ශක්තිකට යුක්තිය දෙනු ! 

ශක්තිකට යුක්තිය දෙනු ! 
සිය ගණනක් දේශපාලන හොරුන් මිනීමරුවන් මංකොල්ලකරුවන් ඇප සහිතව සහ රහිතව, මහදවල් විදුලි පහන් පත්තු කරගත් ඩිෆෙන්ඩර් බලකායන් මැද නිදැල්ලේ සැරිසරමින් සිටියදී, කෙටිකතාවක් ලියූ වරදට ශක්තික සත්කුමාර කෑගල්ල බන්ධනාගාරයේ සිරගත කර ඇත. මිනිස් නිදහස මත වසුරු හෙළන ආගමික බලාධිකාරයන් කෙතරම් බලවත් ද යන්න වැටහෙන්නේ, යුක්තිය පසිඳලන්නට තිබෙන ආයතන මාස්මෙලෝස්වලින් සැදූ මහ ගස් සේ නාරටියක් නොමැතිව පැද්දෙන විට ය. 

නීති පොතේ වගන්ති අතරින් රිංගා එන සංස්කෘතික අධිකාරිවාදී සර්පයා, ස්වකීය විෂ දළ පහර දෙමින් සිටින්නේ, නිදහස් සිතන්නන්ට ය. නිදහස් ලියන්නන්ට ය. නිදහස් ක්‍රියාකාරිකයන්ට ය. මේ සත්‍යය නොවැටහෙන හෝ නොවැටහෙන සේ රඟපාන අය දැනගත යුතු දේ නම්, සර්පයා ඔබ සොයා අද නැතත් හෙට, එහෙමත් නැත්නම් අනිද්දා, ඔබේ ගෙට එන බව ය. භාෂණයේ නිදහස ජෝක් කරන උදවිය දැන හෝ නොදැන කිරි පොවන්නේ ආගමික බලාධිකාරයේ විෂඝෝර සර්පයාට බව කිව යුතු ය. 

මේවා එසේ සිදුවන විට ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන් සේ පෙනී සිටින ඇතැමුන්, ස්වකීය හෘදය සාක්ෂිය ගුලිකර මහවැලියට වීසිකර දමා ඇත්තේ  `මුර` යන විශේෂණය ද සමගිනි. විකල්ප තිර රෙදිවලට මුවා වී කුහකත්වයේ විද්වත් මත ද එළි බසිමින් සිටියි. ඒ සියල්ල මැද ශක්තික නිදහස් කරගැනීමේ සහ ප්‍රකාශනයේ නිදහස සුරැකීමේ අරගලය පෙරට යමින් තිබේ. දුටු නුදුටු කොම්රේඩ්වරියනි, කොම්රේඩ්වරුනි, සත්‍යය වෙනුවෙන් හඬ නගන්නට තවත් ප්‍රමාද නොවී පෙරට එන්න. අපි එක්ව සටන් කරමු.

ආගමික අවතාර සමග සුරතල් වෙන ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලකයිනි, ශක්තික වහා නිදහස් කරනු !


ප්‍රධාන සංස්කාරක 
2019 ජූලි 03 

____________________
පිළිතුරු දීමේ අයිතිය සුරකිමු.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.