෙහි දී අපගේ උනන්දුව වඩවන තවත් සාධකයක් වන්නේ අනුරාධපුරය යන සංසිද්ධිය නූතන කතිකාවක් බවට පත්වන්නේ කෙසේද යන කරුණයි. අපට මෙහි දී ඇසිය හැකි ප්‍රශ්නයක් වන්නේ උරුමය හා ලංකාවේ ඉතිහාසය පිළිබඳව වර්තමානයේ අප ඉදිරියේ ඇති කතිකාවේ ඓතිහාසික විකාශය තේරුම් ගන්නේ කෙසේද යන්නයි. සාමාන්‍ය වශයෙන් ජාතිකවාදී මනස විසින් සකස්කරනු ලැබ ඇති ඓතිහාසික විඥානය තළ මෙය තේරුම් ගැනීමේ නැඹුරුව පවතින්නේ අනුරාධපුරය පිළිබඳ නූතන කතිකාව යටත්විජිත මැදිහත්වීමට පෙර පැවැති සිංහල-බෞද්ධ ජනයා ජීවත්වන දකුණු ප්‍රදේශයේ සමාජ සැකසුම් හී පැවැති ඓතිහාසික විඥානය වෙතින් වර්තමානය කරා අඛණ්ඩව ගලා එන මතක පරම්පරාවක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මතක පරම්පරාව අනුරාධපුරය පිළිබඳ නූතන කතිකාව කෙරේ දායකත්වයක් දක්වා ඇති බව නිසැක ය. 
 
උදාහණයක් ලෙස 1821 දී මුල්වරට පළකරන ලද ජෝන් ඬේවි ගේ ලංකාව පිළිබඳ ප්‍රකට කෘතියේ අනුරාධපුරය පිළිබඳ දක්වා ඇති ප්‍රකට සටහනෙන් හැඟවෙන දෙය අපගේ අවධානයට ගත හැක. එම සටහන මෙසේය:
 
“මේ තරම් දිගු කලක් ලංකාවේ අගනුවර ව පැවැති අනුරාධපුරය පැවැති අනුරාධපුරය අද කාන්තාරයක් මැද පිහිටි කුඩා නොවැදගත් ගමකි. එහි දක්නට ලැබෙන ප්‍රධාන නෂ්ඨාවශේෂ වන්නේ විශාල වැවක්, ගල්කණු විශාල ප්‍රමාණයක් හා අති විශාල ගොඩැලි දෙක තුනකි (මේවා පැරණි දාගැබ් විය හැකි ය) එය තවමත් පූජනීය ස්ථානයක් ලෙස සැලකේ: එසේම එය වන්දනා ස්ථානයක් ද වේ.”
 
කෙසේ වෙතත් අනුරාධපුරය පිළිබඳ උනන්දුව වර්ධනය වීම 1860 ගණන් අග යටත්විජිත ආණ්ඩුව යටතේ පුරාවිද්‍යා කටයුතු සම්බන්ධව ඇති වූ උනන්දුවත් සමඟ සම්බන්ධ කළ හැකි ය. මෙය එකල ඇති වූ බෞද්ධ පුනර්ජීවනය සමඟ ඉක්මනින් අත්බැල් බැඳගත්තේය. අනගාරික ධර්මපාලගේ බුද්ධගයා කටයුතුවලින් උත්තේජනය ලැබූ ඔහුගේ ප්‍රකට අනුගාමික වලිසිංහ හරිස්චන්ද්‍ර අනුරාධපුරයට ගොස් අනුරාධපුරය කෙරේ බෞද්ධ ජනයාගේ උනන්දුව ඇති කිරීමට කටයුතු කිරීම මෙහිදී ඉතා වැදගත් සංසිද්ධියක් වීය.
 
ලංකාවේ නූතන ඉතිහාස කතිකාවේ වැදගත් අංග වන මහාවංස කේන්ද්‍රීයත්වය හා අනුරාධපුර කේන්ද්‍රීයත්වය තේරුම් ගත යුත්තේ මේ පසුබිම තුළ ය. මේ කතිකාව මඟහැර ලංකාවේ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීම නිෂ්ඵල බව මගේ යෝජනාවයි.
 
මතු සම්බන්ධයි..
 
| කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි |