ගෙදර ඉඳන් කියවන්න 04 - ෂර්ලොක් හෝම්ස්ට කළින් අප දුටු දිවාකර !

ගෙදර ඉඳන් කියවන්න 04 - ෂර්ලොක් හෝම්ස්ට කළින් අප දුටු දිවාකර !

කාටවත් ලේසියෙන් අහු නොවෙන දේවල් සුගතපාල ද සිල්වා නමැති පුදුම ලේඛකයා අමුතුම විදිහට අල්ලා ගත්තේ ය. ඔන්න, ඔහුගේ නවකතාවක එක චරිතයක් වරෙක උකටලී වන්නේ වෙනස් ලෙස සැලකීමකට භාජනය වීමෙනි. එවිට තවත් චරිතයක් මෙවැන්නක් කියයි.

"මිනිස්සු මූණ හෝදනකොට වතුර ගොඩක් පාවිච්චි කරනවා. සෑහෙන වෙලාවක් ගන්නවා. ඒත් වැසිකිළි ගිහින් හෝදගන්න පොඩි ටින් කෑල්ලක වතුර ඇති. එච්චර වෙලාවක් ගන්නෙත් නෑ. තමන්ගෙම ශරීරයේ දෙපැත්තට එහෙම දෙවිදිහකට සලකන මිනිස්සු, තවත් මිනිස්සු දෙන්නෙකුට දෙවිදිහකට සලකන එක ගැන පුදුම වෙන්න එපා".

එය ලිව්වේ මතකයෙනි. පොඩි එහා මෙහා වීමක් තිබිය හැකි ය. එහෙත් අදහස ඒක ය. එම දෙබස ඇත්තේ 'එසේ වී නම් මිනිසුනේ අසව්' හි ද නොඑසේනම් 'බල්ලෝ බත් කති' තුළ දැයි මට හරියට ම මතක නැත. මතක ඇති සහෘදයෙක් අප පහදත්වා.

සුගතපාල ද සිල්වා නිර්මාණය කළ නාට්‍ය හෝ ලියූ පොත් ඇසුරු කරන්නට පෙර මේ ලියුම්කරුගේ  සවනත වැකුණේ එතුමන් ලියූ ගුවන් විදුලි නාට්‍ය ය.

මේ කියන කාලයේ ස්වදේශීය සේවයේ සෑම බ්‍රහස්පතින්දාවක ම රාත්‍රී අටට විකාශය වූ රහස් පරීක්ෂක කතා මාලාව රචනා කළේ සුගතපාල ද සිල්වා ය.

බියකරු සංගීත රාවයකින් ඇරඹෙන එය අසන්නට අපි රේඩියෝවට ළං වන්නෙමු. වැස්ස වළාහක, ගොම්මන් හෝරාව, රාස්සිගෙ අව්ව, අව්රංගා වැනි ඒ ඒ කතාවල නම් ද ඒ බියකරුකම තීව්‍ර කළේ ය.

රහස් පරීක්ෂක දිවාකරගේ වික්‍රම නමින් විකාශය වූ ඒ ගුවන් විදුලි නාට්‍ය මාලාව නිකම් ම නිකම් නාට්‍ය නොවී ය. සුගතපාල ද සිල්වා, සිය කතාව අතරින් හද්දා පිටිසර ගුවන් විදුලි අසන්නන් අධ්‍යාපනික හා සංස්කෘතික කිරීමේ වැඩක් ද දැනුවත්ව සියුම් ලෙස කළේ යැයි සිතමි.

නිදසුනක් දෙකක් පවසතොත් ; එක කතාංගයක, "ඔන්න ඔය වතුර ඩිකැන්ටරය මෙහාට දෙන්න" වැනි දෙබසක් විය. ඩිකැන්ටරය යන වචනය ලියුම්කරු මුළින් ම ඇසුවේ එදා ය. අපි ඉන් පසු ඒවා සෙවීමු.

ඒ කතා මාලාවේ ආ එක කතාවක, නාරද අමරවංශ නම් චරිතයක් විය. නාරද අමරවංශ ජුවලරි සාප්පුවක අයිතිකරුවෙකි. ඒ සාප්පුවේ ටෙලිෆෝනය ට්රීං ට්රීං හඬින් නාද වෙයි. නාරද දුරකථනය ගන්නේ "අමරවංශ ජුවලර්ස්" යනුවෙන් කියමිනි. මෙකල මෙන් ජංගම හෝ ස්ථාවර දුරකථන සුලබ නැති එකල, දුරකථන ඇමතුමකදී රිසීවරය උස්සා, සම්මත ආචාරශීලීත්වය අනුව ඇමතුම ලබන්නා මුළින් ම කිව යුත්තේ ලබන්නාගේ නම බව අප උගත්තේ එලෙස ය. එවිට වැරදි නොම්මරයක් නම් sorry, wrong number කියන්නට ගතවන කාලය මිස ඊට වඩා කාලයක් නාස්ති නොවේ.

rfeucshbs

මේ කතා මාලාවේ සිටි රහස් පරීක්ෂක දිවාකර යනු පසුකාලීනව අප හඳුනාගත් ෂර්ලොක් හෝම්ස් චරිතයට සමාන ය. දිවාකරට පණ දුන්නේ මේ පින්තූරවල ඉන්න කරුණාරත්න අමරසිංහ මහත්තයා ය. වැඩි කලබල නැති, පරිණත, මැදිවියේ මුත් කඩවසම් රහස් පරීක්ෂක වරයකුගේ රූපය අප සිත් තුළ සිටගත්තේ කරුණාරත්න අමරසිංහ හඬිනි. සුගතපාල ද සිල්වාගේ වචන දිගේ කරුණාරත්න අමරසිංහ රේඩියෝවෙන් රූප මැව්වේ ය.

පසුකලෙක සිරස රේඩියෝවට රංජිත් අමරසේකර නිර්මාණය කළ ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ හෝම්ස් වූයේ ද අමරසිංහ මහත්තයා ය. ටයිටස් තොටවත්ත සූරීන් අත ද විස්මිත ආයුධයක් වූ, සිංහල භාෂාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති  අමරසිංහ කටහඬ, එක්තරා ආකාරයක ප්‍රඥාවේ සංඥාවකැයි සිතමි. එය එතරම් ම නිවුණු සහ ස්ථාවර එකකි. සුගතපාල ද සිල්වා තැබූ හඬ නළුව ළකුණේ, අදටත් ජීවමාන කරුණාරත්න අමරසිංහ මුද්‍රාව මග හැරිය නොහේ.

මේ සමාජ ජාල සටහන ඒ සුධීමතුන් දෙදෙනා ම වෙනුවෙනි. ලංකා හා ජනරළ පත්තර වෙනුවෙන් එතුමන් සමග සම්මුඛ වෙන්නට හැකි වුව ද over the shoulder වැඩසටහනක්  කරන්නට බැරි වීමේ පසුතැවිල්ල මෙහි ම බහාලමි.

කොරෝනාවලින් පසු කරන්නට වැඩ බොහොම ය.

| විමල් කැටිපෙආරච්චි | සේයා රූ - Ravindra Puspakumara |

ගෙදර ඉඳන් කියවන්න - 01

ගෙදර ඉඳන් කියවන්න - 02

ගෙදර ඉඳන් කියවන්න - 03