විජේවීරයි සුනිල් පෙරේරයි අපියි

විජේවීරයි සුනිල් පෙරේරයි අපියි

`විජේවීරයි තාත්තයි මමයි` කියල ටනුජ් අනවරත්නගෙ කෙටිකතා සංග්‍රහයක් තියෙනව. අද මෙතැන ලියන්න හදන්නෙ ඒ ගැන නෙමෙයි, විජේවීරයි සුනිල් පෙරේරයි ලංකාවයි ගැන.  සුනිල් පෙරේරා ගාවින් විජේවීරව තියල බලන්න ආසන්න හේතුව වුණේ, `සිඤ්ඤෝරේ`  සින්දුවේ මුල්ම රූප රචනය ඇහැ ගැටීම. ඒකෙ, කොණ්ඩෙ පැත්තට පීරලා කණ්ණාඩි දාල රැවුල වවලා ඉන්න සුනිල් පෙරේරා දැක්කම මේ ලියුම්කරුට හිතුණා, ඒ රුව ටිකක් විතර විජේවීරගේ රුවට සමානයි කියලා.

පෙනුමෙන් ඒ වීඩියෝවේ සුනිල් පෙරේරා විජේවීර වගේ වුණාට, ඒකෙ සුනිල් පෙරේරා වැඩිපුර ඇඳගෙන හිටියේ විජේවීර කවදාවත් නොඇන්ද ජාතික ඇඳුම. ඒ ඇඳුම විජේවීර ඉන්න කාලේ වැඩිපුර ඇන්දේ සුනිල් පෙරේරා ඉස්සර සහයෝගය දුන්න එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්.ජයවර්ධනලා ආර්.ප්‍රේමදාසලා. හැබැයි සමහර වාමාංශිකයො චෝදනා කරනවා විජේවීර භෞතිකව නොඇන්දට දෘෂ්ටිවාදීව `ජාතික ඇඳුම` ඇන්දා කියල. ඒක ඉතින් වෙනම සංවාද කළ යුතු කතාවක්.

විජේවීර සහ සුනිල් පෙරේරා කියන දෙන්නම, කට පාවිච්චි කරලා ලංකාවට බලපෑම් කරපු මිනිස්සු දෙන්නෙක්. ඒ දෙන්නටම තිබ්බේ කර්ණ රසායන මධුර මනෝහර කටහඬවල් නෙමෙයි. සුනිල් පෙරේරාට තිබ්බේ, මේ ලියුම්කරුට අනුව `නගරං` කටහඬක්. එයා නං ඒක හැඳින්නුවේ `ටකරං` කටහඬක් කියල. සමහරුන්ට ඒ හඬ `මසුරං`. ඒත් සමහරුන්ට `අරහං`. විජේවීරගේ කටහඬත් සම්මත මිමි අනුව `ලස්සන` නැහැ. ඒ හඬත් සමහරුන්ට `මසුරං`. සමහරුන්ට `අරහං`. හැබැයි දස දහස් ගණන් අනුගාමිකයෝ ජේවීපී එක වටා රොද බඳින්න ලොකු හේතුවක් වුණා ඒ කටහඬේ සන්නිවේදන ප්‍රබලතාව.

සුනිල් පෙරේරාගේ කටහඬත් ඒ වගේම අති ප්‍රබල කටහඬක්. කොයි තරම් ප්‍රබලද කියනව නං, ලංකාවේ බොහෝ වෙළඳ සමාගම්වල `අති විශිෂ්ට විශ්වාසය` දිනාගත්තේ සුනිල් පෙරේරාගේ කටහඬ. ජවිපෙ ප්‍රචාරක ව්‍යාපාරය ඇතුළෙ විජේවීරගේ කටහඬ එක් පන්තියක ආකර්ෂණය දිනාගැනීම සඳහා විශාල වැඩකොටසක් කරනකොට, තවත් පන්තියක ව්‍යාපාරික ප්‍රචාරය වෙනුවෙන් සුනිල් පෙරේරාගේ කටහඬ විශාල වැඩකොටසක් ඉටු කෙරුවා. `ලස්සන` නැති කටහඬවල් දෙකක් තම තමන්ගෙ ලයින්වල ලස්සනට වැඩ දැම්මා.

