පුපුරන සංවේදනා ළඟ දිලිසෙන ගුවර්නිකා - හවානා 11

පුපුරන සංවේදනා ළඟ දිලිසෙන ගුවර්නිකා - හවානා 11

'ගුවෙර්නිකා' යනු පැබ්ලෝ පිකාසෝ නම් ඉන්ද්‍රජාලික සිත්තරා ගේ සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා එක මිටට කැටි කර ගත් ගුවෙර්නිකා මෙරට බොහෝ කලාකරුවන්ට ඇඟිල්ලෙන් ඇන බලෙන් පෙන්විය යුතු තරම් මට්ටමේ කලාත්මක වෑයමකි. හෘද සාක්ෂියක් සහිත කලාකරුවෙකුට - මතු නොව මිනිසෙකුට වුව - කිසි දිනෙක යුද්ධය වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් නැතැයි මේ ගෙවී යන තීරණාත්මක නිමේෂයේ පවා ගුවෙර්නිකා අපට තරව ම කියා පායි. නමුත් නෑසූ කන් ඇතිව බලා සිටීම පිකාසෝ ගේ නොව අපේ වරදකි.

1 1

ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ ගුවෙර්නිකා නගරයට එල්ල වූ ප්‍රහාරය අධිතාත්වික රීතියකින් සිය කැන්වසය මත සිත්තම් කරන පිකාසෝ නැවත නැවතත් අපට කියන මේ පණිවුඩය කුමක්ද? යුද්ධය බිහිසුණුයි - මනුෂ්‍ය විරෝධීයි - කරුණාකර නතර වෙයල්ලා යන ඓතිහාසික පුනරුච්චාරණය ම මේ පින්සල් පහර අතර තැනින් තැන ගැබ් වී නැද්ද? එහෙත් පිකාසෝ එසේ ඇන්ඳා කියා දෙවන ලෝක යුද්ධය නෑවිත් සිටියේ නැත. එවන් ලෝකයක, සිය සහෝදර ජාතිය මත බර අවි හෙලීම කැවුම් - කිරිබත්වලින් සැමරූ ජාතියක් ගැන අප තව කොපමණ කලක් කම්පා විය යුතුද? කම්පාව කෙසේ වුව එය කිසි විටෙක අභිමානය පිණිස හේතුවක් නොවන වග මේ මොහොතට අදාළව වටහාගෙන සිටීම පමණකුදු වැදගත් ය.

2 3

අතිශය පුද්ගලික, සංවේදී යැයි කිව හැකි හේතුවක් යටතේ වුව කලාකරුවෙකුට - මිනිසෙකුට? - අමනුෂ්‍ය කඳවුර නියෝජනය කළ නොහැකිය. ගුවෙර්නිකා හරහා පිකාසෝ වැළපුම - පීඩනය - ඛේදය ඉස්මතු කරමින් අපට කියන්නට තතනන පණිවුඩය එයයි. එහි එන අශ්ව හිස දෙස මොහොතක් බලන්න! අශ්ව හිසකින් පවසන ඇතැම් දේ මිනිස් හිසකට ගෝචර වන දිනයක ලෝකය මීට වඩා සුන්දර වනු ඇත. යුද්ධය - ආගම - ජාතිය පමණක් නොව ආදරය ගැන ද නැවුම් ලෙස සිතන එවන් හිස් පහළ වන තුරු අපි ඇස් නොපියා බලා සිටිමු!

| කසුන් සමරතුංග |