ගෙදර ඉඳන් කියවන්න 05 - කළුගල් අතරට මැණිකක් !

ගෙදර ඉඳන් කියවන්න 05 - කළුගල් අතරට මැණිකක් !

එම් එස් ප්‍රනාන්දු යනු ලංකාවේ බිහි වූ අමුතු ගායකයෙකි. ඔහුට ඔහුගේ ම ශෛලියක් තිබිණි. බයිලාවලින් සුහුරු ලෙස වැඩ ගත් එම් එස් මීට අවුරුදු විසිපහකට විතර පෙර ජීවන රිද්මය නතර කළේ ය. එම් එස්, මෑතකදී ආයෙ මතු වී ආයේ Chinthana Dharmadasa සහෝදරයාගේ ඇවිළෙන සුළුයි චිත්‍රපටයේ Indrachapa Liyanage සහෝදරයා අතින් යළි නිමැවුණු `මැණිකෙ මම ආයෙ ගෙදර එනවා` ගීතයෙනි. (එම් එස් ගැන ටිකක් විස්තරාත්මකව කතාකිරීමට ආරාධනා ලැබුණු වැඩක් කැලැන්ඩරයේ යෙදී තිබුණ ද මේ වසංගත තත්ත්වය මැද කැලැන්ඩරයේ සියලු දින එක ම කුසීත පැහැයක් අරගෙන හෙයින් ඒ දවස කවද්ද කියා තව ම නොදනිමි.)

මීට මාස කීපයකට පෙර පෙර එම් එස් ගායනා කළ අපූරු ගීතයක් යළි මුණගැසිණි. මේ ගීතය කළින් අසා තිබුණ ද යළි හිතට වැදුණේ මෑතකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දුරගමනක් ගිහින් එන විට ය. `දිළි දිළි දිළිසෙන එළියක් - එළියෙන් දෙන කළ එළියක් - කළුගල් අතරට මැණිකක් පහළ වෙලා ඇත්තේ` යනු ඒ ගීයයි. යූ ටියුබ් සුවිසැරියකදී ඔබට සොයාගත හැකි ඒ ගීය සිකුරුලියා චිත්‍රපටයේ ගීයකි. සිකුරුලියා චිත්‍රපටයේ එන ගීවලින් දෙකක් සෑහෙන ප්‍රසිද්ධ ය. ජනප්‍රිය ය. එකක්, ඉන්ද්‍රාණි පෙරේරා ගයන `වසන්තයේ මල් කැකුළ` ය. අනෙක, මිල්ටන් පෙරේරා ගයන `කොමළ ලියා බොළඳ ලියා- මාව දමා යන්න ගියා` ය. ඒ ගී දෙක තරම් මේ ගීය ප්‍රසිද්ධ නැත. මතකය නිවැරදි නම්, තවත් ගීයක් හෝ දෙකක් එහි තිබේ.

`වසන්තයේ මල් කැකුළ` මෙන් අනුරාගී නිදහස භුක්ති විඳි ගැහැණියක් සිය සැමියා අතහැර වෙනත් පිරිමියෙකු හා ගිය විට `මාව දමා යන්න ගියා` යැයි ශෝකයෙන් ගයන්නේ සැමියා ය. සිකුරුලියා විස්මයජනක සුසංයෝග චිත්‍රපටයකි. එච් ඩී ප්‍රේමරත්නගේ පළමු චිත්‍රපටය එය ය. එච් ඩී එයට සංගීතය දීමට ක්ලැරන්ස් විජේවර්ධනව ගැනීම මරු තේරීමකි. එහි එන ගීතයක් ගැයුමට ක්ලැරන්ස්, මිල්ටන් පෙරේරාව ගැනීම ඊටත් වඩා මරු තේරීමකි. සුවිනීතාව රැගෙන යන ජෝගේ තිප්පොළේ එදා රෑ සාර සුබා සාජ්ජයකි. සාජ්ජයේ ගීතය ගයන්නේ ඒ කල්ල කඩත්ත මිතුරු පොකුරේ ඉන්නා හැඩකාර හාදයා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ය. කටහඬ එම් එස් ප්‍රනාන්දුගේ ය. ප්‍රනාන්දු සුසංයෝගය තකට තක ය. කළුගල් අතරට මැණික් පහළ වනුයේ එබඳු අසිරිමත් අහම්බයන්ගෙනි.

