ෆ්‍රයිඩේ ස්පෙෂල් සහ පරණ අරක්කු වෙනුවට අලුත් කුසලානයක් !

ෆ්‍රයිඩේ ස්පෙෂල් සහ පරණ අරක්කු වෙනුවට අලුත් කුසලානයක් !

ආණ්ඩුවේ අච්චු කන්තෝරුවේ අච්චු ගැසූ නවතම ගැසට් පත්‍රයට අනුව තවත් ජනාධිපතිවරණයක් හොස්ස ළඟටම පැමිණ තිබේ. ජනාධිපතිවරු පත්කර ගන්නේ කුමකටදැයි පත් වෙන අයත් පත් කරන අයත් අංශු මාත්‍රයක් නොදන්නා දූපතක කැම්පේන් ආරම්භ වීමට නියමිත ය. ඒ, අටානූවක් බේගල් සහ නවානූවක් කුමන්ත්‍රණ මැද්දෙනි.

කලාපීය බල දේශපාලනයේ ක්‍රීඩා රේඛාවන් නෙළුම් කුලුණ මුදුණේ සිට සාම්පූර් දක්වාත් එතැන් සිට යළි පෝට් සිටිය දක්වාත් විහිදී ඇත. ඩාලි පාර, සිරිකොත සහ නෙළුම් මාවත ඇත්තේ ඊට යටිනි. ඉතින්, දැන් අපේ වීදුරුවලට උන්ගේ අරක්කු වත්කිරීම සිදුවීමට නියමිතය. අනතුරුව අනතුර උදා වෙයි. ඒ කෙසේ ද යත්, අපි වෙරි වෙමු. අවුරුදු පහක් වෙරිමරගාතේ ඇවිදිමු.

එනයින්,අප හැමෝම පාහේ අයත් වන්නේ අන්තර් ජනාධිපතිවරණ කාලය තුළ වෙනින් දේවල් කරමින් හිඳ ඡන්දයක් කට ලඟට පැමිණි විට කළ යුත්තේ කුමක්ද යන ලෙනින් ඇසූ ප්‍රශ්ණය අඩු වැඩි වශයෙන් මතුරන කුලකයටය. හැබැයි, වැඩි නපුර වෙනුවට අඩු නපුර තෝරාගැනීම දැන් පරණ ක්‍රමයකි. විකල්පය ශක්තිමත් කිරීමෙන් තොරව විසඳුමක් පෙනෙන මානයකට යා නොහැකිය.

බෙලිඅත්තේ මිලිටරි තරුණ සමුළු, කෙසෙල්වත්තේ බිම් මට්ටමේ ඒ දඬු සර්කස් සහ කුරුඳුවත්තේ සීතල දහං ගැට මැද්දට, පොළොන්නරුවේ ව්‍යවස්ථා ෆ්‍රයිඩේ ස්පෙෂල් ද පැමිණෙනු ඇතැයි බොහෝවුන් අනුමාන කරන පැයක, අපි මෙසේ කියමු. අපේ වීදුරුවල ඇති උන්ගේ අරක්කු හලා දමමු. ඒ වෙනුවට අලුත් කුසලානයකට අලුත් වයින් පුරවන ක්‍රමයක් ගැන හිතමු. ඒ, මජර ලෙස වෙරි වීමට නොව, සංස්කෘතික ලෙස ජීවිතය විඳිනු පිණිස ය.

ප්‍රධාන සංස්කාරක
2019 ඔක්තෝබර් 20

____________________
පිළිතුරු දීමේ අයිතිය සුරකිමු.