ඒ කටහඬවල් දෙකම පසුකාලීනව අනුකරණයට ලක් වුණා. මේරියන්ස් නලින් මුලින්ම අනුකරණය කළේ සුනිල් පෙරේරාගේ කටහඬ. ``උඹ මාව අනුකරණය කරන්න එපා, අනුගමනය කරපං`` කියල සුනිල් කිව්වට පස්සෙ නලින් තමන්ගේම සන්නිවේදන ආරක් හදාගත්තා. හැබැයි, මුළු ලංකාවේම සංගීත කණ්ඩායම්වල `නියාමක ගායකයෝ` එතැන ඉඳන් නලින්ව අනුකරණය කෙරුවා. ඒ අනුව ගත්තොත්, මේ වෙනකොට ප්‍රසංග වේදිකාවේ සංගීතය සපයන කණ්ඩායම් බොහොමයක පරමාදර්ශ මූල කටහඬ ශෛලිය සුනිල් පෙරේරාගේ.

විජේවීරගේ කටහඬත් පසුකාලීන ජවිපෙ කථිකයෝ බොහොමයක් අනුකරණය කෙරුවා. `මගෙ අම්මෙ තාත්තෙ` කියන්නේ විජේවීරගේ යෙදුමක්. උපහාස ස්වරයෙන් වචන ඇදල කියන - සටන්කාමීත්වය දබරැඟිල්ලට කුළු ගන්වන විජේවීර ශෛලිය තමයි විමල් වීරවංශ, ජවිපෙ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ මල් බඳුනෙන් ඉල්ලන කාලේ හොඳටම අනුකරණය කෙරුවේ. පස්සෙ විමලුත් තමන්ගේම ආරක් හදාගත්තා. ``උඹ මාව අනුකරණය කරන්න එපා, අනුගමනය කරපං`` කියන්න විජේවීර ජීවතුන් අතර හිටියෙ නෑ. කොහොම නමුත් ජවිපෙ කථික ප්‍රවාහයේ පරමාදර්ශ මූල කටහඬ ශෛලිය විජේවීරගේ.

විජේවීරගේ ඒ කතා ශෛලියට මිනිස්සු මෝහනය වුණා. පොඩි දකුණේ ඇක්සන්ට් එකකුත් එක්ක දේශපාලන නාඩිය එයා හරියටම ඇල්ලුවා. ඒ කාලෙ රැළිවල අන්තිම කතාව විජේවීර කෙරුවට පස්සේ ජවිපෙ නායකයන්ට දෝත පාගෙන ඉන්න වෙනවා, සාමාජිකයන් හිතවතුන් සුබ පතන්නන් පක්ෂයට දෙන ආධාර එකතු කරගන්න. විජේවීරගෙ කතා අහල සමහරු කන කර ආභරණ ඔරලෝසු පවා ගලවල දුන්නා කියල මේ ලියුම්කරුගෙ තාත්තා කියල තියෙනව. වැඩ ඇරිලා එන ගමන් රැළි බලන්න ගිහින් තාත්තත් ඒ විදිහට සල්ලි දීල තියෙනවලු.

අනූ හතරේ හෝ අනූ පහේ හලාවත නගරයේ තිබ්බ ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ රැළියක් අවසානයේ, විජේවීරව අනුකරණය කළ - හිරු පත්තරේ හිටපු විමලසිරි ගම්ලත්ගේ අත්දෙකෙන් අල්ලලා, ගෙදර යන්න බස් එකේ ගාණ විතරක් ඉතුරු කරගෙන සන්තකේටම තිබ්බ රුපියල් විස්ස ඒ අත්දෙක උඩින් තියන්න තරම් මේ ලියුම්කරුගේ පපුව උණුසුම් කෙරුවෙත්, ඒ ඓතිහාසික කතා ශෛලියම තමයි. ඒ ආධාර නිමේෂය කියන්නේ, ප්‍රධාන පක්ෂවල ප්‍රභූ කථිකයන්ගේ රැස්වීම්වල කිසිදා දක්නට නොලැබෙන නිර්ප්‍රභූ ප්‍රවේශයක්.

ගායනයට අමතරව එක්තරා විදිහක නිවේදන කර්තව්‍යයකුත් කරපු ලංකාවේ සංගීත කණ්ඩායමක නායකත්වය හෙබවූ පළමුවැන්නා සුනිල් පෙරේරා විය හැකියි කියන එකයි මේ ලියුම්කරුගේ අනුමානය. එය එසේ නම්, ඊට පෙර තිබූ ``ප්‍රිය සංගීත ලෝලී රසික රසිකාවියනි, දෙන්න හොඳ අත්පොළසන් නාදයක්`` කියා නිවේදකයා විසින් ඉල්ලනු ලබන තැන්පත් යුගය නිමා කරමින්, ``ආ දෙන්න බලන්න නංගිලා මල්ලිලා අත්දෙක හොඳට උස්සල අප්පුඩියක්`` කියන ඉල්ලීම සද්දෙ දාල කරපු නිර්ප්‍රභූ පුරෝගාමියා තමයි සුනිල් පෙරේරා.