අද ඒ ප්‍රනාන්දුලා දෙන්නා ම සුර ලොව ය. ඇලෙක්සැන්ඩර් රඟපෑ බොහෝ චරිතවල නම `ඇලෙක්ස්` ය. `කෙල්ල, කොල්ලා, කොල්ලගෙ යාළුවා, දුෂ්ඨයා, විකටයා` වට්ටෝරුවේ බොක්ස් ඔෆීස් චිත්‍රපටවල, ස්මාට් දුෂ්ඨයා හෝ දුෂ්ඨයාගේ කඩවසම් ම සහචරයා වූයේ ඇලෙක්ස් ය. ගාමිණීට විජයට තරම් ම  නැතත් ඊට යට රූලක සිට හෝ සේනාධීරට බැප්ටිස්ට්ට ඇලෙක්සැන්ඩර්ට බන්දු මුණසිංහට එකල ප්‍රේක්ෂකයෝ ආදරය කළහ. ඔවුන්ව වින්දහ. සොඳුරු අතීතයක සෙලෝලයිඩ් සිහින පිටුපස ඒ සියල්ලන්ගේ ම ශ්‍රමය තිබූ බව ඔවුහු අවිඥානිකව හෝ දැන සිටියහ. ජාත්‍යන්තර මට්ටමේ මල්ලවපොර සූරයකු, සිනමා සටන් බිමේ නාගරික ප්‍රතිරූපයක් සහිත ප්‍රතිවීරයෙක්ව වැජඹෙන්නට පටන් ගත්තේ ඒ රසික ආකර්ෂණය මැද ය.

සිංහල සිනමා ප්‍රේක්ෂකයෝ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුට ආදරය කරන විට ඔහුගේ උප්පැන්නයේ ඇති දෙමළ සම්භවය අමතක කර දැමූහ. රසිකත්වයට ජාතියක් නැත. එහෙත් ජාතිවාදයට රසිකයන් ඇත. ජාතිවාදය  ඇත්තේ ඇටමිදුළුවල ය. ආනන්ද හේවගේ නමැති අධ්‍යක්ෂවරයා අතින් පසමිතුරෝ නමින් චිත්‍රපටයක් හැදෙන්නේ ඉතිහාසයක් පුරා පසමිතුරුකම් නඩත්තු කරන සිංහල දෙමළ මිනිසුන්ට නරඹන්නට ය. ඒ කතාව අපූරු එකකි. දුම්රියෙන් සිරකරුවන් පිරිසක් ගෙන යමින් සිටිති. දෙදෙනා බැගින් එකට අමුණා මාංචු දමා ඇත. එක මොහොතකදී ක්ෂණික තීරණයක් ගන්නා සිරකරුවෝ දෙදෙනෙක් ජේලර්ලා හොල්මන් කරමින් කෝච්චියේ සිට පිටතට පනිති. එහෙත් ප්‍රශ්න දෙකක් ඇත. එකක් නම්, දෙදෙනාට තමන් කැමති මාවතේ යා නොහැකි ලෙස එක්ව බඳින ලද දම්වැලක් ඇත. දෙවැනි ප්‍රශ්නය පළමුවැන්නටත් වඩා බියකරු එකකි. ඒ කුමක් ද ?

