ගෙදර ඉඳන් කියවන්න 02 - පත්තරකාරයන්ගේ ජීවිතේ පිළිවෙලක් නැති ලේ අවුට් එක !

ගෙදර ඉඳන් කියවන්න 02 - පත්තරකාරයන්ගේ ජීවිතේ පිළිවෙලක් නැති ලේ අවුට් එක !

කුඩා කල සිහින රැකියා තුනක් තිබිණි. ඉන් එකක් පත්තරකාරයකු වීම ය.  ඇටෙන් පොත්තෙන් එළියට එනකොට ම වාගේ හොයාගෙන ගිය පත්තරවල සිටි `මිනිස්සු` ඒ සිහිනය අප සිත් තුළ රෝපණය කළා විය යුතු ය.

පත්තරකාරයන්ගේ ජීවිතය ගැන ලියන්නට හිතුණේ පත්තරකාරයකුගේ මරණය ආරංචි වීම නිසා වෙන්නටත් ඇති. ඒ මිතුරා, කිසිදා නුදුටු නදීෂ් දික්කුඹුර ය. ඔහු දැක තිබුණේ ඔහු ලියූ අකුරුවලින් පමණි. ඔහුට සුබ ගමන් කියන්නට ඒ මතකය හොඳට ම ප්‍රමාණවත් ය.

පත්තර ජීවිතයේ හමු වූ මිනිසුන් ගැන ලියන්නට මෙය අවස්ථාවක් කර ගනිමි. ඊට හේතුව, මා හිතවත් කල්පනා ඇම්බ්‍රෝස්ගේ වචනයෙන් කියනවානම්, `කාලය කියන්නෙ අපේ අතේ තියෙන දෙයක් නො වෙන හින්ද`. අනෙක් අතට කොරෝනා අපව තිගස්වා ඇත. ආදරය කුමට නම් පමා කළ යුතු ද ?

කාල සටහනක් නැති මරණයේ තොටුපළෙන් නදීෂ් නික්ම යන්නට පෙර අපට පෙර පරම්පරාවේ සමන් වගආරච්චි සොයුරා සමුගත්තේ ය. සමන් වගආරච්චි නම මුළින් ම දුටුවේ අවුරුදු ගණනකට පෙර යුක්තිය පත්තරයෙනි. ඉන්පසු ලක්බිමෙනි.

යුක්තිය පත්තරය (හිරිමල් පාඨකයෙක් ලෙස වුව) මේ ලියුම්කරුගේ වෙසෙස් ආදරයට ලක් වූයේ නැත. එකල අපේ දේශපාලන ප්‍රේමය සහමුළින් හිමි වූයේ ලක්දිව, හිරු වැනි `අපේ ලයින් එකේ` පත්තරවලට ය. දේශපාලන ආලය අන්ධයි. එනිසා ම බොහෝ විට අන්දයි.

සමන් වගආරච්චි සැබවින් මුණගැහුනේ දෙදහස් පහළොවට පෙර රාජපක්ෂ පාලන සමයේ ය. ඒ අලුත් පත්තරයක් පටන් ගන්නට කළ සාකච්ඡාවකදී ය. ඒ සාකච්ඡාවට පැමිණි එක් අයෙක්, ``අරලිය ගහ මන්දිරයේ තාප්පයේ නැග ෆොටෝ ගන්න පුළුවන්දැ``යි ෆොටෝ ජර්නලිස්ට්ගෙන් ඇසුවේ ය.

``එතකොට මේ මනුස්සයාගේ ජීවිතයට වග කියන්නෙ ඔයාදැ``යි  යක්ෂාරූඪව ඇසීමි. අලුත් පත්තරේ එතැනින් ම නතර විය. අපි කීපදෙනෙක් එදා රෑ ගල් අරක්කු බීවෙමු. ඒ බොන ගමන් සමන් අයියා මට අර කැමරාවක් අතැතිව සිටි `මනුස්සයා` හඳුන්වා දුන්නේ ය. ඔහුගේ නම අජිත් සෙනෙවිරත්න ය.

``අම්මට උඩු..`` මම උඩ ගියෙමි.  රාවයේ ෆොටෝවලට පහළින් තිබූ ඒ නම නොදන්නේ කවුද ? අජිත් අයියා ඊළඟට මුණගැහෙන්නේ සත්හඬ පත්තරයේදී ය. ඔහුගේ ලෙන්ස් එකට අහුවෙන රූපවලට මගේ සෙන්ස් එක ලිව්වෙමි. සමන් අයියා සමුගත් පුවත තහවුරු කළේ ද අජිත් අයියා වීම ඉරණම් සහගත ය.

දැන් සෙන්ස් එකයි ලෙන්ස් එකයි පළ වෙන්නේ ලංකා පත්තරයේ ය. මේ ලියුම්කරු ලංකා පත්තරයේ වැඩකරන දෙවැනි වතාව ය. පළමු වතාව මීට අවුරුදු දහයකට පෙර ය. එදා ආධුනිකයාට ලියන්නට අතදුන් කර්තෘවරු දෙන්නා ම අද පත්තර අහිමි පත්තරකාරයන් වී ඇත.

එක්කෙනෙක් එස්. සිවකුමාර් සහෝදරයා ය. අනෙක් කෙනා, චන්දන සිරිමල්වත්ත සහෝදරයා ය. දෙන්නා ම නිහඬ මිනිසුන් ය. හඬ නගා සිනා නොවෙන නිවුණු මිනිසුන් ය. සිවා එක්කත් චන්දන අයියා එක්ක මුළිනුත් මේ ලියුම්කරු වැඩ කළේ වෙනත් විද්‍යුත් මාධ්‍යයක වැඩකරන ගමන් ය.

