ලංකා ඉතිහාස සටහන්-04  අනුරාධපුරය සහ පැරණි ජනාවාස    

ලංකා ඉතිහාස සටහන්-04  අනුරාධපුරය සහ පැරණි ජනාවාස    
 
ලංකාවේ පැරණි ජනාවාස ඇතිවීම ගැන, මහාවංසයේ නිශ්චිත පැහැදිලි කිරීමේ රාමුවක් ඉදිරිපත් කරයි. මේ පැහැදිලි කිරීමේ රාමුවට අනුව ලංකාවේ ජනාවාස ඇති කරනු ලබන්නේ ඉන්දීය මහා භූමියෙන් වරින් වර පැමිණෙන ජන කණ්ඩායම් විසිනි. මෙසේ පැමිණෙන මනුෂ්‍යයින්ට විවිධ මනුෂ්‍ය නොවන නමුත් මනුෂ්‍ය ලෙසින් පෙනී සිටින පිරිස් අභිමුඛ වෙයි. මේ තේරුම් කිරීමේ රාමුව ලංකාවට ආවේණික එකක් නොවීය. හෝමර්ගේ වීර කාව්‍යවල මෙන්ම මහා භාරතය වැනි ඉන්දීය වීරකාව්‍යවල ද අපට හමුවෙන්නේ මෙවැනි ලෝකයකි. මේ ලෝකය මනුෂ්‍යයින්ගෙන් මෙන්ම මනුෂ්‍යයින් සමඟ සබඳතා පවත්වන දෙවියන් රාක්ෂයින් නාගයින් වැනි විවිධ අර්ධ මනුෂ්‍ය පැවැත්මක් සහිත ජීවී කොට්ඨාසවලින්ද සමන්විත වෙයි. අපට මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ මේ ලෝක දැක්ම සහිත පඨිත, විසංයෝජනාත්මකව කියවන්නේ කෙසේ ද යන්නයි. 
 
ඒ කාර්යයේලා කළ යුතු මූලික කාර්යයක් වන්නේ මේ පැහැදිලි කිරීමේ රාමුව අප තේරුම් ගත යුත්තේ කෙසේද යන්න අවබෝධ කරගැනීමයි.
 
මූලික රාමුව 
 
අනුරාධපුරය පිළිබඳ මහාවංසයේ එන කතාවේ මූළික රාමුව සහ දැනට පුරාවිද්‍යා සාක්ෂි මත අනුරාධපුරයේ වර්ධනය පිළිබඳව ඉදිරිපත් කොට ඇති විග්‍රහ අතර පැහැදිලි වශයෙන් ම මූලික වෙනසක් දක්නට ලැබේ. මහාවංසයේ එන ආඛ්‍යානය මූලික වශයෙන්ම මහාවංස සම්පාදනයට සමකාලීන දේශපාලන යථාර්ථය විසින් නිශ්චය කරනු ලැබ ඇති බව දැනටමත් සඳහන් කර ඇත. එහි දී මහාවංසය උත්සාහ දරා ඇත්තේ අනුරාධපුර පාලක ප්‍රභූ තන්ත්‍රය කේන්ද්‍ර කරගෙන ලංකාවේ මනුෂ්‍ය ජනාවාස ඇති වීම පිළිබඳ ආඛ්‍යානයක් ගොඩ නැංවීමටයි. අපි මහාවංසය තුළ ඉදිරිපත් වන ආඛ්‍යානයේ ව්‍යුහය මීට සමාන්තර සංසිද්ධියක් සමග සංසන්දනය කර බලමු.
 
