ගෙදර ඉඳන් කියවන්න 03 - අතීතයෙන් මේ මොහොතට ; නීලා

 ගෙදර ඉඳන් කියවන්න 03 - අතීතයෙන් මේ මොහොතට ; නීලා
 
ඊයෙ පෙරේදා රූපවාහිනියේ නැවත විකාශය කළ ඉපැරණි `ආදරණීය රෝහණ` වැඩසටහනක් අද රිවයින්ඩ් කර බැලුව ද, ඒ ප්‍රසංගයේ තිබූ හැම සින්දුවක් ම පාහේ මුළින් ම ඇසුවේ ඒ කාලයේ ගෙදර තිබුණු කැසට් රේඩියෝ එකෙනි.  රේඩියෝ එකෙන් සින්දු අහනකොට රිවයින්ඩ් නැත.  ලිරික්ස් හොයන්නට ඒ කාලයේ ගූගල් තිබුණේ ද නැත. හද බැඳගත් සින්දුවක් යනකොට ම කඩාගෙන බිඳගෙන බඩුමුට්ටුත් පෙරළගෙන විත්, අතට අසුවෙන මායිමේ ඇති කඩදාසියක පෑනකින් හෝ පැන්සලකින් පට පට ගා වචන ටික සටහන් කර ගත යුතු ය. ඒ ද බොහෝ විට සටහන් කරගත හැකි වන්නේ අඩු ලුහුඬුකම් සහිතව ය. එම ගීය තවත් වාරයක් හෝ දෙකක් විකාශය වන වෙලාවක් අල්ලා ගත් විට පදරචනය සම්පූර්ණ කරගැනීම රාජ්‍ය බලය අත්පත් කරගැනීමට සමාන සතුටක් ගෙන දෙයි.
 
එහෙම ලියාගත් ඇතැම් සින්දු, ලියූ කොලය පමණක් නොව, මොන අතට කොහොම ලිව්වා ද කියාත් මතක තිබීම පුදුම ය, ඒ මතකය විභාගවලදී ද තිබිණි නම්, අද අපට පාස් කරන්නට විභාග ඉතිරි වන්නේ නැත. `නෙක උයන් වතු මැදින්` සටහන් කරගත්තේ ෆුල්ස්කැප් කොලයක රතු ඉරෙන් මෙහා හරහට බවත්, `මේ ප්‍රේම සීමා මාලකේ` සටහන් කරගත්තේ කහ පැහැති බාල හාෆ් ෂීට් එකක යට හරියේ බවත් සිතේ ඇත. එහෙම ලියාගත් සින්දු කෑ ගගහා මිදුලේ ඇවිද ඇවිද කියන විට ඒවාට සවන්දීමේ අසීරු ඉරණම භාරගත් අම්මලා තාත්තලාට වෙනම ගාථා හදා වැඳිය යුතු ය. මල්ලී කරන්නේ, හොඳින් අසා හිඳ, ``එතන එහෙම නෙමෙයි හලෝ එන්නේ`` කියා තනුව සම්බන්ධ අත්‍යවශ්‍ය උපදෙස් ලබා දීම ය. මං වගේ ම ඌත් කළේ චිත්‍ර ය. 
 
ඒ කෙසේ වුව, ``නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි.. හෙට දවස මීවිතක් සේ දිසෙයි.. නිදැල්ලේ ගලා ගිය ජීවිතේ.. නිම්නයක නතර වී ගිම් නිවයි`` යනුවෙන් කෑ ගසා ගැයීමි. ``රෑ පාළුවෙ තුන් යාමයේ රැඳුනේ ඔබයි දෑසේ..`` කියමින් එකල්හි පෙම් කතාවක සිතින් සැරිසැරුවෙමි. කොහොමත් එකල බොහෝ පෙම් කතා සීමා වූයේ සිතට පමණි. මූණවල්වල හකු බැස්ස ගිරව් වැනි ගැටවර කැහුට්ටන් බෝනික්කන්ට පෙම් බැන්ද ද බෝනික්කෝ අපව එක හෙළා ප්‍රතික්ෂේප කරමින් යෝධයන් එක්ක යාළු වූහ. හැබැයි ඉතින් මේ ලියා පාඩම් කරගත් සින්දුවලින් ස්කූල් බස් එක නම්, දෙක කෙරුවෙමු. එහි වූ ඇතැම් බැල්මක් අප වෙත යොමුවන විට යෝධයන් මොහොතකට හෝ පරාජය වී නිමේෂයකට අප දිනූ බව වැටහෙන්නේ දැන් ය. අපරාදේ.
 
