පල්ලිය ඉදිරිපිට වෙඩි වැදුණු තරුණයා,  දෙවියෝ සහ භූතයෝ !

පල්ලිය ඉදිරිපිට වෙඩි වැදුණු තරුණයා,  දෙවියෝ සහ භූතයෝ !

රෝමානු කතෝලික පල්ලියක් ඉස්සරහ සිද්ධ වෙච්ච එකමත් එක ලේ වැගිරීමක සාක්ෂියකින් මේ සටහන පටන් ගන්න කල්පනා කළේ අවුරුදු විසි පහක් විතර ආපස්සට අතීතයට යන ගමන්. ස්ථානය හලාවත මහපල්ලිය පිටුපස පාර. වේලාව හවස හයට හයහමාරට විතර ඇති. අඳුර වැටීගෙන එන වෙලාවේ පහන් කණුවල පහන් දැල්වෙන්න බලාගෙන හිටියා. පුත්තලම් පාර පැත්තෙන් - කොන්වන්ට් එකත් පහුකරගෙන - සුදසුන රංග ශාලාව ගාව වංගුවෙන් වමට හැරී - වැටී  නොවැටි එක්තරා තරුණයෙක් දුවගෙන එනවා. ඔහු පිටුපස ඔහුගේම මිත්‍රයෙක් පන්නනවා. පල්ලියේ පිටුපස ගේට්ටුව කෙලින් පාරේ අනෙක් පැත්තේ සිංහල හා දෙමළ පාසල් දෙකක් එක ළඟ. සිද්ධිය වෙන්නේ මෙන්න මේ ගේට්ටුව ළඟ. දිව ආ තරුණයා ඇද වැටෙනවා. අනෙක් තරුණයා තම මිත්‍රයාට පිස්තෝලයක් ඇද වෙඩි තබනවා. වෙඩි කෑ කොලුවා ලේ වගුරගෙන පල්ලියේ ගේට්ටුව ගාව පස්කමින් දඟලා නිසල වෙනවා.

මේක විශේෂ හෙළිදරව්වක්. වෙඩි තැබූ පුද්ගලයා අදටත් නිරුපද්‍රිතව නීතිඥයෙක් හැටියට අලුත්කඩේ උසාවියේ වැඩකරනවා. ඔහුගේ නම පම්බල හෙන්රි හෙවත් නිව්මන්. ඝාතනය මෙහෙයවූ ප්‍රධාන තැනැත්තා නිලන්ත පෙරේරා හෙවත් මැදවත්තෙ චුට්ටි. ඝාතනයට සහය දුන් සිංහපුර මංජු - රුවන් නිවුන් සොයුරන් මේ වෙනකොට ජීවත් වෙන්නේ මාෆියා සංවිධානවලට කුප්‍රකට ඉතාලියේ. අර අහිංසකයා මරා දැමීම වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ සුපුල් හෙවත් විවර්ස් පාරේ ජයකොඩි අද මේ කිසිත් නොදන්නවා වගේ රක්ෂණ සංස්ථාවේ පරිගණක අංශයේ ලොක්කෙක් හැටියට වැඩ කරනවා. මේ සිද්ධිය දෑහින් දැක්ක පුද්ගලයෙක් අදටත් හලාවත ජීවත් වෙනවා. ඔහු තමයි චිලව් ආට්ස් අමිල්. ඉතින්.. පාරේ ගිය හැමෝම හිතුවේ අර වෙඩි වැදුණු තරුණයා ඒ මොහොතේ මිය ගියා කියලයි. නැහැ. ඔහු රාත්‍රිය ගෙවෙන්නට කලින් මරණයෙන් නැගිට්ටා.

තරුණයා මරණයෙන් නැගිටලා කුකුල් සායම් හෝදගෙන ඔය මුලින් කිව්ව ඝාතකයන් එක්ක එදාම රෑ පාටි දැම්මා.  ඔහු තමයි අද මේ ලියන්නේ. ඒ අධ්‍යක්ෂවරයා එවකට ට්‍රයි කළ ගැහැනු ළමයාගේ නිවස අසලදීම රූපගත කිරීම සිදුකිරීමේ යටි අරමුණ, උවමනාවටත් වඩා සද්දෙන් ඇක්ෂන් කට් විධාන දී, ත්‍රාස රංගනය දඩමීමා කරගත් ප්‍රේම කතාවක වීර රංගනයක් ඉදිරිපත් කිරීම බව ඉක්මනින් හෙළිදරව් වීමත්, හදිස්සියේ ගෙනා කුකුල් සායම් කොළ පාට වීම සහ මේ දර්ශන ඉන් මතු කිසිදා කොහේවත් ප්‍රදර්ශනය නොවීමත් හැරුණු විට වෙනත් ගැටළුවක් ඒ කෙටි චිත්‍රපටයේ තිබුණේ නැහැ. සායම්වල පාට, අන්ධකාරය මැද සඟවාගන්නට කැමරාකරු සමත් වුණා. ``මේ මාගේ රුධිරයයි. එහි වර්ණය එඩිට් එකේදී කවර් කරගන්න !`` නළුවා කිව්වා. කොහොම වුණත් පල්ලියත් රුධිරයත් අතර ඓතිහාසික නාටකීය සම්බන්ධය, ඒ සිද්ධියෙන් එතරම්ම සංකේතවත් නොවුණත් ; බොරු ලේ සහ ඇත්ත රංගන සම්බන්ධ අතීතය, ඇත්ත ලේ සහ බොරු රංගන සම්බන්ධ වර්තමානය තේරුම්ගන්න සමහරවිට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

`යම් දිනෙක අබිනික්මන් කරමි මම - සොයන්නට කොතැනද මිනිස්කම` කියන වාක්‍යය තිබුණේ ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායන සිත්තර පත්තරේට ඇන්ද චිත්‍රකතාවක නමට යටින් අතුරු වදන් පෙළක් හැටියට.