දෙන්නා එකිනෙකට පසමිතුරු ජනවර්ග දෙකක ය. එකෙක් වේලු ය. අනෙකා ගැමුණු ය. මර්වින් ජයතුංග ගැමුණු වන විට වේලු වූයේ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ය. ඓතිහාසික සංකේත නාම දෙකක් එකට තබා දමන ලද යකඩ මාංචුවකි. දෙන්නාට දෙන්නා නයි වෛර නිසා මාංචුව ගලවා ගැනීම තබා අඩි දෙකක් ඉදිරියට යෑම පවා දුෂ්කර ය.  අමතක නොවන දර්ශනය නම්, වන බූටෑව තුළට වැද මාංචුවේ උපරිම දුර තබාගෙන දෙදෙනා ශරීර කෘත්‍යය කිරීම ය. වෙන්ව දෙපැත්තට ඇදීමෙන් වනුයේ දම්වැල තවත් තද වීම පමණි. එක්ව සමගිව යදම් බිඳිනු හැර වෙන මාවතක් නැත. චිත්‍රපටය දිගහැරෙන්නේ එසේ ය. එහෙත් හිත කීරි ගැහෙන කරුණ වන්නේ, අප ලද තොරතුරකට අනුව පසමිතුරෝ තිරගත වී ඇත්තේ 1983 ජුනි මාසයේදී ය. එම තොරතුර නිවැරදි නම්, ඊළඟ මාසයේදී, එනම් 83 ජූලියේදී, `පසමිතුරෝ` හෝල්වල තියෙද්දී ම - `පසමිතුරෝ` කටවුට් ඉදිරියේදී ම `පසමිතුරෝ` ලංකා මහපොළොවේ මරාගන්නට ඇත.  

පසමිතුරෝ`ලෙස රඟපෑ මර්වින් සහ ඇලෙක්සැන්ඩර් සැබෑ ජීවිතයේදී හොඳ මිතුරෝ ය. පසමිතුරෝ චිත්‍රපටයෙන් චරිතාංග රංගනයට තමන් තුළ ඇති ශක්‍යතාව ඔවුහු දෙදෙනා ම පෙන්වූහ. එහෙත්, කළුගල් අතර පහළ වූ ඒ මැණික් ඔප දමන්නට අපේ දූපතේ සිනමාව පොහොසත් නොවී ය. ඇලෙක්ස් යනු ඔප දැමීම මගහැරුණු එවන් මැණිකකි. ලංකාවට වැඩි ම සංස්කෘතික බලපෑමක් කළ ඉන්දියාවෙන් අපට ගත හැකි පරමාදර්ශ සිනමාදර්ශ අප ගත යුතු ය. ඇලෙක්ස් සමගින් ම නික්ම ගිය ඉර්ෆාන් ඛාන් එරට ඔප දැමූ මැණිකකි. ඔප දමන්නට දමන්නට මැණික් දිළිසෙන හෙයින් නළුවකුගේ දිස්නය යනු ඔවුනට පෙම් බඳින ප්‍රේක්ෂකයන් අතර තරගයක් නොව, සමාජ සංස්කෘතික ඔපවත්කම නැමති මානයේ අනිවාර්ය පාඨාංකයක් වේ. ඇලෙක්ස් ස්ථානගත වනුයේ එහෙව් සන්දර්භයක ය. එහෙයින් ඔහු නොකියා කියා යන අවසන් පණිවිඩය නම්, ``ෆයිට් එක ඇත්තේ අනාගත සිනමාවේ`` බව ය. 

ඉතින් කෙසේ වුව, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් වූ ස්මාට් සටන්කරුව, මේ අසම්පූර්ණ කෙටි සටහන ; ඔබ පිළිබඳව සහ ඔබ නියෝජනය කළ සකල මාණික්‍යයන් පිළිබඳ, සදා නොමියෙන මතකයට ඉතා ආදරයෙනි !

sswrd

| විමල් කැටිපෙආරච්චි | සිතුවම - ප්‍රවීණ චිත්‍රශිල්පී Janaka Ilukkumbure  ෆේස්බුක් පිටුවෙනි |