ගමේ ද ටවුමේ ද මිතුරු පොකුරු දෙකක් තිබුණු අතර දෙකේ ම හිටියේ සින්දු උම්මත්තකයන් ය. ඔවුන් සමග එකට වැටී සින්දු කීම තරම් සතුටක් මේ ලියුම්කරුට නොතිබිණි. සින්දු මහ පුදුම දෙයකි. අපව කාලත්‍රයේ සැරිසැරවිය හැකි අමුතු බලයක් සින්දුවලට ඇත. බොහෝ සින්දු අපේ මතක මායිම් සමග ගැටගැසී ඇත්තේ එනිසා ය. සින්දු කියන නගරයේ මනහර ගිටාර නාද කොන්ගො බොන්ගො තාලවලින් අපගේ යව්වනය සිත්තම් වීම ජීවිතයේ වාසනාවන්ත ම දේවලින් එකකි. දිවි සැරියේ ආලවන්ත චාරිකා හැමෙකක ම සින්දු ඕනෑ තරම් පිරී ඉතිරී ගියේ එබැවින් විය යුතු ය. අද ද ඇතැම් රාත්‍රී සාදයක් කෙළවර වන්නේ ඉර පායන තෙක් සින්දු කීමෙනි. 
 
අද `ආදරණීය රෝහණ` බලන විට මෙවැන්නක් ලිවිය යුතු ය කියා සිතුණේ නීලා වික්‍රමසිංහ `පුංචි සිතේ පුංචි සිනා` ගයනු දැක්ක විට දී ය. ඈ මගේ ප්‍රියතම ගායිකාවයි. ඇගේ හඬේ සතුට ද සාංකාව ද ප්‍රහර්ෂය ද උපේක්ෂාව ද එක මාත්‍රාවට සංයෝග වී ඇතැයි මට සිතෙයි. එක් වතාවක් නීලාට සවන් දී බලන්න මා කියන්නේ බොරු ද කියා. එකවරක්, මා ගමෙන් පිට සිටින කාලයක, කැසට් පටයක හොවා ``ඔබගෙ සෙවනේ රැ‍ඳෙන සහනේ - වේවා සදා වාසනාවන්.. ඔබගේ සරණේ නොනිමි සෙනෙහේ - සසර සරන තුරුම වාසනා`` යන නීලාගේ සින්දුව, පෙම්වතියක මට එව්වා ය. මා ආපසු ගමට යන විට ඈ `මගේ සසර` අවසන් කර `අලුත් සසරක්` අරඹා තිබිණි. එය වෙන ම කතාවකි.
 
දැන් මේ සටහන අවසන් කරමි. අද බැලූ ප්‍රසංගයේ නීලා ගැයූ `පුංචි දේට කතා වෙලා - රණ්ඩු වෙලා ‍වෛර බැඳන් -  කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා`` යන පද කුලරත්න ආරියවංශ ලිව්වේ දේශපාලන පාර්ශ්ව තුනක් ගැනදැයි මා දන්නේ නැත. එහෙත්, ``මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගහලා - ජීවිතයේ කතන්දරේ කියා දියන්නේ``  යන කොටස නම්, ජීවිතය හා මරණය අතර මුඛ ආවරණ රහිතව සහ සහිතව ක්‍රීඩා කරමින් සිටින මේ කොවිඩ් නයින්ටීන් යථාර්ථයට මැනැවින් ගැළපෙයි. මේ දවස්වල හැමතැන ම අහන්නට දකින්නට ඇත්තේ `ලොකු උන්` ගෙවල්වලට වී කරන කියන දේ ය, `පොඩි උන්` මොනවා කරනවාදැයි එහෙමට වාර්තා වන්නේ නැත. උන් ඇතැම්විට, වසංගතයෙන් පසු ලොකු අයට කියා දීමට `ජීවිතයේ කතන්දරේ` ලියා සූදානම් කරනවා ඇති !
 
| විමල් කැටිපෙආරච්චි | 2020.03.26 ප.ව. 8.59 |