 
ලංකා මිත්‍යාව සහ රෝම මිත්‍යාව 
 
මහාවංසයේ එන ජනාවාසකරණ මිත්‍යා ප්‍රබන්ධය වැනි ම වූ ජනාවාසකරණ මිත්‍යා ප්‍රබන්ධයක් රෝමය සම්න්ධයෙන් පවතියි. එයට අනුව වෘක ධේනුවක් විසින් හදාවඩා ගනු ලැබූ රොමියුලස් හා රීමස් යන සහෝදරයින් දෙදෙනා විසින් රෝමය ගොඩනගන ලද බව කියැවෙයි. කෙසේ වෙතත් රෝමය පිළිබඳ ඉතිහාසය සම්පාදනය කිරීමේ දී ඒ පිළිබඳව පවත්නා ශාස්ත්‍රීය කතිකාවට මේ මිත්‍යා ප්‍රබන්ධය මූලික බාධාවක් වී නොමැති බව කිව හැකි ය. අඩුම තරමින් රෝමයේ වර්ධනය පිළිබඳ ශාස්ත්‍රීය ආඛ්‍යානයක් සම්පාදනය කිරීමේ දී මේ මිත්‍යා ප්‍රබන්ධය එතරම් බාධාවක් නොවේ. නමුත් මහාවංසයේ එන ලංකාවේ ජනාවාස වීම හා අනුරාධපුර රාජ්‍යයේ වර්ධනය පිළිබඳ මිත්‍යා ප්‍රබන්ධය පිළිබඳ තත්වය ඊට වෙනස්ය. මහාවංස මිත්‍යා ප්‍රබන්ධ සම්ප්‍රදායේ විසින් ශාස්ත්‍රීය ඉතිහාසඥයා වෙත අභිමුඛ කරවන මූලික ප්‍රශ්නය වන්නේ මහාවංස සම්ප්‍රදාය විසින් සපුරාම බැහැර කරනු ලබන සාධක විශාල සංඛ්‍යාවක් සැලකිල්ලට ගැනීමට ශාස්ත්‍රීය කතිකාවන්ට සිදු තිබීමයි.
 
 
පරස්පරය 
 
අපි මේ සම්බන්ධව විස්තරාත්මකව සළකා බලමු. මහාවංසයේ එන ආඛ්‍යානය, මූළික වශයෙන්ම අනුරාධපුරය සහ එය ගොඩ නැංවූවායැයි කියැවෙන නිශ්චිත ජන කණ්ඩායමක් කේන්ද්‍ර කරගත් එකකි. මෙම ආඛ්‍යානය දැනට පුරාවිද්‍යාඥයන් විසින් මෙන්ම විචාරශීලී ඉතිහාසඥයන් විසින් ද සම්පාදනය කරනු ලැබ ඇති දැනුමට පරස්පරව ගමන් කරයි.
 
සිරාන් දැරණියගල මෙන් ම ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයින් විසින් අනුරාධපුරයේ වර්ධනය පිළිබඳව ඉදිරිපත් කරන තොරතුරු දෙස බැලූ කල්හී පෙනී යන්නේ ඒවා මහාවංස ආඛ්‍යානය සමඟ සපුරා ගැටෙන බවයි. සිරාන් දැරණියගලට අනුව ක්‍රි.පූ. 800 දී පවා අනුරාධපුරය සැලකිය යුතු ජනාවාසයක් ලෙස පැවැතී ඇත. ක්‍රි.පූ, 700-600 අතර කාලයේ එය `ටවුමක්` ලෙස සැලකිය හැකි ජනාවාසයක් බවට පත් වී ඇත.
 
ඊළඟ වැදගත් දෙය වන්නේ අනුරාධපුරයට පිටත ප්‍රදේශ මහාවංස ආඛ්‍යානය තුළට අන්තර්ග්‍රහණය කරගෙන තිබෙන ආකාරයේ ඇති ගැටළු සහගත බවයි. මාගම පිළිබඳ සංසිද්ධිය මෙහි දී ඉතාම වැදගත් වේ. පසුව සාකච්ඡා කෙරෙන පරිදි මාගම අනුරාධපුර කේන්ද්‍ර කරගත් ආඛ්‍යානය සමඟ සම්බන්ධ කිරීමට එතරම් සාර්ථක වී නොමැති උත්සාහයක් ගෙන තිබේ.
 
ඊළඟට මහාවංස ආඛ්‍යානයේ ඇති තවත් ගැටළු සහගත අංගයක් වන්නේ එහි කේන්ද්‍රී ජනකොටස ඉතිහාසයේ එකම නිර්මාපකයින් බවට පත්කොට තිබීමයි. ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යාව මගින් සම්පාදනය කරනු ලැබ ඇති තොරතුරු මේ මහාවංස ආඛ්‍යානයට විරුද්ධව ගමන් කරයි.
 
 
මතු සම්බන්ධයි..
 
 

ලංකා ඉතිහාස සටහන්-02 අනුරාධපුරය යනු කුමක්ද?

 
 
 
| කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි |