අකීකරුකමේ සෞන්දර්යය !

Previous Next

හැත්තෑ එකේ අරගලයෙන් පසු අරගලකරුවන් රඳවා තිබූ බන්ධනාගාරයකට පැමිණි හිමිනමක්, ``මෙහෙන් නිදහස් වෙලා ගියාට පස්සෙවත් ඔය ළමයින් දෙමව්පියන්ට කීකරු වී ඉන්නැ`` යි කී පසු, ``සිදුහත් කුමාරයත් එහෙම හිටියනං හාමුදුරුවනේ, අද බුද්ධාගමකුත් නැහැ නේදැ``යි මුඛරි රැඳවියෙක් පෙරළා ඇසූ කතන්දරයක් අප අසා තිබේ. එම කතන්දරයෙහි ඇත්ත නැත්ත කෙසේ වුව, හැත්තෑ එක යනු අකීකරුකමේ සෞන්දර්යයෙන් පණ ලැබූ පරිච්ඡේදයක් ලෙස ඉතිහාසයේ ලියවෙනු ඇත.

සත්තකින් ම, ඔවුහු අකීකරු වූහ. එහෙත් ඒ කුමකට ද ?

හතළිස් හතේදී එක කුස ඉපිද පණස් එකේදී ශරීර දෙකක් ලෙස ජීවත් වෙන්නට පටන් ගත් ධනේශ්වර පක්ෂ දේශපාලනයට ඔවුහු අකීකරු වූහ. පවුල් තුන හතරක වැඩවසම් පංචස්කන්ධ හැත්තබුරුත්තකට නවාතැන් සැපයූ නීල වර්ණ - පච්ච වර්ණ අම්බලම් දෙකකට ඔවුහු අකීකරු වූහ. තමන්ගේ ඉස්තාලයක සිටින අසෙකුගේ කුරයකට ගැසූ ලාඩමක් තරමටවත් - තමන්ගේ වතුයායක සීමා මායිම් ලකුණු කරමින් සිටවන ලද කම්බි කණුවක මළ කෑ ඇණයක් තරමටවත්, හුදී ජනයාගේ අභිලාෂයන් ගණන් නොගත් පක්ෂ දෙකක අවලස්සන ඒකාධිකාරයට ඔවුහු අකීකරු වූහ.

ඊට අමතරව,

උපන්ගෙයි ඇමීබාකරණ දෝෂයෙන් ඔත්පළව, එය සුවකරගනු පිණිස වෙහෙස නොවී, ඒ වෙනුවට, සශෝධනවාදී පිපාසය නිවාගනු වස් ප්‍රතිසංස්කරණවාදී පහස සොයා ධනේශ්වරයේ තුරුළ පැතූ, අතීත වාමාංශයේ දියාරු උරුමයට ඔවුහු අකීකරු වූහ. එමතු නොව, නවසිය පනස් තුන වැනි අතට ආ අගනා අවස්ථාවක් කිසි තේරුමක් නොමැතිව අයාලේ යන්නට දුන්, එහාට මෙහාට දෝලනය වීම දයලෙක්තිකය යැයි වරදවා වටහාගත් වාම ප්‍රතිරූපක දේශපාලනයට ඔවුහු තීරණාත්මක ලෙස අකීකරු වූහ.

ඊටත් අමතරව,

පීඩිතයන්ගේ පීඩිත භාවය වනාහී කර්මය ය හෝ දෙවියන් වහන්සේගේ කැමැත්ත ය කියා අදහන්නට බල කළ විහිළුකාර අදහස් පද්ධතියකට ඔවුහු අකීකරු වූහ. සියලු ශුද්ධ ග්‍රන්ථ සහ වාග් පාඨවලට මුවා වී අටවන ලද සමාජ උගුලේ නොවැටෙමින් - එයට අභියෝග කරමින් සහ එය හැකිපමණ හෙළිදරව් කරමින්,  වසර දහස් ගණනක් නඩත්තු කරන ලද ගතානුගතිකත්වයකට ඔවුහු අකීකරු වූහ. යහපත පිළිබඳ සාමුහික මිනිස් අභිලාෂවලට පමණක් කීකරු වෙමින්, ඉන් මෙපිට සකලවිධ ප්‍රබන්ධයන්ට ඔවුහු අකීකරු වූහ.

එහෙත්, අකීකරුකමේ ශක්තිය පමණක් සටනකට නොසැහෙයි. දැනුමද අවබෝධයද සවිඥානක භාවය ද අත්‍යවශ්‍ය වෙයි. එදා ඔවුන් අනුදත් ඇතැම් අචපල ප්‍රතිපත්තීන් අද ද අපට දේශපාලන පාඩම් කියා දෙයි. අනෙක් අතට, එදා ඔවුනට සිදු වූ වැරදීම් මෙන් ම පැරදීම් ද මෙරට වාම ප්‍රගතිශීලී කඳවුරට විෂයය නිර්දේශයක් කරගත හැකි ය. ප්‍රාථමික අවි ආයුධවල සිට සයිබර් අවි ආයුධ දක්වා අරගලය රූපාන්තරණය වී ඇති මොහොතක, 71 සුරුවමක් කර නොගෙන යළි කියැවිය යුතු ය. ඒ අනුපමේය සහෝදරත්වය  වැඩි වැඩියෙන් අවශ්‍ය හෙට ය. එහෙත්. ඒ අප ඉතිහාසයෙන් ඉගෙන ගන්නේ නම් පමණි.

ඒ කෙසේ වුව, ක්‍රමයට එරෙහි නිර්දය විවේචනය දෝතින් දරාගෙන, ක්‍රමය ඉදිරියේ දෙපයින් සිටගෙන කෙලින් බලාගෙන අභියෝග කිරීම වූකලී සෙල්ලමක් නොවේ. ජීවිතය පිළිබඳව උපේක්ෂාවෙන් බලා මරණය දෙස අපේක්ෂාවෙන් සටන් කිරීම පහසු තීරණයක් යැයි කිසිවකුට කිව හැකි ද?  අකීකරුකමේ සෞන්දර්යය දේශපාලන අරගලයේ ජවය බවට මේ බිමේ පරිවර්තනය වී අඩසියවසක් ගත වී ඇත. අරගල මාදිලි අලුත් වී ඇති බව ඇත්තකි. එහෙත් ඔවුන්ගේ ජවය අපව යළි යළිත් කූද්දයි. ඉතින්.. මේ ජවය, ඒ ජවය වෙනුවෙන් වන සහෝදරාත්මක මුත් විවේචනාත්මක උත්තමාචාරයකි.  

(2021 අප්‍රේල් 04 ලංකා පුවත්පත සමග නොමිලේ බෙදා දුන්, අරගලයේ අඩසියවස් විශේෂ කලාපය-ජවය පුවත්පතේ කතුවැකිය)