හවානා 07 - සිත්තම් සිරුරක අසිරිය  Tattoo man !

හවානා 07 - සිත්තම් සිරුරක අසිරිය  Tattoo man !
rwetyruscfio
හිතේ කෙටූ ටැටූ තිබෙන්නට පුළුවන් වග මුල්ම වතාවට අපට අනාවරණය කළේ මීට කලකට ඉහත දී භෞතිකව අපෙන් සමුගත් ඉන්දික ගුණවර්ධන නම් සහෘදයා ය. සාමාන්‍යයෙන් ටැටූ කොටන්නේ ගතේ ය. අතක, පයක, පපුවක පමණක් නොව නිරන්තරයෙන් බාහිරට නිරාවරණය නොවන පෙදෙසක වුව ද එසේ ටැටූ කොටන්නට හැකිය; කොටාගන්නට හැකිය. නමුත් කවියෙකුට, සිත්තරෙකුට, සත්සර නිර්මාපකයෙකුට, ලියන්නෙකුට ඈ ආදී ඇතැම් කලාවක කෙළ පැමිණියෙකුට හිතේ ටැටූ කොටන්නට බැරිකමක් නැත. මේ මොහොත වන විට ඉන්දික ම සිය භාවිතයෙන් එය අපට ඔප්පු කරමින් සිටියි. gaiya 1

ටැටූවලට ඇත්තේ බරපතල සහ ඉපැරණිතම ඉතිහාසයකි. ස්වකීය අනන්‍යතාවය තහවුරු කර ගැනීම උදෙසා ටැටූ කෙටූ පැරණි ගෝත්‍රික සමාජයේ සිට නූතන සමාජය දක්වා ඒ ඉතිහාසය විසල් පරාසයකි. ඒ තුළ රසවත් - ඛේදජනක - ත්‍රාසජනක - හාස්‍යයජනක කතන්දර බොහොමයකි. ශ්‍රී ලංකාව තුළ නම් 'මරුවා බුදු වේවා - අම්මා සමඟ වාසේ' මට්ටම අභිබවා ටැටූ ගැන සංවාද ඇතිවන්නේ අතිශය කලාතුරකිනි. ඒ ද සුළු පිරිසක් අතර ය. නමුත් කවුරු කොහොම කිව්වත් ටැටූ යනු කලාවකි; සංස්කෘතියකි; සමාජ - දේශපාලන පැතිකඩකි. සුලබ නැතත් එකී බහුවිධ පරාසයන් තුළ ගිලී විවිධ අත්හදාබැලීම් සිදු කරන්නෝ සිටිති. gaiya 5

ගයාන් රත්නායක යනු එබඳු දුලබ තරුණ සිත්තරෙකි. ගයාන් රත්නායක යන නම ඇසීමෙන් කෙනෙකු තුළ ඇතිවිය හැකි නුහුරුබව සුජිත් රත්නායක සහ ප්‍රගීත් රත්නායක යන නාම කාය දෙක සිහිපත් කිරීමෙන් බොහෝ දුරට මඟ හරවා ගැනීමට හැකි වනු ඇත. දැනටමත් පින්සලෙන් සිය අනන්‍යතාවය සලකුණු කර ඇති සුජිත් සහ ප්‍රගීත් ඇතුළත් රත්නායක සිත්තර සහෝදර දම් වැලේ යටි පුරුක හෙවත් නවමු නියෝජනය ගයාන් රත්නායක යි. ගයාන් සිය සහෝදරයන් ද ගැවසෙන වැඩ බිමේ තමාගේම අනන්‍යතාවය සොයා වෙහෙසෙන්නෙකි. ඔහු ගේ නවත ම අත්හදා බැලීම Tattoo Man හෙවත් පච්ච මිනිසා නමි.  gaiya 4
 
පච්ච නොහොත් ටැටූ ඇඳෙන කැන්වසය මිනිස් සිරුරයි. එය පුද්ගල වෑයමකි; අරමුණ බොහෝ විට පුද්ගලික සංතෘප්තියයි. නමුත් ටැටූ එකට එකතු කර අපට මිනිස් සිරුරක් ගොඩනංවන්නට නොහැකිද? එවිට එය පොදු වෑයමක් බවට පෙරළා අරමුණ පොදු සංතෘප්තියක් කරා මෙහෙයවන්නට බැරිද? ගයාන් රත්නායක තමා ඉදිරියෙන් තබාගත් අභියෝගය එයයි. එකී අභියෝගය ජය ගන්නට ඔහු දැරූ වෑයම ඔහුගේ මේ චිත්‍ර හරහා අපට කියවා ගන්නට පුළුවන. මිනිස් මුහුණකින් පවා හරි හැටි හැඟුම් පිටතට නොපෙනෙන නිමේෂයක ටැටූ බොහොමයක් එකට තබා භාව ප්‍රකාශන සහිත මිනිස් සිරුරක් නිර්මාණය කිරීම කිසිසේත් ම පහසු කටයුත්තක් නොවේ. ඒ අපහසු කටයුත්ත වෙනුවෙන් සිදුකළ මේ ගයාන්මය මැදිහත්වීම අපට පහසුවෙන් මඟ හැර යා නොහැකිය. සිත්තර ලැදි - නොලැදි ඇස් නිසැකව ම ඒ මතට යොමු විය යුතුය.   gaiya 3 1

කොහොමටත් අප මේ සිටින්නේ සාමූහික ප්‍රයත්නය ගිලිහී ගිය සමාජයක ය. එනයින් ගෙන බලන කළ ගයාන් ගේ මේ උත්සාහය කලාත්මක ප්‍රකාශනයකට එහා ගිය සමාජ - දේශපාලන කියැවීමක හැඩය ගනියි. ඔහු ටැටූවක බර දමා අපේ හිත් මතට තදින් අනියි. ඉතිං කළ යුත්තේ කුමක්දැයි ඔබ දනියි. දිනෙන් දින හැකිළෙන, බොහෝ දෙනා මැදිහත් වන්නට පැකිළෙන කලා - සංස්කෘතික අවකාශය යළිත් ප්‍රසාරණය කිරීම උදෙසා 'පච්ච මිනිසා' ගේ අනාගත දායකත්වය අපේක්ෂාවෙන්, ඔහුට සුබ පතමින් අපි අද තීරුව මෙතැනින් නතර කරමු!

| කසුන් සමරතුංග |
gaiya 6