`විජේවීර ශෛලිය` දේශපාලන වේදිකාව පාමුල මෝහනය මවනකොට `සුනිල් පෙරේරා ශෛලිය` ප්‍රසංග වේදිකාව පාමුල මෝහනය මැව්වා. දේශපාලන `මැතිතුමන්ලා` අතර `සහෝදරයා` ලෙස විජේවීර ඉස්මතු වෙද්දී, `ගායන ශිල්පී` `සංගීතවේදී` විශේෂණ පද අතර  සුනිල් පෙරේරා `අයියා` වුණා. `විජේවීර සහෝදරයා` පසුපස එක තරුණ පරම්පරාවක් යනකොට `සුනිල් අයියා` පසුපස තවත් තරුණ පරම්පරාවක් ගියා. ඊට සමාන්තරව සංස්කෘතික කඳවුරු දෙකකුත් හැදුණා. එහෙන් `පවන` එනකොට මෙහෙන් `සොමිය` ආව. මෙහෙන් `ලුණුදෙහි` එනකොට එහෙන් `කම්පන` ආව.  

විජේවීර රැස්වීම්වල කරපු කතාවලදී `නෝනා` කියන වචනේ පාවිච්චි කරලා සිරිමාවෝට හින්ට් ගැහුවා. `නෝනෙ මගෙ සුදු නෝනේ` සිංදුවේ `කිරිපිටි හොයලා පෝලිම්වල දුක් විඳලා` කියන කොටසෙන්  සුනිල් පෙරේරා සිරිමාවෝගේ පෝලිම් යුගයට හින්ට් ගැහුවා. විජේවීර ජේ ආර්ටත් හින්ට් ගැහුවා. හැබැයි ඒ කාලේ සුනිල් පෙරේරා ජේ ආර් එක්ක ෆොටෝ ගැහුවා. දේශපාලනය හරිම ඉරණම් සහගතයි. ඊට අවුරුදු ගාණකට පස්සේ සුනිල් පෙරේරා විජේවීර හදපු පක්ෂේ ස්ටේජ් එකේ ඉඳන් පාලක පක්ෂ දෙකටම හින්ට් ගැහුවා. ස්ටේජ් එකෙන් බැහැල ජේවීපී කොල්ලො කෙල්ලො එක්ක ෆොටෝ ගැහුවා.

තමන්ගේ කටහඬ ආයුධයක් කරගෙන විජේවීර ජේවීපී එක හදාගෙන එක්තරා දේශපාලන පෙළැන්තියකට එරෙහිව කැරලි ගහනකොට සුනිල් පෙරේරාත් කටහඬ අවියක් කරගෙන ජිප්සීස් හදාගෙන ගැහුවේ එක්තරා විදිහක සංස්කෘතික කැරැල්ලක්. ජිප්සීස් කියන්නේ අහිකුණ්ඨික ප්‍රජාවට වුණාට ජිප්සීස්ලා තමන්ගේ සංස්කෘතික ආස්ථානය අතනට මෙතනට අරන් නොයා එක තැනක තියාගෙන හිටියා. ජේවීපී එකේ දේශපාලන ආස්ථාන `ජිප්සීස්` නමේ තේරුම එක්ක සමපාත වුණාද නැද්ද කියන එක ඉතිහාසය දිහාට ආපහු හැරිලා බලල හොයාගන්න ඕන කාරණාවක්.  

``ජීවිතේ කියන්නෙ රඟ මඬලක්`` කියල විලියම් ෂේක්ස්පියර් කිව්වට, නිහාල් නෙල්සන් නං කියන්නෙ ``ජීවිතේ කියන්නෙ බෝඩිමක්. ෆීස් ගෙවල ඉවර වුණාම යන්න වෙනවා`` කියලා. විජේවීරවයි සුනිල් පෙරේරවයි සන්නිවේදන අර්ථයෙන් නැවත කියවාගැනීම ඉතා වැදගත් කියල ලංකාව කියන දූපතේ බෝඩිංකාරයෙක් හැටියට, මේ ලියුම්කරු විශ්වාස කරනවා. ``කොච්චර කිව්වත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනේ`` කියන එක මේ කාලේ නිතර ඇහෙන ප්‍රශ්නයක්. විජේවීරයි සුනිල් පෙරේරයි කියන සමාජ සංස්කෘතික ප්‍රකාශකයෝ දෙන්නා එකට මුණගැස්සුවොත්, ඒ ප්‍රශ්නෙට සෑහෙන හොඳ උත්තරයක් හම්බවෙන්න ඉඩ තියෙනව !
 
| විමල් කැටිපෙආරච්චි |

( උපුටා ගැනීම LNW )