නයිට් රයිඩර්

නයිට් රයිඩර්

අඟුලානේ කුලී ඇනෙක්සියේ ඉන්න කාලේ, ලියුම්කරු පුංචිම කාලේ, ගෙදර තිබ්බා පොකට් රේඩියෝ එකක්. රාත්‍රියට විකාශය වුණු මුවන් පැලැස්ස, මොනරතැන්න, බ්‍රිස්ටල් ක්‍රීඩා තොරතුරු වගේ වැඩසටහන්වල නම් මතකයි. දුම්වැටි ප්‍රවර්ධනය වළකන නීති හින්දද කොහෙද බ්‍රිස්ටල් අයින් වෙලා ඒ වැඩසටහන නැෂනල් ක්‍රීඩා තොරතුරු වුණා. දුම්වැටි වෙනුවට විදුලි උපකරණ. බ්‍රිස්ටල් වෙනුවට නැෂනල්. අසන්නාගේ හුරුව රැකගන්න ගුවන් විදුලියේ අලෙවි අංශය, සමාන නමක් තියෙන සේවාදායකයෙක් හොයාගත්ත එක අදටත් මරු කියල හිතෙන වැඩක්.

ඒ පොකට් රේඩියෝ එකේ අහපු සින්දු දෙකක් ලියුම්කරුගේ මතකයේ තියෙනවා. එක සින්දුවක් ඇහෙනකොට ආවේ රාත්‍රී හැඟීමක්. තව සින්දුවක් අහනකොට ආවේ දිවා හැඟීමක්. සමහරවිට ඒ සින්දු දෙක මුලින්ම සවනත වැකෙන්න ඇත්තේ දවසේ ඒ ඒ වේලාවන් දෙකක නිසා වෙන්නැති. සින්දු දෙකම ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චි. දිවා හැඟුම ගෙනාවේ, පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ. රාත්‍රී හැඟුම ගෙනාවේ, උපුල් නුවන් විදහා. උපුල් නුවන් තිබුණේ `අහසින් පොළවට` චිත්‍රපටියේ.

අර කියපු රාත්‍රී හැඟුම එන්න ඇත්තේ ඊට ටික කාලෙකට පස්සෙ – මාසෙකට සැරයක් රූපවාහිනියෙන් පෙන්නපු සිංහල චිත්‍රපට මාලාවෙන් `අහසින් පොළොවට` බලනකොට දැක්ක, කළු සුදු රූප රාමු නිසා වෙන්නත් පුළුවන්. ඊටත් අවුරුදු තිස් පහකට විතර පස්සේ රූපවාහිනී පූරකයෙක් හැටියට, හිරු සලකුණට ආව ගීතා කුමාරසිංහගෙන් “දේශපාලනය ඔබට අනුව, කොටි වළිගය වගේද ? පාලම යට වගේද ? කොළඹ සන්නිය වගේද ?“ කියල ලියුම්කරු ඇහුවම, “අහසින් පොළොවට වගේ“ කියල ගීතා උත්තර දුන්න වෙලාවෙත් `උපුල් නුවන් විදහා` මතක් වුණා. හැබැයි ගීතයේ රූපරාමුවල ටෝනි එක්ක හිටියෙ ගීතා නෙමෙයි ශ්‍රියානියි වසන්තියි.

අහසින් පොළොවට විතරක් නෙමෙයි තව බොහෝ චිත්‍රපටි එවකට රූපවාහිනියෙන් විකාශය වුණා. ඒත් කුඩාවුන් අද වගේම එදත් වහවැටුණේ බටහිර රූපවාහිනී මාලා නාටකවලට. ලියුම්කරු ඒවා බැලුවේ, අපටම කියා ටෙලිවිෂනයක් නොතිබූ නිසා, කුලී නිවසේ කාරුණික හිමිකරුවන්ගේ සාදර අනුග්‍රහය ලබමින්. බැට්ල්ස්ටාර් ගැලැක්ටීකා, සික්ස් මිලියන් ඩොලර් මෑන්, ඉන්ක්‍රෙඩිබල් හල්ක්, ස්ටාර් ට්‍රෙක්, බ්ලේක් සෙවන්, බිග්ෆුට් ඇන්ඩ් වයිල්ඩ් බෝයි, ග්‍රීන් හොනට්, ටූ ෆෝටි රොබට්, මැගයිවර්, ඔටෝ මෑන්, ජෙමිනි මෑන්.. ඒ අපේ ළමා රාත්‍රීන් ආලෝලනය කළ වික්‍රමාන්විත සිහින වීර චාරිකාවන්. ළමයෙකුගේ මනස් රාජ්‍යයේ රාත්‍රී සිහින අතර සැරිසැරූ ඒ වීරයන්ගෙන්, ලියුම්කරුගේ හදවත වැළඳගත් වීරයන් දෙදෙනා ටාසන් සහ නයිට් රයිඩර් හෙවත් මයිකල් නයිට්.

සතෙකුගේ සම කැබැල්ලක් පමණක් හැඳගත්; නිරාවරණ දේහයකින් හෙබි ප්‍රාථමික පිහියක් අත දැරූ කඩවසම් වනගත වීරයා මනසේ එක කෙළවරක. ඕනෑම නවීන ආයුධයක් පාවිච්චි කළ හැකි; අධි තාක්ෂණික අනාගතවාදී KITT නමැති මෝටර් රථයක් අදහස් පවා බෙදාගත හැකි හිත මිතුරු සටන් සගයා බවට පත්කරගත්; කමිසයක් කලිසමක් ජැකට්ටුවක් හැඳ සපත්තු දැමූ නිදහස් කඩවසම් වීරයා අනෙක් කෙළවරේ. පා ගමනින් යා නොහැකි දුරවල් වැල්වල එල්ලී ගසෙන් ගසට මාරුවෙමින් එකකු විසින් තරණය කරනු ලබද්දී, අනෙකා, අධි වේගී කාරයේ නැගී ටර්බෝ බූස්ට් බට්න් එක තදකොට අවදානම් අහස් පිමි ගන්නා හැටි සිහිනෙනුත් දුටු පරම්පරාව අපි.

