හවානා 09 - හිරු නොබසින අධිරාජ්‍යය ළඟ බලදේව !

හවානා 09 - හිරු නොබසින අධිරාජ්‍යය ළඟ බලදේව !
3
එක දහස් නවසිය බර ගණන්වල දවසක හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජිණිය මෙසිරිලකට පැමිණියාය. සීගිරිය නැරඹීම සඳහා ඇයව කැඳවාගෙන ගොස් සිටියේ හිටපු අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල විසිනි. කොහොමටත් සුළං තද සීගිරි ගල උඩදී හමා ආ සුළඟකින් රැජණ ගේ ගවුම මඳක් ඉහළට එසවී ලු. එය දුටු කොතලාවල වහාම ගමනේ නිල ඡායාරූප ශිල්පියා දෙස හැරී "ඉක්මණට ගහපං යකෝ, ගහපං" යැයි කීවේලු. එය 'ලු' කතාවකි. හැබැයි කොහොමටත් කොතලාවල සුරා සහ ස්ත්‍රී ලෝලියෙක් ලෙස ප්‍රකට අයෙකි. මේ තවත් 'ලු' කතාවකි. 
රැජණගේ ලංකාගමනය අතරතුර නවාතැන් ගත් හෝටලයේ කාමරයට පසු කලෙක විශාල ඉල්ලුමක් ඇති වුණේලු. ඕනෑම මුදලක් දී රැජණ හිටි කාමරයේ එක රැයක් හෝ ගත කිරීමට එකල සිටී ධනවත් ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් පොර කෑවේලු. ඉන් සමහරුන් රැජණ ශරීර කෘත්‍යය කළ වැසිකිළියේ තමනුත් ඒ වැඩේ කළ බව කියමින් තැන තැන උදම් ඇනුවේලු. වළ ඇතුළෙ දී තමන් ගේ අසූචි රැජින ගේ අසූචි සමඟ මිශ්‍ර වීම ගැන ඔවුන්ට සෑහෙන්න සතුටක් දැනෙන්නට ඇති! මේ කතන්දර බොරු කියා බැහැර කරන්නට ම නොහැකිය. වත්මන් ජනාධිපතිවරයා ද එංගලන්තයට ගොස් රැජණ හමුවූ විටෙක ඇය අත් මේස් ගලවා, දෑත පා තමා පිළිගත් අන්දම ගැන බොහොම උජාරුවෙන් කතා කළා අපට මතක ය. කොහොමටත් අප සවිඥානිකව හෝ අවිඥාණිකව 'රජකම' ළඟ නැමෙන රටක පුරවැසියන් ය. 

සෝමවීර සේනානායක ලියූ 'යශෝරාවය' නවකතාවේ එන චරිතයක් වන බලදේව නම් තරුණ ගුරුවරයා එහි එක තැනක අපූරු ප්‍රකාශයක් කරයි. ඔහු කියන්නේ බ්‍රිතාන්‍යයේ සිට සැබෑ සංස්කෘතික දූතයන් අපේ රටට නොපැමිණි බවත්, එසේ පැමිණි අයගෙන් මෙරටට උරුම වූයේ මජර සංස්කෘතියක් බවත් ය. අපේ රටේ සංස්කෘතික විකාරරූපී බවට එය ද පැහැදිලි හේතුවක් වූ වග ඔහු ගේ අදහසයි. බලදේව හරහා සෝමවීර සේනානායක මේ කියන කතාව අපට පහසුවෙන් මඟ හැර යන්නට නොහැකිය. ar110301310

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි වන ලැයිස්තුවේ තැනක ස්ථානගත වී සිටින හැරී කුමාරයා විවාහ වූයේ ඔහුට වඩා මඳක් වැඩිමහල්, මීට පෙර විවාහ වී සිටී ගැහැනියක සමඟ ය. රජ පවුලටවත් පුරවැසියන්ටවත් එය ගැටළුවක් වූයේ නැත. අද ඔවුන් සාර්ථක දිවියක් ගත කරන බව පෙනෙන්නට තිබෙයි. අතීතයේ දී රජ පවුල ඩයනා කුමරිය සම්බන්ධ සිදුවීම්වලදී කටයුතු කළේ තරමක් දැඩි අන්දමකින් වග ඇත්තකි. නමුත් කාලයත් සමඟ ඔවුන් වෙනස් වී ඇති සෙයකි. එසේ වුව රැජණ පස්ස තැබූ වැසිකිළි වළේ වාඩිවෙන්නට පොර කෑ මිනිසුන් සිටී අපේ රටේ තවමත් විවාහය හෝ ප්‍රේමය අබියස සිතුවිලි ක්‍රියාත්මක වන්නේ කෙලෙසද? එතැනදී කුලය, ජාතිය, ආගම, වයස, පෙර සම්බන්ධතා ආදී නහුතයක් කාරණා එළි බසියි. අවසාන ප්‍රතිඵලය බොහෝ දුරට එක්වීමට වඩා වෙන්වීමයි. ඉතිං බලදේව කී කතාව බොරුවක්ද? 1මීට වසර කීපයකට උඩදී බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිකාරීත්වය පිළිබඳ තිබූ නීති සංශෝධනයකට ලක්විය. එතෙක් පැවතුණේ පිරිමි හිමිකාරීත්වයක් නොමැති නම් පමණක් ගැහැනියකට කිරුළ හිමිවන ක්‍රමයකි. වත්මන් රැජණට ලැබුණේ එබඳු අවස්ථාවකි. නමුත් පවුලේ වැඩිමහලා පිරිමි හෝ ගැහැනු කවුරුන් වුව ද ඔහුට හෝ ඇයට කිරුළ හිමිවන පරිදි එම නීතිය වෙනස්කමට භාජනය කෙරිණි. කාලය සහ අවස්ථාව අනුව දේවල් වෙනස් වන්නේ එලෙසිනි. නමුත් ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි වූවායැයි කියන, ජනාධිපතිවරියක ද බලය හෙබවූ මේ රට තවමත් ගැහැනිය ගැන දක්වන ආකල්පය කෙබඳුද? වෙනස් නොවන සහ නොකරන නීති - සම්ප්‍රදායන් මත ම එල්ලී අප ගමන් කරන්නේ කොතැනටද? වත්මන් සමාජ - දේශපාලන ක්‍රියාවලිය දෙස ඇස යොමන විය අපට ඒ ප්‍රශ්නවලට උත්තර පැහැදිලි ය. ඉතිං නැවතත් අසන්නේ, බලදේව කී කතාව බොරුවක්ද?

වෙනස්කම් අබියස දණ නැමීම රජෙකු ළඟ හිස නමනවාට වඩා ශිෂ්ට නැද්ද?
විශිෂ්ට නැද්ද?

| කසුන් සමරතුංග |