පතහට පැන්න යුනිකෝ

පතහට පැන්න යුනිකෝ

යුනිකෝ ගැන නොදන්න කෙනෙකුට යුනිකෝ කවුද කියල මූණ බලාගන්න ඕන නම්, ඒ නම සිංහලෙන් ගූගල් මත ටයිප් කරලා සර්ච් කෙරුවම අමුතු ඇස්දෙකක් තියෙන වීරයා මතුවෙනව. ඒ අද. ගූගල් පිරික්සුම් නැති යුගයක යුනිකෝ හැම ගෙදරකම වගේ කොහේ හරි තැනක හිටියා. චිත්‍රකතා පත්තර නොගත්ත ගෙවල්වලත් වෙන ගෙදරකින් ආපු යුනිකෝ කෙනෙක් හැංගිලා හරි හිටියා. ඒ එදා. බලන්ගොඩ සරත්මධු නවසිය හැත්තෑ පහේ නිර්මාණය කරපු යුනිකෝව බලන්න ගොඩක් මිනිස්සු බලන් හිටියෙ පත්තර ලෑල්ලට සිත්තර එනකං. සුරතලේට සිංහයො දෙන්නෙක් ඇති කරපු - ඉන්නෙ කොහෙද කියල කවුරුත් නොදන්න අද්භූත - එහෙත් යුක්තිගරුක කඩවසම් වීරයෙක්.

යුනිකෝන් කියන්නෙ මනඃකල්පිත ජවසම්පන්න සත්ත්වයෙක් ලෙස මිථ්‍යා කතාවල දැක්වෙන කඟවේනාට. කඟවේනෙක් වගේ වේගයක් - හයියක් තිබිච්ච වීරයෙක්ට යුනිකෝ කියල නම් තියන්න ඇත්තෙත් ඒ නිසා කියල හිතන්න පුළුවන්. සරත්මධුගෙ 'ඉතින් ඊට පස්සෙ' චිත්‍රකතාවට නම් තබපු චින්තන ජයසේන මහත්තයා, යුනිකෝ නාමය පිළිබඳ සාකච්ඡාවේ නොහිටියා කියල හිතන්න අමාරුයි. සරත්මධු ඒ නම ඉංග්‍රීසියෙන් ලිව්වෙ Yuniko කියල නෙමෙයි  Eunicor කියලා. හැබැයි සිංහලෙන් කියවෙන්නෙ යුනිකෝ. අලුත්ම වචනෙක වුණත්,නියම ඉංග්‍රීසි ආරට,ඊ අකුරු යූ අකුරු  මුහු  කරන්න තරම් ඒගොල්ලො භාෂා දැනුමෙන් දියුණුයි.

යුනිකෝ ගැන වැඩිදුර විස්තර කතා කිරිල්ල අනාගත ktube වැඩසටහනකට ඉතිරි කරලා දැන් අපි එනව `පතහ` පැත්තට. ඔබට හොඳටම මතක තියෙන තුන් තේරවිල්ලෙ - ``පලයන් බස් එක පතහට`` කියල එනවා. පලයන් නං පෝ - බස් එක නං රිය - පතහට නං වල, පෝ රිය වල වාරියපොළ කියල ඒකෙ කිව්වත්, පතහක් කියන්නෙ වලක්මත් නෙමෙයි. ලංකාවේ වියළි කලාපයේ හමුවෙන පතහ, එක්තරා ස්වාභාවික පොකුණු විශේෂයක්. ඉඳහිට වැටෙන වැස්සෙන් ලැබෙන වතුර, තව ටිකක් කල් ඉතිරි කරලා දුන්නෙ පතස්. කවුරුත් දන්න පිහිණුම් තටාකවල වගේ පතහටත් තියෙනව ඩීප් එන්ඩ් එකක් හෙවත් ගැඹුරු අන්තයක්. වියළි කලාපයේ කිවුල් ජලයෙන් කේශ කලාප බේරගන්න කැමති බවලතුන්ට පතහ කියන්නෙ නාන කලාපයක්.

