ලංකා ඉතිහාස සටහන්-02  අනුරාධපුරය යනු කුමක්ද?      

ලංකා ඉතිහාස සටහන්-02   අනුරාධපුරය යනු කුමක්ද?      
මහාවංසය මූලික වශයෙන් ම සැළකිය යුත්තේ අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රි.ව. 5 වන ශතවර්ෂය වනවිට බිහි වී සිටි පාලක ප්‍රභූ තන්ත්‍රයේ අභිලාෂයන්හි දෘෂ්ඨිවාදී නියෝජනයක් ලෙසිනි. ඒ අනුව සැලකූ කල්හී නාගරික දේශපාලන මධ්‍යස්ථානයක් ලෙස අනුරාධපුරය වර්ධනය වූ ආකාරය පිළිබඳව සළකා බැලීම වැදගත්ය. මේ සම්බන්ධයෙන් ඇති මිත්‍යා ප්‍රබන්ධමය ගොඩනැංවීම් පසෙක තබා අනුරාධපුරය දෙස බැලීමට උත්සාහ කරමු. 
 
මහාවංසය ලියැවෙන කාලය වන විට අනුරාධපුරය දියුණු නාගරික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වී තිබූ බව පෙනෙයි. මහාවංස තොරතුරුවලට අනුව ක්‍රි.ව. 66 රජ වූ වසභ රජු ගේ කාලය කරුණු දෙකක් නිසා මෙහි දී වැදගත් ය. එකක් නම්, වසභ, අනුරාධපුර වර්ධනයේ තීරණාතමක සාධකයක් වූ මහා වැව් තැනීම ආරම්භ කිරීමයි. අනෙක නම්, වසභගේ කාලයේ දිවයිනේ බොහෝ ප්‍රදේශ මත කිසියම් ආකාරයේ දේශපාලන ආධිපත්‍යයක් පවත්වාගෙන යාමට වසභට හැකියාව තිබූ බව පෙනී යාමයි. 
 
එසේ වුව ද දේශපාලන මධ්‍යස්ථානය ලෙස අනුරාධපුරයේ වර්ධනය ඊට පෙර කාලයකට දිවෙන බව නිසැක ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැදගත් වන්නේ මහා වැව් තැනීම, අනුරාධපුර නගරය තුළ වැදගත් බෞද්ධ විහාර ගොඩනැංවීම, අනුරාධපුරයේ දේශපාලන ආධිපත්‍යය සෙසු ප්‍රදේශ මත තහවුරු වීම වැනි දේ ය.
 
අනුරාධපුරයේ වර්ධනයට පෙර තත්වය ගැන අපගේ උනන්දුව වඩවන කරුණු කීපයක් වෙත යොමුවෙමු.
 
මා මූලික වශයෙන් ම අවධානය යොමුකිරීමට කැමති තේමාවක් වන්නේ මහා තිත්ථය හෙවත් මාන්තෙයිහි වැදගත්කම පිළිබඳවයි. මේ පිළිබඳ එතරම් අවධානයක් මෙතෙක් යොමුවී නොමැත. ප්‍රමුඛ ව්‍යතිරේකයක් වන්නේ, කේ.ඉන්ද්‍රපාල, මහා තිත්ථය ඓතිහාසික වශයෙන් ලංකාවේ ඓතිහාසික වර්ධනය තුළ ස්ථානගත කිරීමට දරා ඇති වැදගත් උත්සාහයයි.
 
මේ නිසා අනුරාධපුරය පිළිබඳ සාකච්ඡාවට නැවත එන පොරොන්දුව මත මහා තිත්ථය දෙසට යොමුවෙමු.
 
 
 
 
මතු සම්බන්ධයි..
 
 
| කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි |
 
 
| සේයාරුව -  srilankafinder.com වෙබ් අඩවියෙනි |