හවානා 12 - ඉතින් ඊට පස්සෙ සචින් !

හවානා 12 - ඉතින් ඊට පස්සෙ සචින් !

3

මහේන්ද්‍ර සිං දෝනි ගේ ජීවිත කතාව අළලා නිපදවුණු බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව පුරා අතිශයින් ජනප්‍රිය විය. එහි දෝනි ගේ භූමිකාව රඟපෑ සුශාන්ත් සිං රාජ්පුත් එම වසරේ හොඳම නළුවා සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානයට ද නිර්දේශ වූයේය. නමුත් සචින් තෙන්දුල්කාර් ගේ චරිතය ඇසුරින් නිෂ්පාදනය වුණු චිත්‍රපටය එබඳු ජනප්‍රියත්වයක් හිමි කර ගත්තේ නැත. පුද්ගල ජනප්‍රියත්වය අනූව සචින් සිටින්නේ දෝනිට වඩා ආලෝක වර්ෂ කීපයක් ඉදිරියෙනි. අදට ද තරගයක් නැරඹීම සඳහා පැමිණෙන සචින් තෙන්දුල්කාර් පුළුල් තිරයේ දකින විට ඉන්දියානු ප්‍රේක්ෂකයෝ උමතුවෙන් මෙන් ප්‍රීතිඝෝෂා පවත්වති. එසේ නම් දෝනි ගේ චිත්‍රපටය මෙන් සචින් ගේ චිත්‍රපටය ඔවුන් වැළඳ නොගත්තේ ඇයි?

ඉන්දියානු ජනතාවට සචින් තෙන්දුල්කාර් යනු තවත් එක් ක්‍රීඩකයෙකු පමණක් නොවේ. වයස අවුරුදු දාසයෙදී පිත්ත අතට ගෙන ජාත්‍යන්තර පිටියට බට ඒ කුඩා කොලු ගැටයා ඉන් අනතුරුව ගෙවී ගිය වසර විසි ගණනකදී පෑ දස්කම් - කළ විස්කම් ඔවුන්ට පුරාවෘත්තයකි. එබැවින් ම ඔහු දෙවියෙකි. ඉන්දියානු ජනතාව දේව රූපවලට පහළින් ඔහු ගේ රූපය එල්ලාගෙන වන්දනා මාන කරති. ඉතිං මිනිසුන් කැමති දෙවියන් දෙවියන් ලෙස ම දකින්නට ය. ඒ නිසා චිත්‍රපටය අසාර්ථක වීම හරහා එළි බැස්සේ ඉන්දියානු ප්‍රේක්ෂකාගාරය සචින් සචින් ලෙස ම දකින්නට ඇති කැමැත්ත සහ වෙනකෙකු තුළින් ඔහු දකින්නට ඇති අකැමැත්ත විය නොහැකිද?

4සචින් ක්‍රීඩා කරන කාලයේ ශතකයක් ලබා ගත් විගස ම අහස දෙස බලා දෙවියන්ට ස්තුති කරන සිරිතක් තිබුණි. ඔහු ගේ ලකුණු පැස පිරුණේ දෙවියන් නිසා හෝ වෙනත් නොපෙනෙනා බලවේගයක් නිසා නොවන වග අපට හොඳට ම විශ්වාස ය. නමුත් දේව ගැති බොහෝ ඉන්දියානුවන් මෙන් සචින් ද එසේ සිතුවේය. ඔහු එසේ අහස දෙස බලා දෙවියන් සොයද්දී බොහෝ ඉන්දියානුවන්ට පිත්තක් අතින් ගත් 'ඇත්ත දෙවියන්' තණතීරුව මැදදී හමුවිය. ඔවුහු ඔහු දෙස බැතිබර ව බලා සිටියහ. ඉතිං ඔවුන් ඒ විසල් ප්‍රතිරූපය චිත්‍රපටයක් හරහා කුඩා කරගන්නට හෝ වෙනස් කරගන්නට අකැමැති වෙන්නට ඇතැයි සිතීම අසාධාරණද?

2

සචින් වෙනුවෙන් වෙන්වුණු අද තීරුව ඔහු ගේ නම සහ චිත්‍රපට සමඟ බැඳුණු විහිළු කතාවකින් අවසන් කරමු. කතාව මෙසේය; වරක් ඕස්ට්‍රේලියානුවන් 'සචින්' යනුවෙන් චිත්‍රපටයක් නිපදවා එහි මංගල දර්ශනය නැරඹීමට ඔහුට ආරාධනා කර ඇත. සචින් ද මහත් සතුටෙන් සහ ආඩම්බරයෙන් ගොස් චිත්‍රපටය නරඹා තිබේ. නමුත් චිත්‍රපටය අවසානයේ ඔහුගේ සන්තෝෂය අතුරුදන් වී ඇත්තේ තමා ගැන එකදු දර්ශනයක් හෝ විස්තරයක් ඒ චිත්‍රපටයේ නොතිබුණු නිසාය. ඔහු විශාල සිත් වේදනාවකින් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගෙන් ඒ ගැන විමසුවේය.

"කෝ මේකට මගේ නම දාල තිබුණට මං ගැන කිසි දෙයක් නැහැනේ?" 1

අධ්‍යක්ෂවරයා කින්ඩියට වගේ සචින් දෙස බලා මෙසේ කියා ඇත.

"ඔයගොල්ලොමයි මුලින් වැඩේ වරද්ද ගත්තෙ. ඔයාල 'බෝඩර්' කියල ෆිල්ම් එකක් හැදුව අපේ ඇලන් බෝඩර් ගැන කිසිම දෙයක් නොදා. ඒක නිසයි අපිත් ඔයා ගැන මොකුත් නොදා 'සචින්' කියල ෆිල්ම් එකක් හැදුවෙ!"

ඇලන් බෝඩර් යනු ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වග ක්‍රිකට් ලැද්දෝ දනිති. කෙසේ වුව, නොපෙනෙනා - නොමැති දෙවියන් වෙනුවට මිනිසුන් මහ පොළොවේ මනුෂ්‍යයෙකුට ආදරය කිරීම කොයි පැත්තෙන් ගෙන බැලුවත් නරක දෙයක් ලෙස සිතන්නට නොහැකිය.

| කසුන් සමරතුංග |