සිද්ධාර්ථට අසීමිත ලෙස ආදරය කළ ගැටවරයෙක් ඔය වදන් පෙළ පොත්වල අග පිටුවේ ලියාගෙන හිටියේ එවකට.

අහම්බෙන් හම්බවුණ `දෙවියෝ සහ භූතයෝ` සහ `මා කළ ගවේෂණ` පොත් දෙකෙන් ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් හේතුවාදය ගැන නොකිව්වා නම්, ඒ ගැටවරයා මේ වෙනකොට කොහේ හෝ වනාන්තරයක බවුන් වඩමින් ඉන්නත් තිබුණා ඇතැම්විට.

ඉතින් කොහොමහරි,  සිදුහත්ට තරම්ම ආදරයක් යේසුස් ගැන ඇතිවුණේ කොහොමද ? ඒ ආදරය ඇතිවෙන්න බලපෑවේ යේසුස්ගේ මව් නමට වෙන්වූ පාසලම නෙමෙයි. සියදහස්වර ඇස ගැටුණු සුරුවම් නෙමෙයි. අනන්ත අප්‍රමාණව කන වැකුණු ``ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා`` යි කී යාඥා නෙමෙයි.

යේසුස්ව මේ ලියුම්කරු හඳුනාගත්තේ එකමත් එක ගීතිකාවකින්. ඒ ගීතිකාව මෙහෙමයි පටන් ගන්නේ. ``කුරුසේ නැග අත් විහිදා - මුළු ලෝ තුරුලට වඩලා - සිටිනා දෙවි පුත් රදුනේ - ඔබෙ පා සිඹිමින් වඳිමු..`` ඇත්තම කියනවානම්, මේ ලියුම්කරුට වැදගත් වන්නේ මෙහි මුල් පේළි දෙක. මක්නිසාද යත්, සියලු ආගමික ශාස්තෘවරුන්ට එක සේ හිස නමන මුත් ඒ  කිසිවකු පා සිඹින්නට හෝ වඳින්නට නොරිසි මිනිහෙක්ට වඩාත් වැදගත් වන්නේ ඒ ``කුරුසේ නැග අත් විහිදා - මුළු ලෝ තුරුලට වඩලා`` යන මුල් පේළි දෙක නිසා.

ඔව් ඉතින් කුමක්ද එහි වැදගත්කම ?

අපට යම් එක පුද්ගලයකු තුරුලට ගත යුතු නම් අපේ දෑත  එක්කොට හකුලා ගන්න ඕන.  ඒත් සමූහයක් තුරුලට ගන්න නම්, අත් හැකිතාක් විහිදන්න ඕන. එහෙම නම්, ලෝකයක් තුරුලට ගන්නට කොපමණක් දෑත විහිදන්න ඕනද ?

අනෙක් අතට, මුළු ලෝ තුරුලට ගන්නෙ කොහොමද සමීපතම දේ අත් නොහැර ?  ``ජුසේගේ වඩුමඩුව දියුණු කරගෙන ඉන්නේ නැතුව සමාජය වෙනස් කරන්න හදන මෝඩ තරුණයා`` කියා කී දෙනෙක් කියන්න ඇද්ද ?  ``සුද්දෝධන රජුගේ කිරුළ භාරගෙන රම්‍ය සුරම්‍ය සුබ තුනට වෙලා ජීවිතේ විඳින්න පින නැති මෝඩ කුමාරයා`` කියලා ඊට අවුරුදු දාහකට විතර කලින් වෙන මහාද්වීපයක කට්ටියක් ඒ වගේම කියන්න ඇති. ``මීට පස්සෙ දෙමව්පියන් කියන දේ අහගෙන කීකරුව ජීවත් වෙන්න`` කිව්වලු හිමිනමක්, 71 රැඳවියන් පිරිසකට. ``සිදුහත් කුමාරයත් එහෙම කෙරුවනම් බුද්ධාගමත් නැහැ නේද හාමුදුරුවනේ`` කියල ඇහුවලු රැඳවියෙක්. ඒ අතුරු කතාවක්.

පිටදෙන්නේ බෝගහට වුණත් - කුරුස ගහට වුණත් - එල්ලුම් ගහට වුණත්, මුළුමහත් ලෝකය වෙනුවෙන් වැඩකරන විට, පහසුවෙන් ළඟා කරගත හැකි පෞද්ගලික ලෝකය අත්හරින්න වෙනවා කියන පාඩම, අර ගීතිකාවේ මුල් පේළි දෙකෙන් හොයාගන්න මේ ලියුම්කරු කැමැතියි.

ලෝකය තුරුල් කරගන්න නම්, කුරුසියේ ඇණ ගසද්දී විහිදන තරමටම දෑත දෙපසට විහිදන්න වෙන එක ඇත්ත. ලෝකය තුරුල් කරගන්න තීරණය කරපු මිනිස්සු වෙනුවෙන් එක එක විදිහෙ කුරුස ගස් සූදානම් වෙනවා කියන එක ඒ ඇත්තේම අනෙක් පැත්ත !

-විමල් කැටිපෙආරච්චි

උපුටා ගැනීම-
චින්න චින්න ආසෛ
ලංකා නිව්ස් වෙබ්
අප්‍රේල් 22