ටැක්සි දිවිමගේ සක්විති සුවේ

ටැක්සි දිවිමගේ සක්විති සුවේ

ලියන කියන දේවලුයි - කියන කරන දේවලුයි අතර සම්බන්ධෙ ගැන හිතාගෙන හිතාගෙන යනකොට ටැක්සි රියැදුරෙක් සහ මගියෙක් අතර සම්බන්ධෙ මොන වගේද කියල හිතෙන්න පටන් ගත්තා. මගියා තමන්ගේ ගමනාන්තය හරියටම රියැදුරාට කියන්න ඕන. එතකොට තමයි යන්නේ කොතනටද කියල හරියටම දැනගෙන විශ්වාසයෙන් ටැක්සිය ගෙනියන්න පුළුවන් වෙන්නෙ. මගියෙක් කියන්නෙ නිකම්ම නිකම් ගමන් ගාස්තුවක් නෙමෙයි, මිනිස් ජීවිතයක්. ඒ මිනිස් ජීවිතය නිශ්චිත කාලයකට නිශ්චිත තැනකට ආරක්ෂිතව රැගෙන යාමේ වගකීම රියැදුරා උසුලාගන්න ඕන. එහෙම බැලුවම ඒ සම්බන්ධෙ සම්පූර්ණයෙන්ම අවංකකම මත ගොඩනැගෙන ලස්සන සම්බන්ධයක්. ලියන කියන දේවල් - කියන කරන දේවල් අතර ඇත්ත සුහදකමක් නඩත්තු නොවුණොත්,කලකිරුණු මගියෙක් සහ කෝපාවිෂ්ඨ රියැදුරෙක් ඉතුරු වෙලා ගමනාන්තය ශෝකාන්තයක් වෙනවා.

අතීත තවලම් කියන්නේ ටැක්සි ජීවිතයේ පළමු රූපකාය වෙන්නැති. බඩු මුට්ටු පටවගත්ත ගව කරත්ත ආසියාවේ ගංගා නිම්න පසුකරමින් හෙමින් හෙමින් ඇදෙන අතරවාරේ,යුරෝපයේ හිම කඳු පාමුළින් අශ්ව කරත්ත ගමන් කරන්න ඇති. බඩුපොදි පටවපු ඔටුවන් පිටේ මැදපෙරදිග වෙළෙඳුන් කාන්තාර මැදින් තරු එළි යටින් වැලි කඳු තරණය කරමින් යනකොටත් ලෝකය පුරා එකම පන්නයේ හුදෙකලා සාංකා සුසුමක් චාරිකා කරන්න ඇති. ``ඈත හමා යන මද සුළගේ ඔබ.. බිඳුවක් නවතින්නේ`` කියල චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කිව්වේ ඒ හැඟුම වෙන්නැති. ``තවලම්කරුවෝ කවරදාකදෝ එකම තැනක ඉන්නේ`` කියල රූකාන්ත ගුණතිලක ගැයුවේ ඒ සුසුම වෙන්නැති. එක තැනක ඉන්නැති - ඊළඟ නැවතුම දන්නැති, සංචරණ සන්තාපයම ජීවිතය කරගත්ත සහෝදර මිනිස් කැලක්, තවලම් - ගැල් - රික්ෂෝ - ට්‍රෑම් කාර් - මයිනර් - ත්‍රීවීලර් පහුකරගෙන ඌබර් - පික් මී ටැක්සි වෙනකං එන්නැති.

ටැක්සි රියැදුරෙක්ගේ ජීවිතය ගැන අපේ පරම්පරාවට මතක හිටින සිංහල චිත්‍රපටියක් හැදුවේ ගාමිණී ෆොන්සේකා. නිෂ්පාදනය කෙරුවේ කෙහෙළිය රඹුක්වැල්ල. චිත්‍රපටය සක්විති සුවය. `සක්විති සුවය` ට `පදනම් වූ බකට් හැරී ආපසු එයි` චිත්‍රකතාව ගැන එහි නිර්මාතෘ, අද අප අතර නැති දයා රාජපක්ෂ, මේ ලියුකරු සමග මීට අවුරුදු හයකට කලින් මෙහෙම කිව්වා. ``ගාමිණී ෆොන්සේකා රංගධරයා මගේ කතා ඇසුරින් චිත්‍රපට හතරක් කළා. හුලවාලි, තවලම, බාඳුරා මල් සහ සක්විති සුවය. ඒ අතරින් සක්විති සුවය ජනතාව අතරට ගියා. ඒ කාලෙ තිබුණු, සත පනහෙන් ගාස්තුව පටන්ගෙන දුවන ටැක්සි සංස්කෘතිය සහ ඒ තුළ සිටි මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වය චිත්‍රපටයෙනුත් සෑහෙන දුරට ඉස්මතු වුණා. ඒ ටැක්සි රියදුරන් අතර මෘදු හිත් තියන රළු මිනිසුන් හිටියා. අනුන්ගේ දුකකදී ඔවුන් පිහිට වෙනවා. ඒ අතර සටකපට මිනිස්සුත් හිටියා.``

