හිටි හැටියේ නැගිටින කොටි (Fake)  

හිටි හැටියේ නැගිටින කොටි (Fake)  
ලංකා දේශපාලනයේ `කොටි` තරම් අවදිව සිටි පිරිසක් තවත් නැත. `කොටි` යන නාමකරණයෙන් හඳුන්වන ලද LTTE සංවිධානය, පීඩිත දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ සහ තාර්කිකව පැනනැගුණු සංවිධානයකි. ඔවුන්ගේ මිලිටරි ක්‍රමවේදයන්, දේශපාලන ආස්ථානයන් මෙන් ම උපාය මාර්ග සහ උපක්‍රම සම්බන්ධයෙන් වෙන ම සාකච්ඡාවක් කළ යුතුය. ඒ සම්බන්ධ ඇගැයුම් මෙන් ම විවේචන විචාර ද යමෙකුට තිබිය හැකි ය. මේ කතාකරන්නේ ඒ කොටි ගැන නොව, ජනමාධ්‍ය අස්සෙන් විටින් විට හිස ඔසවන බව කියන සංකල්පීය `කොටි` ගැන ය. 

දිග්ගැස්සුණු යුද්ධයකින් පසු ඒ ඒ ප්‍රදේශවලින් යුද්ධයේ ඉතුරු බිතුරු හමුවීම තේරුම්ගත නොහැක්කක් නොවේ. ඒ සෑම හමුවීමක් ම `කොටි නැගිටීමක්` ලෙස අර්ථ දැක්වීමෙන් මඩිය තරවන්නේ දකුණේ දේශප්‍රේමී දේශපාලන වෙළෙඳුන්ගේ ය. අනෙක් අතට `කොටි` පරදවා ඇත යන්න ජනප්‍රිය ප්‍රවාදයකි. ඉතින්, පැරදවූ කොටි හිටිහැටියේ නැගිටින්නේ කොහොමද ? පරදවන එක හරියට කළේ නැද්ද ? ඒවා අනවශ්‍ය අතුරු ප්‍රශ්න ය. මේ මැතිවරණ සමයයි. දේශමාමකත්වය නමැති කුකුල් සායම්වල ඔබා `කොටි` නැගිට්ටවීමට සමත් විශේෂඥ දැනුමැති `නරියන්` සතරදිග සැරිසරන `කතන්දර` කාලයයි. අන්න ඒ බව සිහි කැඳවීම පිණිස මේ සටහන ලියැවෙයි. 

ආරක්ෂාව පිළිබඳව සිහිනය ගොඩනගන්නේ ම අනාරක්ෂිත භාවයයි. අනාරක්ෂිත බව වැඩිවන තරමට රක්ෂණ නියෝජිතයන්ට කියන්නට දේවල් වැඩිවන්නා සේ, සමාජ අනාරක්ෂිත භාවය යනු ආරක්ෂාවේ මුරබල්ලන් ලෙස පෙනී සිටිනවුන්ගේ වෙළඳපොල වෙයි. දේශප්‍රේමීන්ට දේශමාමකයන්ට නිදහසේ එළිබසින්නට නම්, දේශය අනතුරේ වැටිය යුතු ම ය. එවන් සන්දර්භයක් තුල, තවමත් සැබෑ වගකිවයුත්තන් හෙළිදරව් නොවූ අප්‍රේල් 21 ප්‍රහාරය සැලසුම් කළ මහමොළකරුවන්, `දිනූ දේශය රකිනු පිණිස` දේශප්‍රේමී වෙස්මුහුණු පැළඳ ජනාධිපතිවරණ වේදිකා උඩ සිංහ වෙස් ගෙන සිටින්නට බැරි ද ? ප්‍රශ්නය ද විසඳුම ද බොහෝ විට නිර්මාණය වන්නේ එක සිරුරකට සවි වූ අත් දෙකකිනි.

ආදරණීය මිනිසුනි, යක්ෂයයෝ සාන්තුවරයන් වී `විශ්වාසීන්ගේ යාඥාව` කියවමින් සිටිති. ප්‍රේතයෝ මුනිවරයන් වී `ජය පිරිත` සජ්ජායනය කරමින් සිටිති. කඳන් පණුවන් වෘක්ෂ දේවතාවුන් බවට එක්වර ම රූපාන්තරණය වී ඇත. මේ මොහොතේ කැමැත්ත දිනාගැනීමට හැකි හොඳ ම ආයුධය ඔබව බය කිරීම බව ඔවුහු සියල්ලෝ දනිති. ඔබ අනාරක්ෂිත වන තරමට ඔවුන් ආරක්‍ෂිත ය. රට අනාරක්ෂිත ය කියා ඔබට ඒත්තුගන්වන තරමට, ඔවුන්ගේ අත්තනොමතිකත්වයේ අලවංගුව ඔබේ උගුර දිගේ බැස්සවිය හැකි ය. එය ඉවතට ගන්නට දශක දෙකක්වත් යනු ඇත. ඊනියා ව්‍යාජ `කොටි` හිටි අඩියේ නැගිටින්නේ අන්න ඒ න්‍යාය පත්‍රවලට අනුව ය. `ෆේක් කොටින්ට` මෙන් ම `ෆේක් සිංහයන්ට` ද නොරැවටෙන්න. එසේ වුවහොත් ඇස් රතුවෙන `ජෝක්` එකකින් ඉතිහාසය නිමාවිය හැකි ය.


ප්‍රධාන සංස්කාරක 
2019 ඔක්තෝබර් 16
____________________
පිළිතුරු දීමේ අයිතිය සුරකිමු.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.