රෑ දොළහට බීම් එක භාරගන්නට එෆ් එම් නාලිකාවට යන්නට ඕනෑ කාලයක් තිබිණි. දිනක් පහළ මාලයේ යකඩ දොර වසා තිබූ බැවින් ජනේලෙන් ලයිට් කණුවට මාරු වී බිමට පැන බයික් එකේ නැග එකොළහයි හතළිස් පහට ඉගිල්ලුනෙමි. ලේ අවුට් එකේ ධම්මික ඇසින් දුටු සාක්ෂිකරුවා ය.

චන්දන අයියා එක්ක නිල වශයෙන් ම කාලයක් වැඩ කළෙමි. එෆ් එම් නාලිකාවෙන් සහමුළින් ගලවා පත්තරයට අප කැඳවන්නට එවකට ලංකා ජී එම් වෙනුර සහෝදරයා සමග සැළසුම් සකස් කළේ අසංක සායක්කාර සහ ප්‍රියන්ත ලියනගේ ය. අලුත් අලුත් විධිවලට ලියන හැටි ඔවුන්ගෙන් ද උගත්තෙමි.

පත්තර ජීවිතය හොඳහැටි අත්දුටුවේ ලංකා කාර්යාලයේදී ය. රවීන්ද්‍ර පුෂ්පකුමාර සමග බයිසිකලයේ නැගී මුණගැසෙන්නට නොගිය දේශපාලනඥයෙක් නැති තරම් ය. බණ්ඩාර වැවගෙදර, සුබාෂ් ජයවර්ධන වැනි වැඩකරුවන්ද එහිදී මුණගැසිණි. පසුකලෙක රැකියා විරහිතව සිටියදී සත්හඬට සම්බන්ධ කරන්නේ ද සුබාෂ් ය.

ලංකා පත්තරයෙන් ජනරළට ගියෙමු. එතැනත් මෙතැනත් පුළු පුළුවන් හැටියට සටන් කරන අකුරු ලිව්වෙමු. අපට පෙර සටන් කළවුන්ගෙන් ලියන විධි උගත්තෙමු. ඉගෙන ගනිමින් සටන් කළෙමු. සටන් කරමින් ඉගෙන ගත්තෙමු. දිවයින කතුවැකියේ සහ රාවය විග්‍රහයේ භාෂා හරඹයට රහසින් පෙම් බැන්දෙමු.

ඉන් අනතුරුව `කැරැල්ල ගසමින්` ඉන්නා විට, කැරැල්ල සඟරාවේ කාර්යාලයට ගොඩ වී ``වැඩේ මරු බං !`` කිව්වේ හිරු කියවූ කාලයේ සිට වීරයකු වූ සිසිර යාපා ය.  අලුත් එවුන් වැඩක් කරන විට පරණ හණමිටිවලට පයින් ගසා අලුත් එවුන් එක්ක හරි හරියට වැඩකිරීමේ `වෛරසය` ඔහුට තදින් ආසාදනය වී ඇත.

අප දැන් ලියන දේවල හිමිකම මෙකී නොකී බොහෝ අයට අයත් ය. ඒ හැම අකුරකින් ම අපි ආහ්ලාදයට පත් වීමු. පැට්‍රික් අංකල්ලා, කොතලාවල මහත්තයලා, නාලක මල්ලිලාගේ සෝදු පත් අපේ අකුරු සෝදා පිරිසිදු කළේ ය. 

අප ලියන හැම අකුරක් පිටුපස ම අපට පෙර ලියූ මිනිසුන්ගේ අකුරු ඇත. අලුත් දිය පාරවල්වල රටා හැදෙන්නේ පැරණි ගංගා ගලා ගිය රටාවට අනුරූපව ය. අහසේ සිට බැලූ විට හැම ගංගාවක් ම ලස්සනට පෙනෙයි.

උසස් පෙළ පන්තියේ සිටියදී එකල කියැවූ විකල්ප පත්තරවල lay out එක අභ්‍යාස පොත්වල පිටකවරවලට කොපි කළෙමි. පත්තරකාරයකු වීම `ලේ - අවුට් විය හැකි` රස්සාවක් බව දැන දැන ම ඒ රස්සාවට ලව් කළෙමි. මේ දැනුත්, ලව් කරමි. ඒ ලේ අවුට් එක ඒ තරම් ලස්සන ය.

කොරෝනා නිසා මට වූයේ, ඒ ලස්සන ලේ අවුට් එකේ සිට සිසිර යාපා, මංජුල තන්ත්‍රිගේ, ප්‍රියදර්ශන දයාරත්න, සම්පත් චන්දන, ශාලික විමලසේන, කසුන් සමරතුංග, රුෂාන් කොඩිකාර, චතුර දිසානායක ආදීන් සමග විහිළුවට සහ ඇත්තට ම රණ්ඩු කිරීම පිණිස කර්තෘ මණ්ඩලයේ ඉඳගැනීම තව ටිකක් පමා වීම ය.

| විමල් කැටිපෙආරච්චි | 2020.03.20 ප.ව.10.30 |

ගෙදර ඉඳන් කියවන්න 01 - ජීවිතය නමැති හිතුවක්කාර කවිය !