ගැල් පුරවාගෙන අඹු දරු රැකුමට තුන්යම කතර ගෙවාගෙන යන තවලම් ගැන කවි සින්දු වැඩිපුර තිබ්බට ගිඩි ගිඩි ගාල මීටර් එක ගැහෙන ටැක්සි ගැන කවි සින්දු අඩුයි. ``මගෙ හිත ඈ කිට්ටුව ඉන්නේ - කොහෙද මං මේ යන්නේ.. දුවමි මුළු කාලෙ - දුවමි මුළු කාලෙ``  කියල  ජෝති ගැයුවේ `මම රික්ෂෝ කාරයා` සින්දුවේ. රෝද හයිකරපු ආසනේ ඇදගෙන කඩිමුඩියේ දුවන රික්ෂෝකාරයකුගේ ජීවිතයේ වේගය වගේම,මගියාගේ බර දරාගෙන සතෙකු සේ දුවන රික්ෂෝකාරයාගේ ආත්මයේ සංවේගයත් ඒ සින්දුවේ තියෙනව කියල මේ ලියුම්කරුට හිතෙනව. කොහොම වුණත්,ටැක්සි ජීවිතේ දුක සංකා පැත්තකට දාල සතුටින් රස්සාව කරන්න ලංකාවට යෝජනා කළේ එම්.එස්.ප්‍රනාන්දු. `මම ටැක්සි කාරයා - මම ඇරල යන්න හරිම සූරයා` කියල සික්ස් එයිට් බීට් එකට එයා ගැයුවෙ ඉදිරිය නිදහස් පාරක ආරක්‍ෂිත වේගයකින් ඉගිල්ලෙන ටැක්සියක් වගේ මොරාල් එකකින්.

එම්එස් ටැක්සිය ලේසියෙන් අතහැරියෙ නැති බව තේරෙන්නේ `ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා`වත් අහනකොට තමයි. ``සර් හයරින් කාර්.  අයි නෝ ඕල් ද බාර්. ඕල් සිලෝන් ටුවර් ගොයින් අයි ගිව් මයි කාර්`` කියල කැඩිච්ච ඉංග්‍රීසියෙන් කිව්වට ආතර් අයියා වගේ ටැක්සිකාරයන්ට තියෙන්නේ පිපිච්ච හදවතක් කියල එම්එස් දැනගෙන හිටිය කියල අනුමාන කරන්න පුළුවන්. ``මම දාන්නෙ නෑ කෙනෙකුව මුලාවේ - කොයි කවුරුත් මා සමගින් හිනාවේ`` කියල ටැක්සි කාරයා සින්දුවේ එයා ගයන්නේ ඒ නිසා වෙන්න ඇති. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ - ස්ත්‍රී පුරුෂ සංක්‍රාන්ති ලිංගික - ගැමි නාගරික - දුප්පත් පොහොසත් කාටත් එකම හිනාවකින් සමානව සළකන්න කැමති රියැදුරෙකුට එම්එස් සිංදුවලින් චියර්ස් කියනව. හොඳ ටැක්සි රියදුරෙක් වෙන එක ස්ථිර වශයෙන්ම කොමියුනිස්ට් ප්‍රැක්ටිස් එකක්.

සක්විති සුවය හදපු ගාමිණී අද නැහැ. ටැක්සි ජීවිතේ ගැන සින්දු කියපු එම්එසුත් නැහැ. බකට් හැරී ආපසු එයි කියපු දයා මහත්තයත් නැහැ. ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා නැති වුණාට එක එක ජාතියෙ ටැක්සි තියෙනවා. මරණය තෙක් රැකගත යුතු උත්තම ජීවිතයක් අපි හැමෝටම තියෙනව. ගිඩි ගිඩි ගාල මීටර් වැඩකරන්නේ පපු කැවුතුවල ලබ් ඩබ් සද්ද නතරවෙන එක වළක්වන්න. රෑ බෝ වෙනකොට අගනුවර අවට මඳ වැසි. බෝ රෑ වෙනකොට අකීකරු වැහි බිඳු පට පාට ලයිට් එලි එක්ක එකතු වෙලා වින්ඩ්ස්ක්‍රීන් එකේ සිත්තම් කරන කොලාජ් චිත්‍ර, වයිපරයෙන් පිසදා හරින්න ලෝබයි. ඒත් කරන්න දෙයක් නැහැ. ට්‍රිප් එක ස්ටාට් කරනකන් කස්ටමර් බලාගෙන ඉන්නවා. අන්න ඒ නිසා, වීදුරුවෙන් පිසදැමෙන රංචු රංචු වැහිබින්දු `චින්න චීන්න ආසෛ` තීරුවට පරෙස්සමෙන් එක්රැස් කරගත්ත පුංචි කාර් එකක්, කාලය හා අවකාශය මැදින් නිසංසලේ ඉස්සරහට යන්න පටන් ගන්නවා !

විමල් කැටිපෙආරච්චි
(චින්න චින්න ආසෛ උපුටා ගැනීම lanka news web)