එදා පුංචි සන්දියේ කොළඹ දිස්ත්‍රික් පරිච්ඡේදයට සමුදීලා පුත්තලම දිස්ත්‍රික්කයට ගියාට පස්සේ, අපටම කියා කටුමැටි ගැසූ පුංචි ගෙයක් තිබුණත් ටෙලිවිෂනයක අඩුව තවත් කාලයක් යන තුරු පිරැවුණේ නැහැ. මහ රාත්තිරියේ කම්බි වැටවල්වලින් රිංගලා ටී වී බලන්න යනකොට ලියුම්කරුත් මල්ලීත් අම්මලාගෙන් බැනුම් අහපු වාර අනන්තයි. ටෙලිවිෂන් මිහිර දරුවන්ට දිය නොහැකි වීමේ දුකත්, වෙනත් නිවසකට ඒ සඳහා අප යන විට බොඳව යන අභිමානයත්, ඒ බැනුම් පිටුපස තියෙන්නැති. ඒත් අපට තිබුණේ, දිවුල් කටු ඇනි ඇනි හරි – වැස්සට තෙමි තෙමි හරි – ආස්වාදය සොයා යෑමේ අභිලාෂය විතරයි.

එහෙව් ඇතැම් හිතුවක්කාර දවසක ටී වී බලල ආපු අපට වඩා හයියෙන් මයියොක්කා දඬු ඇඬුව. අම්මා ඉකි බින්දා. මල්ලියි මායි ඇඳට වෙලා නින්දත් නොනින්දත් අතර ඉකි ගහනකොට, තාත්තා ඇවිත් එයාම ගුටි දුන්න අපේ අතපය ආදරෙන් පිරිමැද්දා. දැන් ඒ මතකයන් ප්‍රතිධාවනය කරලා බලනකොට, දරිද්‍රතාවත් විනෝදාස්වාදයත් අතර එදා නුදුටු කතාවක දුක හිතෙන යටිපෙළ අද අහුවෙනවා. කජු අත්තකින් කජු අත්තකට පනින්න ගිහින් වම් අතේ මැණික් කටුව බිඳගත්ත ටීනේජ් ටාසන් කෙනෙක් ලියුම්කරු දිහා බලාගෙන “උඹට මතකද ඒ අතීතය ?“ කියා අහනවා.

අතීත සේයාරූ දැන් විපරම් කරන විට `මයිකල් නයිට්`ට කිසිදු සමානකමක් නැති, ගිරවකු සේ හකු බැහැපු ගැටවරයෙක් – එනමුත් සිතින් මයිකල් නයිට්ට ඇඳ, කෙල්ලන්ගේ ආදරය දිනාගන්නට ගොස් දහස් වර පරාජය වී කිසිදා පෙම්වතියක් හමු නොවේවි යැයි බියට පත්වූ ගැටවරයෙක්, ලියුම්කරු දෙස හැරී, යථාර්ථය ෆැන්ටසියට වඩා වෙනස් නේදැයි අහනවා. ලොස් ඇන්ජලීස් හෝ ලාස් වේගාස්වලට වඩා ලංකාව වෙනස් නේදැයි අහනවා. මහපාරකදී ප්‍රසිද්ධියේ මයිකල් නයිට් කළාක් මෙන් කෙල්ලකගේ දෙතොල් සිප ගැනීමේ නිදහසක් තාමත් ලංකාවේ නැහැ නේදැයි ඒ ගැටවරයා අහනවා.

ලියුම්කරුගේ ළමා කාලයේ එක වීරයෙක් නොදියුණු ගෝත්‍රික සමාජ වටපිටාවක. අනෙක් වීරයා නූතන දියුණු සමාජ වටපිටාවක. හැබැයි වීරයන් දෙදෙනාගේම සතුරන් වන්නේ, ජාවාරම්කාරයන්. ධනය බලය හඹායන වර්තමාන ලෝකයේ සංකල්පීය ගෝත්‍රිකයන්. වීරයන් දෙදෙනාම සටන් කරන්නේ සමාජ සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන්. ජීවිතය ටෙලිවිෂන් මාලා නාටකයක් නොවෙයි. එහෙත්, සතුරන් හුඟයි. වීරයන් හිඟයි. කෙසේ වෙතත්, සාමුහික අරගලවලින් මිස තනි තනි වීරයන්ට වෙනස් කළ නොහැකි තරම් හාත්පස සමාජය සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය අභිභවන්න ඔබට පුළුවන්ද උදව් කරන්න KITT ?

– විමල් කැටිපෙආරච්චි
2022 ජූලි 19

පසුව ලියමි – ලබන සතියේ දවසක බලන්න එන්නැයි කසුන් චන්ද්‍රනාත් පතිරණ මිත්‍රයා ඇරැයුම් කළ, ඔහුගේ කුළුඳුල් චිත්‍රපටය වන `නයිට් රයිඩර්` හි ඒ සංකීර්ණ ලංකාව ප්‍රකාශමාන වේදැයි ගිහින් බලන්නට ඕනේ.

IMG 20220720 WA0045
( ජූලි 22 දා සිට තිරගත වේ )

| උපුටා ගැනීම LNW |