කාලයක් වගා ළිං හැටියට පාවිච්චි කරපු තැන් පස්සෙ කාලෙක පතස් වෙන බව මේ ලියුම්කරු දැකල තියෙනව. ``ඔය පතහ කියන්නෙ පුතේ, උඹලගෙ අත්තා ඒ කාලෙ හදපු වගා ළිඳක්`` කියල කිරිඅම්මා මුණුබුරාට කිව්වා. වගා ළිඳක් කියන්නෙ, ඇවිදගෙන ගිහින් කළවලට වතුර පුරවාගෙන එන්න පුළුවන් තැනක්. සාමාන්‍ය ළිං යටට - ගැඹුරට තිබ්බට වගා ළිං තියෙන්නෙ දිගට - හරහට. පැරණි වගා ළිඳ පතහක් වෙලා. පතහ වටේට උසට උසේ පන් වැවිලා. ගැඹුරු අන්තයේ ඕලු මල් දෙක තුනකුත් පිපිලා. නොගැඹුරු අන්තයේ නාන අයට පහසුවක් වෙන්න සිමෙන්ති කැටයක් දෙකක් දාල. කිරිඅම්මලාගේ ඉඩමේ තිබුණු විස්මයජනක තැන්වලින් එකක් ඒක.

ඇටෙන් පොත්තෙන් එනකොටම චිත්‍රකතා උන්මාදය වැළඳුණු මුණුබුරාට, පතහ පේන්නෙ, අම්මල කිරිඅම්මල සීරු මාරුවට බොරවෙන්න නොදී පරෙස්සමෙන් හිස දෝවන - සම්පතක් වගේ වර්ෂා ජලය එකතු වෙච්ච තැනක් හැටියටම නෙමෙයි. ``මේක ටිකක් යුනිකෝ දෙවෙනි කොටසෙ මායා විල වගේ.`` මුණුබුරා මාමා එක්ක පරිකල්පනය බෙදාගත්තා. ``ඉතින් තමුසෙට පුළුවන්නෙ යුනිකෝ පනිනව වගේ හීයක් වගේ ලස්සනට ඕකට පනින්න.`` මාමා, පරිකල්පනය ප්‍රායෝගික කරන්න උල්පන්දම් දෙනවා. ඇත්ත තමයි, අත්දෙකත් පා දෙකත් එක රේඛාවක හිටින විදිහට මේකට පනින්න පුළුවන්. ක්ෂණයයි. ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... ජබොහ්හ් !!!

යුනිකෝ පතහෙන් උඩට එනකොට මාමා හක හක ගාල හිනාවෙනවා. අම්මා දෙස් දොවොල් තියනවා. ``මොකක්ද යකුනේ උඹල ඔය කරන්නේ.. දැන් කොහොමද වතුර ටිකක් නාගන්නේ ?`` අඩේ මාර වැඩේ. මායා විල තනි කිරි මඩ වගුරක් වෙලා. නානව තියා හිතන්නවත් බැරි ගාණට බොර වෙලා. යුනිකෝ ඇවිදගෙන ජබි ගහගෙන ගොඩට එනකොට තව මඩ වෙනවා. මුණුබුරාට දැන් ඒ සිද්ධිය පේන්නෙ වෙන විදිහකට. පුංචි කාලෙ රහ දෙයක්. දැන් හිතනකොට මහදෙයක්. වීරයන්ට අසීමිත ලෙස ආසක්ත වුණාම, මනසින් ඒ වීරයාට ඇඳගන්නවා. සන්දර්භ පැටලෙනවා. පතහ මායාවිල වගේ පේන්න පටන් ගන්නවා. වීරකම් සහ ගොන්කම් අතර වෙනස සලකුණු වෙන්න පිටස්තර එක උල්පන්දමක් ඇති. අතීතයේ ලාඩමක් - වර්තමානයට පාඩමක්.

සමහර වෙලාවට දේශපාලනයත් වියළි කලාපයේ පතහක් වගේ. ඉරිතැළුණු පතස් පොළොව තෙමාගෙන ඉඳහිට වට වැස්සෙන් පතහ පිරෙනවා. පතහ පිරෙනකොට පතහ වටේට පන් වැවෙනවා. මල් පිපෙනවා. හැබැයි ඉතින් වතුර බොර නොකර පරෙස්සමෙන් ප්‍රයෝජනයට ගන්න ඕන. වීරයන්ගේ ව්‍යාජ වෙස් අරගෙන, කාලයක් මිම්මක් නැතුව ඇම්මක් විතරක් තියාගෙන පතහට පැනල, පුංචි පුංචි ආසාවන් නඩත්තු කරන වැඩිහිටි පොඩි උන්ගෙන්, නිස්කාරණේ කිරිමඩ කරන්න නොදී පතහ බේරගන්න එකත්, දේශපාලන ශබ්දකෝෂයෙන්ම කියනවනම්, ඔව්.. ඓතිහාසික කාර්යභාරයක් !

විමල් කැටිපෙආරච්චි

(චින්න චින්න ආසෛ උපුටා ගැනීම lanka news web)