ලංකා ඉතිහාස සටහන්-03   මහා තිත්ථ ; පැරණි වරාය නගරයක ඓතිහාසික සලකුණ     

ලංකා ඉතිහාස සටහන්-03    මහා තිත්ථ ; පැරණි වරාය නගරයක ඓතිහාසික සලකුණ     
මහා තිත්ථය යනු වර්තමාන මන්නාරම ප්‍රදේශයේ පිහිටා තිබූ පැරණි වරාය නගරයකි. අනුරාධපුර නාගරික මධ්‍යස්ථානය පැවැති කාලය පුරා ම මෙහි පිහිටා තිබූ වරාය, අනුරාධපුරය ඉන්දියානු සාගරයට සම්බන්ධ කළා වූ වැදගත්ම වරායයි. කෙසේ වෙතත් අනුරාධපුර නාගරික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වීමට ප්‍රථම මහා තිත්ථය ඓතිහාසික වශයෙන් ඉතාම වැදගත් ස්ථානයක්ව පැවැති බව පෙනෙයි.
 
විජයාගමනය පිළිබඳ කතාව විසංයෝජනය කළහොත්, අපට මහා තිත්ථයේ වැදගත්කම අවබෝධ කරගැනීමට කවුළුවක් විවෘත කරගැනීමට පුළුවන.
ආර්.එල්. බෂාම් ද ප්‍රකාශ කර ඇති ආකාරයට `විජය කතාවේ` ඇති එක් වැදගත් කමක් වන්නේ එහි සඳහන් වන ස්ථානයි. කතාවට අනුව විජය ඇතුළු පිරිස ගොඩ බසින්නේ මන්නාරමට (එසේ නැතහොත් මහා තිත්ථයට ආසන්න ස්ථානයකට)යි. එසේම අභිෂේකය සඳහා ක්ෂත්‍රිය කුමාරිකාවක් අවශ්‍ය වූ විට මදුරා  පුරයෙන් ගෙන එන ක්ෂත්‍රිය කුමාරිය හා පිරිස ගොඩ බසින්නේ මහා තිත්ථ වරායටයි. දකුණු ඉන්දියාව හා ලංකාව අඩංගු සිතියම පරීක්ෂා කර බැලුවහොත් මදුරාව හා මහා තිත්ථය අතර ඇති භූගෝලීය කිට්ටුවන්තභාවය පිළිබඳ සිත් ඇදගන්නා අදහසක් ලබා ගැනීමට පුළුවන.
 
මහා තිත්ථයට මෙකල හිමිව තිබුණා යැයි සැළකිය හැකි වැදගත් කම, සමකාලීන ඉන්දීය සාගර වෙළඳාම සමඟ ඍජුව සම්බන්ධ කළ හැකි ය. මෙහිදී අපගේ සාකච්ඡාවට අතිශයින් වැදගත් වන කරුණක් වන්නේ, අනුරාධපුරය කේන්ද්‍ර කරගත් ලංකාවේ නාගරික ශිෂ්ටාචාරය සකස් වීමට පෙර ලෝකයේ පැවැති ශිෂ්ටාචාර මධ්‍යස්ථාන වලට සාපේක්ෂව ලංකාව කුමන කාර්යභාරයක් ඉෂ්ට කළේද යන්නයි. මෙකල ඉතා වැදගත් ශිෂ්ටාචාර කලාප කීපයක් පැවැතිණි. මැද පෙරදිග හා මධ්‍යධරණී ප්‍රදේශය, ඉන්දීය අර්ධද්වීපයේ ඉන්දු සහ ගංගා නදී නිම්න ප්‍රදේශය සහ චීනයයි. මේ ශිෂ්ටාචචාර මධ්‍යස්ථාන හැම එකක්ම වෙළඳාම හරහා බාහිර ලෝකයට විවෘත වී තිබිණි. මේ පැරණි ශිෂ්ටාචාර කේන්ද්‍ර කරගත ලෝක වෙළඳ ජාලයට ලංකාව ද දායක වූ බව පෙනෙයි. විශේෂ වශයෙන් ම  මුතු මැණික් වැනි දේ, ලංකාවෙන් මේ වෙළඳ ජාලයට එකතු වූ භාණ්ඩ බව පෙනී යයි.
 
මෙකල, මේ ලෝක වෙළඳාම තුළ නියැලී සිටි වෙළඳ ප්‍රජාවන්ට ලංකාව ගැන හොඳ අවබෝධයක් තිබූ බව පෙනෙයි. විජය කතාවට අමතරව ලංකාව ජනාවාස වීම පිළිබඳ ඇති සෙසු ජනාවාසකරණ මිත්‍යා ප්‍රබන්ධවල ද වෙළඳාම ට වැදගත් තැනක් හිමිවී ඇත. ඒ කතාවලට අනුව ලංකාව ජනාවාස වී තිබෙන්නේ වෙළෙඳුන්ගේ මැදිහත් වීමෙනි. මෙහිදී අපගේ අවධානයට යොමුවිය යුතු වැදගත් කරුණක් තිබේ. එනම් මේ වෙළෙඳුන් පිළිබඳ කතා වල ද ලංකාවේ මනුෂ්‍ය ජනාවාස නොතිබුණු බවත්, එහි (ලංකාවේ) වාසය කළේ යකුන් බවත් ය යන පිළිගැනීමයි. 
 
මේ පිළිබඳ ප්‍රකට අර්ථකථනය වන්නේ වෙළදුන් අතර පැවැති තරගය නිසා තරගකරුවන් අධෛර්යමත් කිරීමට සෙසු වෙළඳුන් විසින් මේ ප්‍රචාරය ගෙන යනු ලැබුවාය යන්නයි. මෙය නොවිය හැක්කක් ද නොවේ. මේ සම්බන්ධ තවත් වැදගත් තොරතුරක් වන්නේ, මෙකල ලංකාවේ නාගරික සමාජයක් තිබූ බවක් නොපෙනීමයි. මේ සම්බන්ධව තිබෙන ප්‍රකට සාක්ෂියක් වන්නේ මෙගස්තීනස් නමැති ග්‍රීක ලේඛකයාගේ ලංකාව ගැන වූ ප්‍රකට සඳහනයි. ඊට අනුව ලංකාවේ නගර තිබී නොමැති අතර, තිබී ඇත්තේ ගම් බව පෙනී යයි.
 
මතු සම්බන්ධයි..
 
 
| කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි |
 
| සේයාරුව - reddit.com වෙබ් අඩවියෙනි |